දයාබර සුදු
දුව ( කෙටි නවකතාව) - පළමු දිගහැරුම
විශාල
සාලයේ එක් පසෙක සකස්
කර තිබෙන වටිනා දැවයෙන් නිර්මිත රාක්කයේ ප්රදර්ශනය කර
තිබෙන පින්තූර වැඩි හරියක් වර්ණ
ඡායාරුප. ඒවායේ ඔයාගේ සොයුරිය හා සොහොයුරාගේ මංගල
ඡායාරූප තමයි ඉස්මතුවෙලා පෙනෙන්නේ.
ඒවාට පිටුපස්සේ තව කළු
සුදු ඡායාරූප
තුනකුත් තියෙනවා.
එයින් එකක් අපේ ඒ
කියන්නේ ඔයාගේ අම්ම තාත්තගේ විවාහ
මංගල්යයේ ජෝඩු ඡායා
රූපය. අනික් එකක් අපේ සමූහ
ඡායා රූපය. ඒකෙ පෙනී ඉන්න
මනාලියන්ගේ යෙහෙළියන් ගෙන් එක්කෙනෙක් වන
සුදු හාමිනේ නංගි
අද ජීවතුන් අතර නැහැ. ඒ
වගේම දෙවෙනි මනමාලයෙක් විදියට ඉන්න සරත් මල්ලිත්
අද ඈත අපි නොදන්නා
ලෝකයක. අනික් පොඩි ඡායා රූපය
තමයි මට නම් සුවිශේෂම
එක. ඒකෙ
මම පුටුවක ඉඳ ගෙන ඉන්නවා.
ඔයාගේ
තාත්තා පුටු අත උඩ
ඉඳගෙන ඉන්නවා. චූටි
ඔයා මගේ උකුළේ ඉඳගෙන
ඉන්නවා, නිදි බරව. අපි
එදා පින්තූරේ ගන්න වෙස්ට් එන්ඩ්
ස්ටුඩියෝ එකට යනකොට හොඳටම
හවස් වෙලා. ඔයාට
නිදිමත වෙලා හිටියේ. ඔයාට එතකොට මාස
හයයි. එච්චරයි ඔයාගෙයි කියල මේ ගෙදර
භෞතිකව පින්තූරයක් තියෙන්නේ. ඒත්
උපන් හැටියේ සුදු පුළුන් ගුලියක්
වගේ හා
පැටියගෙ ඉඳල ඔයා
අපෙන් ඈත් වුණු දවස
වෙනකම් ඔයාගේ ඔක්කොම පින්තූර මගේ හිත ඇතුලේ
රාමු වෙලා තියෙනවා මැකිලා
යන්න බැරි විදියට. මං මේ ලෝකෙන්
යන දවසට ඒවා මගෙත්
එක්කම නැතිවෙලා යයි. ඔයාගේ
නංගිටයි මල්ලිටයි ඔයා ගැන ලොකු
මතකයක් තියෙන්න විදියක් නැහැ. නැත්නම්
දැන් එයාල එයාලගේ කලබලකාරී
රාජකාරි බහුල ලෝකවල නිසා
ඔයා ගැන හිතන්න ඉස්පාසුවක්
නැතුව ඇති.
මං ඇනා කැරනිනා පොත
අරන් මගේ සුපුරුදු සෝපාවේ
ඉඳගත්තේ ඒක කියවන්න හිතාගෙන.
මං මේ පොත දහ
පාරකට වැඩිය කියවල ඇති. ඒත් මගේ
හිත චංචල වෙනවා. සාලයේ
විශාල ජනෙල් පෙළියේ තියෙන තිර රෙදි අතරින්
ඉර එළිය යන්තම් පෙරිල
ඇවිත් සාලේ ඇපල් වයිට්
තීන්ත ආලේප කරපු බිත්තියේ
රටාවක් අඳිනවා. ඒ රටාවේ මොකක්ද
මට කියන්න බැරි දුකක් ඇඳිලා
තියෙනවා. හරියට
කුඩා බිම් ගේ දොරටුවකින්
ඈතින් තියෙන ගුහාවකට පිවිසෙනවා වගේ මම බිත්තියේ
ඇඳුණු රටාව ඔස්සේ ඒ දුක ඇතුළට
පිවිසෙනවා. පිවිසිලා දුක දිගේම ඈතට
ඈතට යනවා.
ඔයා
තමයි මම අම්මා කියන
උත්තම වචනයට සුදුස්සෙකු කළේ. මට
ඔයා උපන් දවස අද
වගේ මතක් වෙනවා. මට ඔයා ලැබෙන
කොටත් සෑහෙන වයසක් ගෙවිලා ගිහින්. ඒ
නිසා ද කොහෙද මට
නොසෑහෙන්න අමාරු වුණා. මගේ තාත්ත ඔයාගේ
සීය මං ගැන හුඟක්
බයවෙලා ඉඳල තියෙන්නේ. ඒත්
ඔයා මගේ දෝතට ආවට
පස්සේ ඒ අමාරු කොහෙන්
ගියාද කියල නැතිවුණා. ඔයා
පුරපස සඳ වගේ සුදෝ
සුදු පුංචි පැංචියක්. ඔයා ගෙදර එක්ක
ආව දවසේ ඉඳල ආච්චි,
සීය, මාමල, නැන්දලා සේරෝගේම එකම හුරතලය වුණේ
ඔයා. පළමු
මිණිපිරිය ආච්චි සීයට සුදු මැණිකේ වුණා.
පළමු
ලේලිය මාමලට රන් පැටියා වුණා.
ඔයාගේ
නෑවීම ,රෙදි පෙරෙදි සේදීම
වගේ ඒවාට ගෙදර හිටිය
යසාට අමතරව වට පිටේ අම්මලත්
හරියට උදව් වුණා. එහෙම හුරතලයක් නම්
දැකල තිබුණේ නැහැ. මට
තිබුණේ ඔයාට කුක්කු ටික
දෙන එක විතරයි වෙලාවට.
මං
කුස්සියට ගියත් ආච්චි මට වැඩ කරන්න
දුන්නේ නැහැ, මිරිස් සැර අතේ ගාගෙන
දරුවා අල්ලන්න එපා කියල.
ඔයා
ටිකෙන් ටික ලොකුවෙනවා අපි
හැමෝම ආසාවෙන් බලන් හිටියා. මගේ පවුල් ජීවිතේ
නම් එච්චර සුන්දර එකක් වුණේ නැහැ.
ඔයාගේ
තාත්තා අපි ගැන ඒ
තරම් සොයා බැලුවේ නැහැ. වෙලාවකට හොඳ වෙලාවකට යක්ෂයෙක්
වගේ වෙන කඩවරයෙක් එයා.
ඒ
මගේ ලැබීම. ඒ
කොහොම වුණත් ඔයා පුර පස
සඳ වගේ වැඩෙමින් හිටියා.
අවුරුදු
දෙකේදී ඔයාට සරම්ප හැදිලා
හොඳටම අමාරු වුණා. ඔයාගේ උණ අංශක 104ට
නැග්ග. ඔයාගේ සුදු හැම ගැලවෙන්න
පටන් ගත්තා. හිසකෙස් ඔලුව අතගාද්දී අහුරු
පිටින් ගැලවිලා ආවා. මං ඇතුළු
ගෙදර හැමෝම පුදුම බයකින් හිටියේ. ඒත් දෙය්යන්ගේ පිහිටෙන්
ඔයා අතුරු අන්තරාවක් නැතුව සනීප වුණා.
ඔයාට
අවුරුදු තුනක් වෙද්දී තමයි නංගි බබා
ගෙනාවේ. හැබැයි ඔයා ඒකට ඒ
තරම් සතුටක් දැක්වුයේ නැහැ.
"මට
ඔය මුකටි පැටියා ඕන නැහැ "කියල
ඔයා මූණ හපුටු කරගෙන
කිව්වා. ඒ
වුනාට ඔයා නංගිට මුකුත්
කරදරයක් කළේ නැහැ.
මල්ලි නම් පවුලට එකතු වුණේ විශේෂයෙන් තාත්තගේ ඉඳල කාලයක් තිස්සෙම තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉටු කරමින්. තාත්තගේ අම්ම ඒ කියන්නේ ඔයාගේ තාත්ත ආච්චිට ගොඩගම ආරච්චිලාගේ ගේ විජේවර්ධන මුදලි පරම්පරාවේ නම ඉදිරියට ගෙනියන්න කුමාරයෙක් ප්‍රාදුර්භූත වෙනකම් නින්ද ගියෙත් නැහැ හරියට. වැඩිමල් ඔයාල දෙන්නම දුවරුනේ. ඉතින් මුළු පරපුරම එදා කිරිබත් කෑව ඒ සතුට සමරන්න. ඔයාටත් ඒ කාලය වෙනකොට යමක් කමක් තේරෙනවා.
මං දැන් මේ
පාළුවේ ඉඳගෙන ඉන්නේ ඔයා ආසාවෙන් එහෙ
මෙහෙ දුව පැන ඇවිදපු
සෙල්ලම් කරපු, සෙල්ලම් ගෙවල් හදපු, සෙල්ලම් බත් උයපු ඒ
මහ ගෙදර නෙවේ. ඔයාගේ මල්ලි පරණ මහ ගෙදර
කඩල එතන හදල තියෙන
විශාල නවීන පන්නයේ ගෙදරක.
ඒත්
මට තාම අර සිංහල
උළු හෙවිළි කරපු බිමට ගඩොල්
අල්ලපු ඒ පරණ ගෙදර
මතක් වෙනවා. ඒ
ගෙදර තිබුණු සිසිලස, ලස්සන මතක් වෙනවා. වත්තේ තිබුණු වෙරළු, බෙලි, නමි නං, අඹ
, කොස් දෙල් ගස් මතක්
වෙනවා. ඔයාල
පොඩි කාලෙ ඒවායේ නැග
ගෙන ගෙඩි කාපු හැටි
මතක් වෙනවා. ඒ
කාලෙ ඔයාල රබර් වත්තේ
තේ වතු වල දුව
පැන ඇවිදලා සෙල්ලම් කළ හැටි මතක්
වෙනවා. තාප්ප
තිබුනෙ නැහැනේ? තිබුණ නම් කම්බි වැටක්
විතරයි. ඒවයෙන්
රිංගන, පනින එක ඔයාලට
ලොකු දේවල් වුණේ නැහැ. දැන් වත්ත වටේම
තාප්පය බැඳලා, ඒ ගේ ලඟම
තිබුණු පළතුරු ගස් දැන් නැහැ. මිදුල
ලෑන්ඩ් ස්කේප් කරලා. ඒකෙ
වැඩ කරන්නේ අපි නෙමේ. මල්ලිලට කොහොමත් ඒවාට ඉඩ නැහැ.
සතියකට
සැරයක් අදාළ සමාගමෙන් ඇවිත්
සුද්ද පවිත්‍ර කරනවා. මමත් ආසාවට මල්
පෝච්චි කිහිපයක් හදල තියෙනව, පිටිපස්සේ
මිදුලේ. ඔයත්
ඒ දවස් වල මල්
වලට හරිමආසයි. පුංචි
කමට මල් පැළ වවනවා.
ඔයාට ඒවා මතකද?
No comments:
Post a Comment