අද ඔක්තෝබර් 23 අපි පික්නික් එකක් ගියා. ඒ Lake Murray කියන ස්ථානයට. එය පිහිටා තිබෙන්නේ දකුණු කැරොලයිනා අග නගරය වන කොලොම්බියා සිට
සැතපුම් 30ක් පමණ ඈතින් පිහිටි Dreher Island State Park එකත් එක්ක. Lake Murray
කියන්නේ ගඟ ආශ්‍රිත ජලාශයක්. එහි ඇති විශාලම දුපත තමයි
අක්කර 50,000ක් පමණ වන Dreher Island State Park. මේ උද්‍යානයේ දී ඔරු පැදීම,ඇවිදීම,කඳවුරු ගැසීම
හා මසුන් ඇල්ලීම වගේ විනෝදාංශ වලට සංචාරකයන්ට යොමු වෙන්න පුළුවන්. ජලාශය 1920දී ජල විදුලිය නිපදවීම සඳහා ඉඳි කරන ලද්දක්.
ඊට අමතරව දැන් මෙය විනෝදාශ්වාදය ලබා දෙන තැනක් ලෙස ප්‍රසිද්ධයි.
අපි ජලාශයේ
දිය ක්‍රීඩාවේ යෙදුණා. චුටි පුතා අවශ්‍ය tubes ගෙනිහින්
තිබුණා,අපිට පීනන්න බැරි
නිසා. ඉන් පස්සේ අපි අරන් ගිය කෑම පිළියෙළ කළා. ඒවාට අවශ්‍ය පහසුකම් සලස්වලා
තිබෙනවා.අපි ආහාර ගැනීමෙන් පස්සේ ටික වෙලාවක් අවට ඇවිදලා නැවත නිවෙස බලා ගියා.
ඊළඟ දින
දෙක සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. උදේ
ඇවිදීම ,චිත්‍ර ඇඳීම හා ආහාර
පිළියෙළ කිරීම වගේ දේවල් තමයි කරන්න තිබුණේ. Camellia මලක් කඩාගෙන
ඇවිත් චිත්‍රයට නැගුවා.
ඔක්තෝබර් 26 වෙනිදා සවස අපි University of South Carolina, Jim එකට ගියා. සිසුන්ට ක්රීඩා සඳහා මෙහි හුඟක් පහසුකම් සලස්වල තියෙනවා. අපි ගෘහස්ත ක්රීඩාගාරයේ එහෙ මෙහෙ දුව පනිමින් පොඩි ළමයි වගේ Scotch ක්‍රීඩා කළා.ඊ ලඟට පිහිනුම් තටාකයේ පිහිනීමේ යෙදුණා. ඒ සීතල වතුරේ සීතල මග ඇර ගන්න උණු වතුර Spa එකක් ගන්න ලැබුණා. Sauna නමින් හැඳින්වෙන වාෂ්ප පිරුණු කුටියක මිනිත්තු කිහිපයක් හිටියා. ඒකෙන් ඇඟට අපූරු සුවයක් ලැබුණා . නිවසට එන විට මධ්‍යම රාත්‍රිය පහුවුණා.
ඔක්තෝබර් 27 උදය වරුවේ නිවසට වී හිටියා. වැලමිටේ ඇතිවූ
තද බල වේදනාවක් නිසා චිත්‍ර ඇන්දෙත් නැහැ. සවස් වරුවේ චුටි පුතා එක්ක mall එකකට ගියා.අවශ්‍ය දේවල් ටිකක් ගත්තා.ගෙදර
ඇවිත් අපි හැමෝම ආපන ශාලාවකට ගිහින් තේ පානය කළා.
ඔක්තෝබර් 28 උදේ සුපුරුදු පරිදි ඇවිදින්න ගියා. අපිට
හැමදාම උදේ හමු වුණ මහළු කාන්තාවන් දෙදෙනාට සමු දුන්නා. අපි මේ ජීවිතයේ කවදාවත් නැවත හමුවන එකක් නැහැ. ( COVID නිසා හුඟක් වැඩිහිටි නිවෙස්වල හිටි පිරිස මියගිය බව මාධ්‍ය මගින් දැන ගන්න ලැබුණා. අනේ ඒ දෙන්නට මොනවා වුණාද දන්නේ නැහැ.) එදා හවස අපි හැමෝම University
of South Carolina, School of music Recital Hall හි
පැවැත්වුණු ‘Imani
Winds’ නම් සංගීත
සංධ්වනියක් නැරඹීමට සහභාගී වුණා. එය සම්ප්‍රදායික
හා පර්යේෂණාත්මක එකක් බවයි සඳහන් වී තිබුණේ. අපි සැබවින්ම එයින් හුගක් සතුටු වුණා.
ඔක්තෝබර් 29 උදේ අපි දකුණු කැරොල යිනා හි මර්ටල් වෙරළට ගියා. මේ උතුරු ඇමරිකාවේ නැගෙනහිර පැත්තේ ඇති අත්ලාන්තික් සාගරයේ පිහිටි වෙරලක්. ඒ නමින්ම වෙරළ ආශ්‍රිත නගරයක් ද තියෙනවා. එහි සංචාරකයන් සඳහාම වෙන්වූ හෝටල්, විනෝද විය හැකි තවත් ස්ථාන පිහිටුවා තිබෙනවා. ලි වලින් සකස් කළ අඩි පාරවල් තියෙනවා වෙරළ සමීපයට යාමට. ඇඳුම් මාරු කරගන්න ස්ථානත් තියෙනවා. ගොඩ බිම පැත්තේ ශාක වලින් ගහන වෙරළබඩ කැලෑව තියෙනවා. විශාල සෙනඟක් මුහුදේ දිය ක්‍රීඩා සඳහා ඇවිත් හිටියා. වතුර හරිම සීතල වුණත් අපිත් ටික වෙලාවක් නොගැඹුරු මුහුදේ දිය බුං ගසමින් සිටියා. අපේ මුහුදුවල වගේ නිල් පාට වතුර දකින්න ලැබුණේ නැහැ. ඔක්තෝබර් 29 සවස හිතට ලොකු දුකක් ඇතිවෙනවා. අපි හෙට
කැලිෆෝනියා බලා යන්න ඕන. වරින් වර ඇසට කඳුළු ආවා . අපි ගමන් මලු සකස් කරන විට
කුපර් අමුතු විදියට අඬන්න ගත්තා. මගේ ඇස් වලටත් වරින් වර කඳුළු ඉණුවා. මං
කාටත් හොරෙන් කුපර් තුරුල් කරන් ඇඬුවා.
ඔක්තෝබර් 30 උදේ 6.00ට පමණ නිවසින්
පිටත්වී කොලොම්බියා ගුවන් තොටුපළට ආවා. චූටි පුතා හා නදී දුවට සමු දුන්න මොහොත
හරිම හැඟීම් බර වුණා. 'අම්මා දුක් වෙන්න එපා.
අම්මා ඇමරිකාවේ අනික් කෙළවරේ තව ටික දවසක් ඉන්නවනේ' කියල චූටි
පුතා කිව්වා.
No comments:
Post a Comment