Monday, January 29, 2024

Sautéed Mushrooms බිම්මල් තෙල් දාලා උයමු

 Sautéed Mushrooms බිම්මල් තෙල් දාලා උයමු


















බිම්මල් දකින්න වගේම කන්නත් අපි ආසයි. පරිසරයේ ලස්සන බිම්මල් තිබුණට ඒවා හිතු මනාපේ ආහාරයට ගන්න බෑ. මොකද විෂ සහිත ඒවා තියෙනවනේ. පාරම්පරික දැනුම අනුව තමයි අපි ඒ ඒ පරිසරවල ඇති බිම්මල් ආහාරයට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ.
ඊට අමතරව අපට වෙළඳපොලෙන් බිම්මල් මිළදී ගන්න පුළුවන්. මහා පරිමාණ බිම්මල් වගාකරුවන් ඇරුණම සමහර අය සුළු ව්යාපාරයක් වශයෙනුත් බිම්මල් වවනවා. වගා කරන බිම්මල් වර්ග ගොඩක් තියෙනවා. Oyster, Pleurotus, Shitake, Button mushrooms එයින් කීපයක්.
ඇත්තටම මොනවද මේ බිම්මල් කියන්නේ? පුස් නැත්නම් දිලීර ජාතියක්. පුස් කිවුවම අප්රියයි නේද? ඇඳුම් හා කෑම පුස්කන එක එපාවෙන දෙයක් නේ. ඒත් දිලීර වලට මං නම් ආදරෙයි. ආදරය කරන කොට ටිකක් කරදර විඳින්නත් ඕන නේ.
දිලීර වෙනමම අපූරු ජීව කොට්ඨාශයක්. කවදාවත් තමන්ගේ ආහාර තමන්ට හදාගන්න බැරි අපි වගේම ශාක මත ආහාරය සඳහා යැපෙන විෂමපෝෂී ජීවී කොටසක්. හැබැයි අපි නැතුව වුණත් පරිසරය පවතිනවා වුණාට දිලීර නැතුව නම් පරිසරය පවතින්නේ නෑ. ඒ කියන්නේ අපට වඩා දිලීර වටිනා දෙයක්. මේ ලෝකයේ තියෙන ජීවී දේ මැරුණම පසට එකතුවුණාට පස්සේ දිරා යනවා ඔයාල දන්නවනේ. ඒ දිරීම වුණහම තමයි ජීව කොටස් වල තියෙන සංකීර්ණ දේවල් සරල බවට පත්වෙලා ආයේ ගස්වලට උරාගන්න පුළුවන් විදියට පෝර හැදෙන්නෙ. එහෙම නොවුණොත් ගස්වලට හැදෙන්න බෑ. මොකද පරිසරයෙ තියෙන්නේ සීමිත ද්රව්ය ප්රමාණයක්. මේ දිරීම කරන්නේ දිලීර හා බැක්ටීරියා වර්ග. ඔයාගෙ මිදුලෙ එකතුවුණු දිරාපත් කොළ රොඩු කාලයක් ගියාට පස්සේ නොපෙනී යන්නේ මෙන්න මේ දිරීම නිසා. අපි මැරිලා පසට එකතුවුණාට පස්සේ කාලයකදි එතන දෙයක් දකින්න ඉතුරු වෙන්නේ නෑ. අන්න එතකොට අලුත් අයට ඉන්න මහ පොළවේ ඉඩ ඉතුරු වෙනවා.
මං අද උයන්න ගත්තේ White button Mushrooms.
මෙන්න මේ දේවල් තමයි මට ඕන වුණෙ
1. Mushrooms ටිකක් (පැක් එකක් විතර)
2. Red bell pepper ලොකු එකකින් බාගයක්
3. ලුනු කොළ මිටක්
තේ හැඳි එක බැගින්
4. ලුණු
5. අමු තුනපහ
තේ හැඳි භාගය බැගින්
6. කහ කුඩු
7. ගම්මිරිස් කුඩු
8. මිරිස් කෑලි
9. සුදු ලුනු කුඩු
(සුදු ලූනු බික් දෙකක් තලලා ගන්නත් පුළුවන්)
10. කුරුඳු කුඩු තේ හැඳි කාලක්
11. ඔලිව් තෙල් මේස හැඳි 2
බිම්මල් අසුරණයෙන් අරන් සෝදලා හතරට කපන්න. ලූනු කොළ හා පෙපර් සෝදලා කුඩාවට කපා ගන්න. බඳුනක් ළිප තියලා මද ගින්නේ රත් කරන්න. ඒකට ඔලිව් තෙල් ටික දාන්න. රත් වුණහම බිම්මල් ටික ඒකට දාලා මිශ්ර කරලා බඳුන වහලා මිනිත්තු 3ක් sautae කරන්න.
ලූනු කොළ හා පෙපර් බිම්මල් වලට එකතු කරන්න. සේරම ස්පයිස් ද එකතු කරන්න. හොඳින් මිශ්ර කර වහලා තව මිනිත්තු 3ක් තියන්න. බඳුන අරින්න. ළිප නිවන්න.
දැන් sautéed බිම්මල් රෙඩී.

Thursday, January 25, 2024

කුරුඳු තේ Cinnamon tea

 කුරුඳු තේ Cinnamon tea



සීතලටත් හරියන්න උණු උණුවෙම කුරුඳු කෑල්ලක් දාලා ප්ලේන් ටී එකක් බොන්න හිතුවා. කවුද ආස නැත්තේ එහෙම බොන්න නේද?
Celon Cinnamon ලෝක ප්රසිද්ධ සන්නාමයක්. සිලෝන් හා ශ්රී ලංකාව එකක් බව බොහෝ පිට රැටියන් දන්නෙත් නෑ. අපේ කුරුඳු විශේෂය ඒක දේශීය ශාකයක්. ඒකෙ විද්යාත්මක නම Cinnamomum verum. අපි ඒ දවස් වල අපි ඉගෙන ගත්තේ Cinnamomum zeylanicum කියලා ඒකම තමයි. මේක true cinnamon කියලයි සාහිත්යයේ සඳහන් වෙන්නේ. මොකද කුරුඳු විශේෂ හුඟක් තියෙනවා. අනික් ඒවයෙනුත් පොතු ගන්නවා. නමුත් අපේ කුරුඳු ගහ පරද්දන්න බෑ ඒවට.
කුරුදු ගහේ ඇතුළු බාහික කොටස තමයි කුළුබඩු විදියට ගන්නේ.
කුරුඳු අනාදිමත් කාලයක ඉඳලා කුළුබඩුවක් විදියට පාවිච්චි වෙනවා. කුරුඳු පොතු විතරක් නෙවේ කොළ, මල්, මුල් හැම එකක්ම කෑම පිසීමේදී යොදා ගන්නවා. මං ෆ්රයිඩ් රයිස් හදද්දි බත උයන කොට අමු කුරුඳු කොළ දෙකක් විතර කෑලි වලට ඉරලා බතට දානවා. එතකොට බතෙන් විශේෂ සුවඳක් එනවා.
ඒ විතරක් නෙවේ කුරුඳු ශ්වසන මාර්ගයේ රෝග, ආහාර මාර්ගයේ රෝග හා ස්ත්රී රෝගවලට ඔසුවක් ලෙසත් යොදා ගන්නවා.
තේ එක නිවෙන්නට කලින් බොන්න ඕන. අදට ඇති මේ කුරුඳු කතාව.

Tuesday, January 23, 2024

පිහාටුවක් වගේ වෙන්න


 පිහාටුවක් වගේ වෙන්න



රිසරය සීතල වුණත් අද උදේ ඇවිදින්න ගියා.

දිනපතා පැය බාගයක් ඇවිදීම වෙෙද්ය නිර්දේශය නේ. කොහොමත් ඇවිද්දේ නැති දාට ඇඟට අසනීපයක් නෑ වගෙත් දැනෙනවා.ගෙදර අවට වටපිටාවේ පොකුණක් ළඟ හිටිය යෝධ කොකෙක් (Great Egret) අපේ සිත් ගත්තා. ඌ බලන්න ළං වෙද්දී ඌ පිහාටුවක් තැගි දීලා පියඹලා ඈතට ගියා.
පිහාටුව සුළඟේ පාවෙන්න ඔන්න මෙන්න තියෙද්දි අහුලා ගත්තා. පිහාටුව සැහැල්ලුයි. පිහාටුව විතරක් නෙවේ කුරුළු ඇඟත් සැහැල්ලුයි. ඇටකටු අවකාශ සහිතව හැදිලා තියෙන්නේ. මුත්රා එකතු කර ගැනීමක් නෑ. යූරික් අම්ල කැට විදියට නයිට්රජනීය බහිස්ස්රාවය කරනවා.
මේ සේරම වගේම කුරුළු ජීවිතෙත් සැහැල්ලුයි. පොඩි කාලේ අම්ම තාත්තා කියන විදියට කූඩුවේ ඉන්නවා. අම්ම තාත්තා කන්න බොන්න ළඟටම ගෙනත් දෙනවා. පිහාටු ඇදිලා ලොකු වුණහම දොරට වඩලා තනියම ජීවිතයට ඉඩ අරිනවා. ආයේ ඒ අම්මා තාත්තාට දරුවන්ගේ වග කීමක් හෝ දරුවන්ට අම්ම තාත්තා ගේ වගකීමක් හෝ නෑ. දරුවො කන්න බොන්න සොයාගෙන නිසි කල ආවම සහකරු සහකාරිය සොයාගෙන සංවාසය කරලා කූඩු හදලා ඊළඟ පරපුර හදනවා. පැටවු රැකබලා ගන්නවා. ඒකට තව කාගෙවත් උදවු ඕන නෑ. බිත්තර රකිනවා. පැටවුන්ට කෑම හා ආරක්ෂාව දෙනවා. නිසි කල අත අරිනවා. දෙන්න දෙමහල්ලෝ අතර ගැටුම් නෑ. ආයේ ඊළඟ වාරය එනකම් ඉන්නවා. ජීවිතේ ගෙවනවා. හදිසි අනතුරකින් නොවුණොත් ලෙඩකින් හරි වයස ඉකුත්වී හරි ජීවිතය අවසන් කරනවා.

Sunday, January 21, 2024

පිපිඤ්ඤා Cucumber

 පිපිඤ්ඤා Cucumber




ළවළු නෑ නෑ කියලා කියන නිසා මං ඇඳපු පිපිඤ්ඤා ගෙඩියක පින්තූරයක් ඔන්න දැම්මා. පිපිඤ්ඤාත් ඤෑ ද?
පිපිඤ්ඤා කන්න පුළුවන් නම් හොඳයි. මේක අයිති කුර්කුබිටේසි කුලයට. ඒ කියන්නේ වට්ටක්කා අයිති එක. මෙහි විද්යාත්මක නම Cumis sativum. පිපිඤ්ඤා කහපාට ලෙල්ල තමයි ඒ දවස් වල අපට තිබුණෙ. දැන් නම් මේ කොළ පාට ඒවා තමයි මෙහේ දී අපි ගන්නේ.
මං දන්නවා දැන් ඔබ අහන ප්රශ්නෙ. පිපිඤ්ඤා අපට ගුණ ද? මෙන්න උත්තරේ.
පිපිඤ්ඤා ගෙඩියක 96%ක්ම තියෙන්නේ වතුර. ඉතිරි 4% හතරේ මෙන්න මේවා වැඩිපුර තියෙනවා.
කාබෝහයිඩ්රේට
පොටෑසියම්
මැග්නීසියම්
තන්තු
විටමින් C
විටමින් K
ඉතින් මේක අඩු කැලරි ආහාරයක්. උයලා කෑවහම සමහර ඒවා නොලැබී යනවා. ඒ වගේම ලෙල්ල අයින් කළොත් තන්තු හා සමහර ලවණ නැති වෙනවා. අධි රුධිර පීඩනය තියෙන අයට ඉතාම හොඳයි.
පිපිඤ්ඤා කැකිරි වූ කතාව අහලා ඇති නේ.
කැකිරිත් Cumis ගණයටමයි අයිති. කැකිරි පලමු අනිත් දවසෙ.

Saturday, January 20, 2024

කටු අකුලක මල වුව මැන

 කටු අකුලක මල වුව මැන





කොළ නැති කටු පිරි ගස් කැක්ටස් වර්ග ජලය හිඟ පරිසරයක ජීවත් වෙන්න අනුවර්තනය වෙලා තියෙනවා. කොළ තිබුණොත්
අමාරුවෙන් හම්බවෙන වතුර ටික ඒ කොළ ලෝබ නැතුවම වායුගෝලයට මුදා හරිනවා. ඉතින් මේ ගස් කොළ නැතිකරගෙන කටු ඇති කරගෙන ඒ අමාරු පරිසරය ජය ගන්නවා.
සමහර වෙලාවට අපට වුණත් කොළ නැති කරගන්න වෙනවා. කටු ඇති කරගන්න වෙනවා. නැත්නම් කොළ හංග ගන්න වෙනවා. මොකද කොළ හරි ලාමකයි. වතුර ටික දීලා දානවා. කටු රළුයි. ඇනුණොත් රිදෙනවා. රිදෙනවට හුඟක් අය බයයි.
කැක්ටස් වල කොළ කරන වැඩේ කඳ තමයි කරන්නේ. ඒකයි කඳ මහත හා කොළපාට. කඳේ වතුර රඳවා ගන්න වැඩෙත් කරනවා.
කටු අකුල්වල වුණත් මල් පිපෙනවා.

Wednesday, January 17, 2024

ඔස්ටියෝපොරෝසිස් හා සෝයා

 ඔස්ටියෝපොරෝසිස් හා සෝයා













වයසට යාමත් සමග සෑම ස්ත්රීන් 5ස් දෙනෙකුගෙන් තිදෙනෙකු හා සෑම පුරුෂයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු අස්ථි දුර්වල වීමේ රෝගය හෙවත් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩා විඳිනවා. මේ රෝගයේ රෝග ලක්ෂණයක් නෑ. අස්ථි බිඳීමක් වුණහම තමයි දැන ගන්නේ තමන්ට එවැනි රෝගයක් ඇති බව. නමුත් නූතන වෙෙද්ය පරීක්ෂණ මගින් අස්ථි ඝනත්වය මැනීමෙන් එය දැන ගැනීමට පුළුවන්.
ශරීරයේ හෝමෝන විශේෂයෙන්ම ඊස්ට්රජන් හිඟ වීම මේ රෝගයට ප්රධාන හේතුව වෙනවා. පිරිමින්ගේ හෝමෝන වෙනස සෙමින් වන අතර ගැහැනුන්ගේ ආර්තව හරණය සමග ශීඝ්ර ලෙස ඊස්ට්රජන් පහළ බහිනවා. මේ නිසා අස්ථි දුර්වලවීමේ ප්රවණතාව ද වැඩි බව පැහැදිලියි.
රෝගය වලක්වා ගැනීමට අපේ ආහාර රටාව මෙන්ම ව්යායාමයද වැදගත් වෙනවා. දිනකට පැයක් පමණ ඇවිදීම අවශ්යයි. ආහාර අතර සෝයා වලට වැදගත් තැනක් හිමි වෙනවා. සෝයා ඇටවල ඇති අයිසොෆ්ලේවෝන්ස් ඇතැම් අයගේ ආහාර මාර්ගයේ දී ජීර්ණ ක්රියාවලිය වෙන විට ඊක්වොල් නම් සංයෝගයකට හැරෙනවා. මේ ඊක්වොල් ඊස්ට්රජන් මෙන් ක්රියාකර අස්ථි යහපත්ව පවත්වා ගන්න උදවු වෙනවා. එපමණක් නොවේ ඊක්වොල් ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා ද මග හරවනවා. ප්රතිකාර ලෙස ඊස්ට්රජන් හෝමෝනය ගැනීමෙන් පිළිකා ඇතිවෙන්න පුළුවන් නමුත් ඊක්වොල් වල ඒ අවදානම නෑ. ආහාර මාර්ගයේ දී සෝයා අයිසොෆ්ලේවෝන්ස් ඊක්වොල් වීම සිදුනොවන අයට පිළියෙල කළ ඊක්වොල් ලබා ගන්න පුළුවන්. මේ හැර කිවි පලතුර ද මේ තත්ත්වය වලක්වා ගැනීමට උපකාර වන තවත් ආහාරයක්. එහි විටමින් K වැඩි ප්රමාණයක් ඇති අතර එය ද අස්ථි සඳහා වැදගත් දෙයක්.

Wednesday, January 10, 2024

එහෙමත් කාලයක් තිබුණා

 එහෙමත් කාලයක් තිබුණා














එහෙමත් කාලයක් තිබුණා
ඒත් ෆෝන් තිබුණෙ නෑ
ඉතින් කෑවද බිව්වද
ඔයා දැන් කොහෙද
මට හරි පාළුයි
දකින්න ආසයි
හුළඟේ පාකර
පණිවිඩ යැවුණා
ඕනම ඕන වුණහම
තැපැල් පතක ලිපියක
මුතු අකුරු ඇමුනුණා
ලියුම් පෙට්ටියට වැටුණා
පිළිතුරු සීනුහඬ
හදගැස්ම වැඩිකරන
එනතුරු මග බලන
ඒ කාලය මතකයකි
හදවත කිතිකවන

Monday, January 8, 2024

ළමයි බොරු කියනව ද?

 ළමයි බොරු කියනව ද?















ව් ළමයි බොරු කියනව. වැඩිහිටියො ඊට වඩා බොරු කියනව. ළමයින්ගෙන් 96%ක් ගෙදරදී බොරු කියන බව වාර්තා වෙනව. අවුරුදු හතරෙ ළමයි හැම පැය දෙකටම වරක් ද අවුරුදු හයේ ළමයි හැම පැයකට වරක් ද බොරුවක් කියනව කියල තියෙනව. මේ ගැන වෙනම පර්යේෂණ සාහිත්ය තියෙනවා. මං ඒ ගැන ගැඹුරට කියන්න මෙහිදී අදහස් කරන්නේ නෑ.
දැන් මේ කතාව ඉස්සරහට යන්න කලින් ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕන 'බොරු' කියල හඳුන්වන්නේ මොනවද කියලා. ඊළඟට 'බොරු' කියල අපි කියන දේවල් දරුවන් ඔවුන්ගේ දැනුම් ප්රමාණය මත බොරු කියල අඳුන ගන්නවද කියලා.
බොරු කියන්නේ ගොතන ලද කතා, ෆැන්ටසි වෙන්න පුළුවන් කියලයි මෙහිදී ගන්න වෙන්නේ. සිදු නොවුන දෙයක් සිදු වුණ විදියට කියන එක. ඒව කියන දරුවො ඒව තම සිතට ඒවා කොහෙන් ආවද කියල දන්නේ නෑ. සමහර විට දඬුවම් ලැබීමට බයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං මේ විදියට කිව්වොත් මොකද වෙන්නේ කියල අත්හදා බලන්න වෙන්න පුළුවන්. මං පොඩි කාලේ එහෙම ප්රබන්ධ ගොතල කියල තියෙනව. ඒ සමහර දේවල් හරිම විවාදාත්මකයි. දැන් හිතනකොට පුදුම හිතෙනවා.
සමහර විට මං මගෙ පාසල් යාළුවන්ට ෆැන්ටසි මවල ඇත්ත වගේ කියල තියෙනවා. උදාහරණ විදියට ගෙදර ලොකු උත්සව තිබුණ කියල ඇත්තටම නොතිබූ දේවල් කියල තියෙනව. අපි නිවාඩුවට එංගලන්තෙ ගියා. රැජින ඉන්න මාළිගාවට ගියා. ඒත් ඒ වනවිට ගුවන් ගමනක් ගැන හිතලවත් නෑ.
මේ කතා මවල කියන එක හුඟක් ළමයි කරනව ඇති. ඒ නිසා අද ඉන්න ළමයි ඉස්සර හිටිය ළමයි වගේ නෙවේ කියන්න බෑ. ඉස්සර හිටිය ළමයි අහිංසකයි දැන් ළමයි මැරෑටි කියන්න බෑ. ළමයි ළමයිම තමයි. මාත් ඉස්සර හිටිය ළමයෙක්.

Thank you Merritt Thomas for the image on Unsplash