Sunday, March 7, 2021

ගමන ඉම තව දුරයි,

 

 

 










රාත්රිය මෝරා එයි,

තරුපතිටත් අද නම්,

එන්න අමතක වී ඇති හැඩයි.

චූටි තරු ඇස් ඉඟි මරයි,

 

ජීවන ඔරුව ගඟ දිගේ

උඩුගං බලා ඇදෙයි,

ඔරු කඳේ වැදෙන දිය රැළි

සමග නොඉඳුල් බස් තෙපලයි,

 

ඒවාට කන් දෙන්න මට

ඉඩක් නැති හැඩයි,

මට හොඳටෝම වෙහෙසයි !

ගමන ඉම තව දුරයි,

 

රුක් මල් සුවඳක් සුළඟේ පාව විත්,

නාස්පුඩු කිතිකවයි,

ගං ඉවුරේ බකිනි ගස මත

මා වවුලන් පොර බදයි,

 

රාත්රිය තව දිගයි,

පුරුද්දට හබල වතුරේ වැදෙයි,

ඔරුව උඩු ගං බලා ඇදෙයි,

ගමන ඉම තව දුරයි,

 

මට හොඳටෝම වෙහෙසයි,

ඉඳ හිට වැටෙන තුසර බිඳු

නිදිබර ඇස් සිසිලෙන් තවයි,

තව තවත් පිණි වැටෙයි.

 

මං එනතුරු නිදිවරන්  

අම්මා මග බලයි,

සමන් මල් සුවඳක් දැනී

ආයේ නැතිව යයි,

අම්මාගෙ සුවඳයි.

©2021
maliniganewatta

(Thanks to KAL VISUALS for the photo on Unsplash)


No comments:

Post a Comment