Tuesday, March 30, 2021

මව්බිමේ දුක් ගීය

 












මව්බිමේ දුක් ගීය
සැඟව මතුවන ආයෙ සැඟවෙන පුල්ලි කෝ අද නෑ පෙනෙන්නේ
බිඳී කුම්බස්තල වැටී බිම ඇතුන් අවසන් හුස්ම               යන්නේ
විහඟ ගී නද ගිහින් ඈතට උයන් වතු පාළුව               ගිහින්නේ
මව්බිමේ වැළපීම ඉකියකි කඳුළු මුතු ඉහිරී                තියෙන්නේ

නීල සළුපට උනා දමලා උන්ම නිරුවත් කළා මිහි               කත
නෑසු කන් ඇතිවම ඇගේ දුක උන්ම කෙළසා දමා ඇගෙ    ගත
කාසි මිටි තම දෝත පුරවා කඳුළු පුරවා ඉරා ඇගෙ        නෙත
උන්ගෙ බියකරු වියරු සිනහව නැගෙයි අළුකර දමා    හදවත

නීල දිය දහරට දමා වස සල්ලි සෙව්වෙන් පියාගෙන        නෙත
මීන ගී නද නෑ ඇසෙන්නේ මසුන් උඩුකුරු වී පියා            නෙත
උන්ම උල්පත් වලට බැහැලා වතුර බෝතල් හදන        පිළිවෙත
බොන්න වතුරත් සල්ලි වලටම ගන්න කියලා කියා අප     වෙත

හුස්ම බිංදුව විතරමයි දැන් නොමිළයේ අප හට      ලැබෙන්නේ
ගස්ම කපලා ගස්ම ඉරලා ලොරි පිටින් මොරටුවට        යන්නේ
රස්නෙ මේ විදියට ගියොත් නම් ඉහළ මොනවද අපට වෙන්නේ
හුස්ම හිරකර ජනී ජනයා මරන්නද මේ දත                කවන්නේ

කොහොම තිබු රටකද එදා අපි පුංචි දවසේ කාලෙ      ගෙව්වේ
කිසිම කිසිවක් පරිසරේ ගැන අමුතුවෙන් තව නැහැනෙ ලිව්වේ
අසම සම දිවයිනක ඒ වත ලොව පුරා නෙක දනන්      සෙව්වේ
විසම මේ විපරීත සිදුවී කුමන නරකාදියද                      මැව්වේ

© 2021maliniganewatta ( 14.03.2021)

Saturday, March 27, 2021

විෂ පොල් තෙල්

 












විෂ පොල් තෙල්

අද කළ එළි බැහැල තියෙන මාතෘකාව තමයි විෂ පොල් තෙල්. Aflatoxin පොල් තෙල් වලට අමුතුවෙන් එකතු කරන දෙයක් නෙවේ. කොප්පරාවල හැදෙන Aspergillus flavus හා Aspergillus parasiticus, දිලිර වලින් හැදෙන විෂක්. මෙය රත් කලත් සම්පුර්ණයෙන් විනාශ වෙන්නේ නැහැ. හිරු එළියෙන් 60% ක් පමණ විනාශ වෙනවා. ඒ නිසා ඉන්දියාවේ ගෘහිනියන්ට එකල උපදෙස් දී තිබුණා තම පොල් තෙල් බෝතල් හිරු එළියේ තබන්න.
Aspergillus දිලීරය පොල් කොප්පරාවල විතරක් නෙවෙයි තියෙන්නේ. රට කජු බීජ වල, කජුවල, බඩ ඉරිඟු ඇටවල, වියළි මිරිස් කරල් ඇතුලේ එහෙම හැදෙනවා. ඒ සේරම ආහාර සමග අපි මෙය ශරීර ගත කර ගන්නවා. ඔබ රට කජු බීජ අරන් දෙකට පලල බලන්න, මැද දිලීර තියෙන හැටි. වියළි මිරිස් කරල් උඩින් හරිම ඔපේට තිබුනට කඩල බලන්න ඇතුළෙ දිලීර තියෙන හැටි. වියළි මිරිස් ගෙදර හෝදලා වේලලා ගන්න විට අනිවාර්යයෙන් ඇතුළ බලන්න. මම වරක් මුළු මිරිස් ටික එහෙමම විසි කරා. සත්ව ආහාර වශයෙන් වෙළඳ පොළේ තියෙන බඩඉරිඟු ඇටවල දිලීර තියෙන හැටි ඔබට දකින්න පුළුවන් වේවි.
ඉතින් මේ විෂ නරක ඇයි ?
මේ විෂ මගීන් හුඟක් අහිතකර ප්රති විපාක ඇති වෙනවා.
1. Acute poisoning (aflatoxicosis) තත්වය ඇතිවෙනවා. මෙය ක්ෂණික ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන්.
2. දිගු කාලීන වශයෙන් (Chronic) අක්මාවේ හා වකුගඩු වල පිළිකා ඈති කරනවා.
3. ළදරුවන්ගේ උපත් අබාධ වශයෙන් වර්ධනයේ අඩු ලුහුඬුතා ඇතිවෙන්න පුළුවන්.
4. සත්ව ආහාර වල තිබීම නිසා ගව, කුකුළු ආදී සතුන්ට විවිධ අබාධ ඇති වෙනවා.
සියලුම රූප ස්තුති පුර්වකව අන්තර්ජාලයෙනි.
(Thanks to  Tijana Drndarski for the image on Unsplash) 




Tuesday, March 23, 2021

පිරවි Piravi (The Birth 1989 ) මලයාලම් චිත්‍රපටිය

 















පිරවි Piravi (The Birth 1989 ) මලයාලම් චිත්රපටිය

අධ්යක්ෂණය - සාජි එන්. කරුන්

සිනමා රූපණය - සනී ජෝසප්

සංගීතය - ජි. අරවින්දන්

රඟපෑම් - ප්රෙම්ජි, අර්චනා, ලක්ෂ්මි ක්රිෂ්නමුර්ති

 

සම්මාන  - 1989 දී කැන්සාස් සිනමා උළෙලේ හොඳම කැමරා කරණය, ඉන්දියාවේ  Golden lotus Award   ,ෆිල්ම් ෆෙයා සම්මානය ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි. 1955 සත්යජිත් රායි ගේ පාතර් පංචලිට පසු ලෝක අවධානය දිනාගත් චිත්රපටිය මෙයයි. අන්තර්ජාතික සිනමා උළෙල වල් 50කට  වැඩි සංඛ්යාවක් නියෝජනය කර ඇත.

කේරළයේ කුඩා ගමක් පසුබිම් කරගෙන චිත් පටියේ තේමාව දිව යයි. කතාව 1978 සිදුවූ සත් සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය කළ එකක්.

රඝු , රාඝවන් ගේ එකම පුත්රයා . රඝු ලැබුණේ රාඝවන් හුඟක් වයසට ගියාට පස්සේ. රඝු නගරයේ ඉංජිනේරු කොලිජියේ ඉගෙන ගන්නවා.  ඔහු, ඔහුගේ වැඩිමල් සොයුරියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට එන්න හිටියත් එන්න වෙන්නේ නැහැ.  පියා පුතා එනකම් මග බලන් ඉන්නවා. හැමදාම බස් නැවතුම් පොළට ඇවිත් අවසාන බසයත් ගියාට පස්සේ බලාපොරොත්තු ඊළඟ දවසට කල් තියල ආපහු ගෙදර යනවා.  ( මේ වගේ හමුදාවට ගිය තම පුතා එනකම් බලන් ඉන්න තාත්තෙකුගේ කතාවක් ප්රසන්න විතානගේ 1997 දී අධ්යක්ෂණය කළ පුර හඳ කළුවර කියන සිංහල චිත් පටියෙත් තිබුණා. ජෝ අබේවික්රම පියාගේ චරිතය රඟ පෑවේ.)

 රාඝවන් දැන ගන්නවා පත්තරෙන් රඝු පොලිස් අත්අඩංගුවට පත් වූ බව, දේශපාලනය නිසා.  ඔහු නගරයට ගිහින් උසස් පොලිස් නිලධාරීන් හමු වෙනවා.  නමුත් රඝු අත්අඩංගුවට පත් වූ බවට සාධක නැහැ. කියන්නේ පොලිසිය සත් වසන් කරනවා.  රඝු ගේ සොයුරිය දැන ගන්නවා පොලිස් අත්අඩංගුවේ දී සිය සොහොයුරා වධ බන්ධන වලට ලක්වී ඝාතනය වන බව. 

නමුත් ඇයට තම වයසක පියාට බව දන්වන්න තරම් ධෛර්ය යක් නැහැ.  වයස් ගත පියා තමාගේම මනෝ ලෝකයකට පිවිසෙනවා. තම පුතා තමන් සමග ඉන්නවා යයි සිතා ඔහු සමග කතා කරනවා.

විචාරක අදහස අනුව චිත් පටිය කාලීන දේශපාලනය ග්රහණය කර ගන්නවාට වඩා පුද්ගල මනෝ භාවයන් නිරුපණයට යොදාගත් උත්සාහයක්. සිනමා රූපීය වශයෙන් ස්වභාවික පරිසර තත්වයන්, මෝසම් වැසි, තෙතමනය, ආදිය එසේම යොදාගත් චිත් පටි අතලොස්ස අතරින් එකක් වෙනවා.  මෝසම් වැස්ස සංකේත ලෙස යොදා ගෙන තිබෙනවා.  බෝට්ටුව හා තොටියා කරුණාව හා බලාපොරොත්තුව සංකේතවත් කරනවා.  ගඟේ ඉවුරු දෙක බලාපොරොත්තුව හා යථාර්තය නිරුපණයට යොදාගෙන තිබෙනවා.  මේ චිත් පටිය නරඹන මෙන් මා ඔබට ඇරයුම් කරනවා. මම නම් මෙය රීගල් සිනමා ශාලාවේ නරඹා තිබෙනවා. අවාසනාවට ඉංග්රීසි උපසිරැසි සහිත එකක් නම් මට You Tube එකේ හමු වුණේ නැහැ.  ජර්මන් උප සිරැසි සහිත එකක් තියෙනවා, You Tube එකේ.  ඇත්තෙන්ම උපසිරැසි නැතත් චිත් පටිය තේරුම් ගන්න අමාරු නැහැ.

Image from Internet


Thursday, March 18, 2021

දයාබර සුදු දුව ( කෙටි නවකතාව) - පළමු දිගහැරුම

 










දයාබර සුදු දුව ( කෙටි නවකතාව) - පළමු දිගහැරුම

 

 

විශාල සාලයේ එක් පසෙක සකස් කර තිබෙන වටිනා දැවයෙන් නිර්මිත රාක්කයේ ප්රදර්ශනය කර තිබෙන පින්තූර වැඩි හරියක් වර්ණ ඡායාරුප. ඒවායේ ඔයාගේ සොයුරිය හා සොහොයුරාගේ මංගල ඡායාරූප තමයි ඉස්මතුවෙලා පෙනෙන්නේ. ඒවාට පිටුපස්සේ තව  කළු සුදු  ඡායාරූප තුනකුත්  තියෙනවා. එයින් එකක් අපේ කියන්නේ ඔයාගේ අම්ම තාත්තගේ විවාහ මංගල්යයේ ජෝඩු ඡායා රූපය. අනික් එකක් අපේ සමූහ ඡායා රූපය. ඒකෙ පෙනී ඉන්න මනාලියන්ගේ යෙහෙළියන් ගෙන් එක්කෙනෙක් වන සුදු හාමිනේ  නංගි අද ජීවතුන් අතර නැහැ. වගේම දෙවෙනි මනමාලයෙක් විදියට ඉන්න සරත් මල්ලිත් අද ඈත අපි නොදන්නා ලෝකයක. අනික් පොඩි ඡායා රූපය තමයි මට නම් සුවිශේෂම එක.  ඒකෙ මම පුටුවක ඉඳ ගෙන ඉන්නවා.  ඔයාගේ තාත්තා පුටු අත උඩ ඉඳගෙන ඉන්නවා.  චූටි ඔයා මගේ උකුළේ ඉඳගෙන ඉන්නවා, නිදි බරව. අපි එදා පින්තූරේ ගන්න වෙස්ට් එන්ඩ් ස්ටුඩියෝ එකට යනකොට හොඳටම හවස් වෙලා.  ඔයාට නිදිමත වෙලා හිටියේ.  ඔයාට එතකොට මාස හයයි. එච්චරයි ඔයාගෙයි කියල මේ ගෙදර භෞතිකව පින්තූරයක් තියෙන්නේ.  ඒත් උපන් හැටියේ සුදු පුළුන් ගුලියක් වගේ  හා පැටියගෙ ඉඳල  ඔයා අපෙන් ඈත් වුණු දවස වෙනකම් ඔයාගේ ඔක්කොම පින්තූර මගේ හිත ඇතුලේ රාමු වෙලා තියෙනවා මැකිලා යන්න බැරි විදියට.  මං මේ ලෝකෙන් යන දවසට ඒවා මගෙත් එක්කම නැතිවෙලා යයි.  ඔයාගේ නංගිටයි මල්ලිටයි ඔයා ගැන ලොකු මතකයක් තියෙන්න විදියක් නැහැ.  නැත්නම් දැන් එයාල එයාලගේ කලබලකාරී රාජකාරි බහුල ලෝකවල නිසා ඔයා ගැන හිතන්න ඉස්පාසුවක් නැතුව ඇති.

 

මං ඇනා කැරනිනා පොත අරන් මගේ සුපුරුදු සෝපාවේ ඉඳගත්තේ ඒක කියවන්න හිතාගෙන. මං මේ පොත දහ පාරකට වැඩිය කියවල ඇති. ඒත් මගේ හිත චංචල වෙනවා. සාලයේ විශාල ජනෙල් පෙළියේ තියෙන තිර රෙදි අතරින් ඉර එළිය යන්තම් පෙරිල ඇවිත් සාලේ ඇපල් වයිට් තීන්ත ආලේප කරපු බිත්තියේ රටාවක් අඳිනවා. රටාවේ මොකක්ද මට කියන්න බැරි දුකක් ඇඳිලා තියෙනවා.  හරියට කුඩා බිම් ගේ දොරටුවකින් ඈතින් තියෙන ගුහාවකට පිවිසෙනවා වගේ මම බිත්තියේ ඇඳුණු රටාව ඔස්සේ   දුක ඇතුළට පිවිසෙනවා. පිවිසිලා දුක දිගේම ඈතට ඈතට යනවා.

 

ඔයා තමයි මම අම්මා කියන උත්තම වචනයට සුදුස්සෙකු කළේ.  මට ඔයා උපන් දවස අද වගේ මතක් වෙනවා.  මට ඔයා ලැබෙන කොටත් සෑහෙන වයසක් ගෙවිලා ගිහින්.   නිසා කොහෙද මට නොසෑහෙන්න අමාරු වුණා. මගේ තාත්ත ඔයාගේ සීය මං ගැන හුඟක් බයවෙලා ඉඳල තියෙන්නේ.  ඒත් ඔයා මගේ දෝතට ආවට පස්සේ අමාරු කොහෙන් ගියාද කියල නැතිවුණා.  ඔයා පුරපස සඳ වගේ සුදෝ සුදු පුංචි පැංචියක්. ඔයා ගෙදර එක්ක ආව දවසේ ඉඳල ආච්චි, සීය, මාමල, නැන්දලා සේරෝගේම එකම හුරතලය වුණේ ඔයා.  පළමු මිණිපිරිය ආච්චි සීයට සුදු මැණිකේ  වුණා.  පළමු ලේලිය මාමලට රන් පැටියා වුණා.  ඔයාගේ නෑවීම ,රෙදි පෙරෙදි සේදීම වගේ ඒවාට ගෙදර හිටිය යසාට අමතරව වට පිටේ අම්මලත් හරියට උදව් වුණා.  එහෙම හුරතලයක් නම් දැකල තිබුණේ නැහැ.  මට තිබුණේ ඔයාට කුක්කු ටික දෙන එක විතරයි වෙලාවට.  මං කුස්සියට ගියත් ආච්චි මට වැඩ කරන්න දුන්නේ නැහැ, මිරිස් සැර අතේ ගාගෙන දරුවා අල්ලන්න එපා කියල.

ඔයා ටිකෙන් ටික ලොකුවෙනවා අපි හැමෝම ආසාවෙන් බලන් හිටියා.  මගේ පවුල් ජීවිතේ නම් එච්චර සුන්දර එකක් වුණේ නැහැ.  ඔයාගේ තාත්තා අපි ගැන තරම් සොයා බැලුවේ නැහැ.   වෙලාවකට හොඳ වෙලාවකට යක්ෂයෙක් වගේ වෙන කඩවරයෙක්  එයා.   මගේ ලැබීම.  කොහොම වුණත් ඔයා පුර පස සඳ වගේ වැඩෙමින් හිටියා.

අවුරුදු දෙකේදී ඔයාට සරම්ප හැදිලා හොඳටම අමාරු වුණා. ඔයාගේ උණ අංශක 104 නැග්ග. ඔයාගේ සුදු හැම ගැලවෙන්න පටන් ගත්තා. හිසකෙස් ඔලුව අතගාද්දී අහුරු පිටින් ගැලවිලා ආවා. මං ඇතුළු ගෙදර හැමෝම පුදුම බයකින් හිටියේ. ඒත් දෙය්යන්ගේ පිහිටෙන් ඔයා අතුරු අන්තරාවක් නැතුව සනීප වුණා.

ඔයාට අවුරුදු තුනක් වෙද්දී තමයි නංගි බබා ගෙනාවේ. හැබැයි ඔයා ඒකට තරම් සතුටක් දැක්වුයේ නැහැ.

"මට ඔය මුකටි පැටියා ඕන නැහැ "කියල ඔයා මූණ හපුටු කරගෙන කිව්වා.   වුනාට ඔයා නංගිට මුකුත් කරදරයක් කළේ නැහැ.

මල්ලි නම් පවුලට එකතු වුණේ විශේෂයෙන් තාත්තගේ ඉඳල කාලයක් තිස්සෙම තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉටු කරමින්. තාත්තගේ අම්ම ඒ කියන්නේ ඔයාගේ තාත්ත ආච්චිට ගොඩගම ආරච්චිලාගේ ගේ විජේවර්ධන මුදලි පරම්පරාවේ නම ඉදිරියට ගෙනියන්න කුමාරයෙක් ප්‍රාදුර්භූත වෙනකම් නින්ද ගියෙත් නැහැ හරියට. වැඩිමල් ඔයාල දෙන්නම දුවරුනේ.  ඉතින් මුළු පරපුරම එදා කිරිබත් කෑව ඒ සතුට සමරන්න. ඔයාටත් ඒ කාලය වෙනකොට යමක් කමක් තේරෙනවා. 

මං දැන්  මේ පාළුවේ ඉඳගෙන ඉන්නේ ඔයා ආසාවෙන් එහෙ මෙහෙ දුව පැන ඇවිදපු සෙල්ලම් කරපු, සෙල්ලම් ගෙවල් හදපු, සෙල්ලම් බත් උයපු මහ ගෙදර නෙවේ.  ඔයාගේ මල්ලි පරණ මහ ගෙදර කඩල එතන හදල තියෙන විශාල නවීන පන්නයේ ගෙදරක.  ඒත් මට තාම අර සිංහල උළු හෙවිළි කරපු බිමට ගඩොල් අල්ලපු පරණ ගෙදර මතක් වෙනවා.   ගෙදර තිබුණු සිසිලස, ලස්සන මතක් වෙනවා.  වත්තේ තිබුණු වෙරළු, බෙලි, නමි නං, අඹ , කොස් දෙල් ගස් මතක් වෙනවා.   ඔයාල පොඩි කාලෙ ඒවායේ නැග ගෙන ගෙඩි කාපු හැටි මතක් වෙනවා.   කාලෙ ඔයාල රබර් වත්තේ තේ වතු වල දුව පැන ඇවිදලා සෙල්ලම් කළ හැටි මතක් වෙනවා.  තාප්ප තිබුනෙ නැහැනේ? තිබුණ නම් කම්බි වැටක් විතරයි.  ඒවයෙන් රිංගන, පනින එක ඔයාලට ලොකු දේවල් වුණේ නැහැ.   දැන් වත්ත වටේම තාප්පය බැඳලා, ගේ ලඟම තිබුණු පළතුරු ගස් දැන් නැහැ.  මිදුල ලෑන්ඩ් ස්කේප් කරලා.   ඒකෙ වැඩ කරන්නේ අපි නෙමේ.  මල්ලිලට කොහොමත් ඒවාට ඉඩ නැහැ.  සතියකට සැරයක් අදාළ සමාගමෙන් ඇවිත් සුද්ද පවිත් කරනවා.  මමත් ආසාවට මල් පෝච්චි කිහිපයක් හදල තියෙනව, පිටිපස්සේ මිදුලේ.   ඔයත් දවස් වල මල් වලට හරිමආසයි.  පුංචි කමට මල් පැළ වවනවා. ඔයාට ඒවා මතකද?