Saturday, March 27, 2021

විෂ පොල් තෙල්

 












විෂ පොල් තෙල්

අද කළ එළි බැහැල තියෙන මාතෘකාව තමයි විෂ පොල් තෙල්. Aflatoxin පොල් තෙල් වලට අමුතුවෙන් එකතු කරන දෙයක් නෙවේ. කොප්පරාවල හැදෙන Aspergillus flavus හා Aspergillus parasiticus, දිලිර වලින් හැදෙන විෂක්. මෙය රත් කලත් සම්පුර්ණයෙන් විනාශ වෙන්නේ නැහැ. හිරු එළියෙන් 60% ක් පමණ විනාශ වෙනවා. ඒ නිසා ඉන්දියාවේ ගෘහිනියන්ට එකල උපදෙස් දී තිබුණා තම පොල් තෙල් බෝතල් හිරු එළියේ තබන්න.
Aspergillus දිලීරය පොල් කොප්පරාවල විතරක් නෙවෙයි තියෙන්නේ. රට කජු බීජ වල, කජුවල, බඩ ඉරිඟු ඇටවල, වියළි මිරිස් කරල් ඇතුලේ එහෙම හැදෙනවා. ඒ සේරම ආහාර සමග අපි මෙය ශරීර ගත කර ගන්නවා. ඔබ රට කජු බීජ අරන් දෙකට පලල බලන්න, මැද දිලීර තියෙන හැටි. වියළි මිරිස් කරල් උඩින් හරිම ඔපේට තිබුනට කඩල බලන්න ඇතුළෙ දිලීර තියෙන හැටි. වියළි මිරිස් ගෙදර හෝදලා වේලලා ගන්න විට අනිවාර්යයෙන් ඇතුළ බලන්න. මම වරක් මුළු මිරිස් ටික එහෙමම විසි කරා. සත්ව ආහාර වශයෙන් වෙළඳ පොළේ තියෙන බඩඉරිඟු ඇටවල දිලීර තියෙන හැටි ඔබට දකින්න පුළුවන් වේවි.
ඉතින් මේ විෂ නරක ඇයි ?
මේ විෂ මගීන් හුඟක් අහිතකර ප්රති විපාක ඇති වෙනවා.
1. Acute poisoning (aflatoxicosis) තත්වය ඇතිවෙනවා. මෙය ක්ෂණික ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන්.
2. දිගු කාලීන වශයෙන් (Chronic) අක්මාවේ හා වකුගඩු වල පිළිකා ඈති කරනවා.
3. ළදරුවන්ගේ උපත් අබාධ වශයෙන් වර්ධනයේ අඩු ලුහුඬුතා ඇතිවෙන්න පුළුවන්.
4. සත්ව ආහාර වල තිබීම නිසා ගව, කුකුළු ආදී සතුන්ට විවිධ අබාධ ඇති වෙනවා.
සියලුම රූප ස්තුති පුර්වකව අන්තර්ජාලයෙනි.
(Thanks to  Tijana Drndarski for the image on Unsplash) 




4 comments:

  1. ඉස්සර මට මතකයි අපේ අම්මා හොන්දට වෙළුණු පොල් 8ක් 10ක් විතර අරන් හිරමනේ ගාලා ඊට පස්සේ ලිපෙ තියලා පොල් තෙල් හිදිනවා. ගොඩක් දුරට තෙල් බෝතල් 1ක් 1.5 ක් වගේ තමා ගන්න පුළුවන්. ඒ තෙල් වල නම් ඔය කියන Aflatoxin සමහරවිට නැතුව ඇති. මමයි මගේ බිරිදයි එක සැරයක් ඔය විදියට හදලා බැලුවා. පොඩි පොල් ගෙඩි 8න්. (මෙහෙට එන්නේ හෙන පොඩි පොල්. ඉන්දියන් වෙන්න ඕන) බෝතල් තුන් කාලක් විතර අමාරුවෙන් ගන්න පුළුවන් උනා. හැබැයි ලා කහ පාට හොද සුවදක් තියෙන පොල් තෙල්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාගේ කොමෙන්ටුවට. ඔව්, මම පොඩි කාලෙත් අපේ අත්තම්මා මාස කීපයකට වරක් පොල් තෙල් හිඳිනවා. අවට ගෙවල කාන්තාවන් පොල් ගාල දෙන්න එනවා. මමත් පොඩි කමට හිරමනේ වාඩි වෙලා පොල් ගානවා. මේ පොල් විශාල හට්ටිවල තම්බනවා. ඊළඟට මිරිකනවා. ඒ දියර ළිපේ තියල රත්කරනවා. ඒවාට කියන්නේ තෙලිජ්ජ. තෙල් පෑදෙන කොට හිල් පොල් කට්ටක් පා කරනවා. ඒකට එන තෙල් වෙනම බඳුනකට අයින් කරනවා. දැන් අර ලොකු හට්ටියේ ඉතුරුවෙන්නේ කිරිජ්ජ. කිරිජ්ජ වලට හාල් දාල හොඳට හැඳි ගාල ලිනු එහෙම දාල කිරි කැඳ හදනවා. දැන් අර වෙන්කරගත්ත තෙල් සහිත කොටස ආයෙමත් ලිපේ තියල රත් කරනවා. එවිට සුවඳ හමන්න ගන්නවා. හතර වටේම දැන ගන්නවා ගෙදර තෙල් හිඳින බව. තෙල් රන්වන් පාට වුණහම ලිපෙන් බාල නිවෙන්න අරිනවා. කොස් කොළ ගොටුවක් හදල ඒකට ඉරටු කෑල්ලක් ගහල පුනීල හදනවා. පිරිසිදු වියළි බෝතල් කටට අර කොස් කොළ පුනීල තියල අර තෙල් පුරවනවා. හට්ටියේ ඉතුරු වෙන්නේ තෙලිකා. ඒවත් කන්න පුළුවන්. පැණි රස වැඩි නිසා වැඩිපුර කෑවොත් මත වෙනවා.

      Delete
    2. ඔය දාලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම. අපේ අම්මත් හැදුවේ ඔහොම තමා. ඔය කියන තෙලිකා මමත් තියෙනවා. ඒවා කිරිටෝපි වගේ රසයි.ඇත්තටම දැන් 100% විස්වාසයෙන් පොල් තෙල් පාවිච්චි කරනවා නම් මෙහෙම හදලම ගන්න ඕනේ. එහෙම හදන පොල් තෙල් බෝතලයක් රුපියල් 400-500 ට අඩුවෙන් නම් විකුනන්න බැරි වෙයි මම හිතන්නේ. වැඩේ කියන්නේ එහෙමවත් ගන්න විස්වාසවන්ත නිෂ්පදයෙක්/ වෙළෙන්දෙක් ලංකාවේ නැති එක. හරියට නියම ප්‍රමිතියෙන් හදපු 100% කිතුල් පැණි බෝතලයක් හොයා ගන්න බෑ වගේ තමා දැන් පොල් තෙලුත්.

      මම දන්නා විදියට නම් ලංකාවට දැන් ගෙන්නන්නේ පොල්තෙල් නෙමෙයි.(පොල්තෙලුත් ගේනවා ඇති)ගොඩක් ගේන්නේ කටුපොල් වලින් හදනවා කියන පාම් තෙල්. හැබැයි දිලීර හැදෙන වැඩේ නම් ඔය කියන විදියට වෙනවා ඇති. අනික ගෙන්නන්නෙත් ලාබෙටම තියෙන අඩුම ප්‍රමිතියේ එවලුනේ. ඉතින් ඒවගේ ඔය කියන Aflatoxin අනිවාර්යෙන්ම වැඩිපුර ඇති

      Delete
    3. මං දාපු reply එකේ තෙල් හැදීමේ ක්‍රමයේ වැරැද්දක් තියෙනවා. මෙන්න මේකයි නිවැරදි.
      දැන් අපි බලමු ගාපු පොල් වලට මොකද කරන්නේ කියල. මේ පොල් විශාල හට්ටිවල රැයක්ම තම්බනවා. ඊළඟට මිරිකනවා. මිරිකලා බටපොතු වලින් හදපු කිරිගොටුවලින් පෙරනවා. මිරිකන්නේ අත් දෙකෙන් නිසා අත්තම්මගේ අණ අනුව මිරිකන අය හොඳට සබන් දාල අත් හෝදන්න ඕන. ඒ මොකද වම් අත වෙන දේවල් හෝදන්න යොදාගන්න හින්ද . පළවෙනි කිරි අරන් අහක් කරපු කුඩු ලී වංගෙඩියේ කොටලා, මිරිකලා දෙවෙනි කිරිත් ගන්නවා. පොල් මිරිකලා ගන්න කිරි දියර ලොකු හට්ටියක ළිපේ තියල රත්කරනවා. ඒවාට කියන්නේ තෙලිජ්ජ. තෙල් පෑදෙන කොට හිල් පොල් කට්ටක් දියර මත පා කරනවා. පොල්කට්ටේ එකතුවන දියර වෙන ලොකු හට්ටියකට එකතු කරනවා. ඒ දියරයට කියන නම් කිරිජ්ජ. කිරිජ්ජ වලට හාල් දාල හොඳට හැඳි ගාල ලිනු එහෙම දාල කිරි කැඳ හදනවා. පොල් කට්ට දාගෙන ඉන්න හට්ටියේ ඉතිරි වන්නේ පෑදුණු තෙල් හා වෙන් නොවුණු කිරිජ්ජ ටිකක්.
      දැන් ඒ තෙල් සහිත කොටස ආයෙමත් ලිපේ තියල රත් කරනවා. එවිට සුවඳ හමන්න ගන්නවා. හතර වටේම දැන ගන්නවා ගෙදර තෙල් හිඳින බව. තෙල් රන්වන් පාට වුණහම ලිපෙන් බාල නිවෙන්න අරිනවා. කොස් කොළ ගොටුවක් හදල ඒකට ඉරටු කෑල්ලක් ගහල පුනීල හදනවා. පිරිසිදු වියළි බෝතල් කටට අර කොස් කොළ පුනීල තියල අර තෙල් පුරවනවා. මේ තෙල් කිසිම විස ද්‍රව්‍යකින් තොර කල් තබාගත හැකි මුඩු නොවන ඉතාම පිරිසිදු ඒවාය. හට්ටියේ ඉතුරු වෙන්නේ තෙලිකා. ඒවත් කන්න පුළුවන්. පැණි රස වැඩි නිසා වැඩිපුර කෑවොත් මත් වෙනවා.

      Delete