Tuesday, July 31, 2018

සුන්දර සුර්යකාන්ත



 සුන්දර සුර්යකාන්ත





මේ ගිය වසරේ මා කැලිෆෝනියාවේ සිටි කාලයයි . මේ කාලය ග්‍රීෂ්ම ඍතුවයි. අධික උණුසුම නිසා දිවා කල එහි එළි පහලියට බැසීම ඉතා අසීරුයි . නිවසේ වායුසමීකරණ පැය 24ම ක්‍රියාත්මක වෙනවා . හරිතාගාර ආචරණය ....ඉන්දන දහනය ...මේවා ගැන සිතීමෙන් පලක් ඇද්ද? ලෝකයම අනවරත තරගයක හැල්මේ දුවමින් සිටියි.  ඒ තරගයේදී වටපිට සිදුවන දේ ගැන ඒ තරම් තැකීමක් නැත. 
ඒ දිනවල නිවසේ පිටුපස උද්‍යානයේ මා සිටවූ සුර්යකාන්ත ගස් වල මුල්ම මල පිපුනේ සිත උද්දාමයට පත් කරමින් . එකින් එක මල් කුමරියෝ දවසින් දවස නෙත් පියන් හැර කොමල සිනා පාන්නට වුණා. එත්  ඔවුන් තනි වුයේ නෑ . සතර දෙසින් මී මැස්සෝ ,සමනලයෝ ,පළගැටියෝ ඔවුන් සොයා ඇදෙන්නට වුයෙන් මා  කැමරාවත් අතැතිව ගස් අතරේ සැරිසරමින් ඒ සොඳුරු දසුන් කාචයට හසු කර ගත් තා . මල් වලට ඇදුනු කහ පාට සුන්දර සමනලයා (නම සොයා ගන්නට බැරිවූ ) තාම එහි එනවා ඇද්ද ? එත් මෙවර එහි සුර්ය කාන්ත කැකුලියෝ නම් එහි නෑ .

සුර්ය කාන්ත (Sun Flower, Helianthus annus ) Compositae ශාක කුලයටයි අයිති. මේක තනි මලක් නොවේ....මල් පොකුරක්. එනම් පුෂ්ප මංජරියක්. මෙහි එක එක මලට උද්භිද විද්‍යාවේ කියන්නේ පුෂ්පිකාවක් කියලා .වටේ තියෙන ඒවා අංශු පුෂ්පිකා,අපි මලේ පෙති කියලා හිතන ඒවා. මැද තියෙන ඒවා  මණ්ඩල පුෂ්පිකා . මේ ඔක්කොම ඒවායින් ඵල හැදෙනවා. අපි සුර්ය කාන්ත ඇට කියන්නේ මේ  ඵල වලට. ඔන්න ඉතින් උද්භිද විද්‍යාව පාඩමක් පටන් ගත්තා නේද?මොනවා කරන්නද ? පුරුද්ද අත් අරින්න බැරි වෙනවා.දෝණි හිටිය නම් කියයි "අම්මා මේ ඉස්කෝලේ නෙමේ "කියල. උද්භිද  විද්‍යාවේදී ද්වි බීජ පත්‍රී ශාකය ගැන මුළුමනින්ම උගන්නනේ සුර්යකාන්ත උදාහරණයෙන් නේ ?

එහේ  සුර්ය කාන්ත වතු තිබෙනවා. ඒවායෙන් නෙලා ගන්නා ඇට වලින් තමයි සුර්යකාන්ත තෙල් (Sunflower Oil )හදන්නේ. තව සුර්යකාන්ත ඇට කෑමට ගන්නවා. වට්ටක්කා ඇට වල මදේ වගේ කිරි රහයි .මම පැල කළේ එහෙම කෑමට ගෙනා ඇට වගයක් තිබිලා . සුන්දර සුර්යකාන්ත ගැන දැනට ඇති නේද ?