Tuesday, January 29, 2019

චාරිකා සටහන් - Shimla- Manali 02

චාරිකා සටහන් - Shimla- Manali 02




කලින් සටහනේ චාරිකාවේ විස්තර නැවැත්තුවේ දිල්ලි හෝටලයේ රාත්‍රිය ගත කළා කියලා. ඔන්න ජනවාරි 17 වෙනිදා උදාවෙද්දී අපි අවදිවෙලා ඇඳුම් මාරු කරගෙන සුදානම් උනේ අපේ මග පෙන්වන්නා කුමාර් කලින් දවසේ කල දැනුවත් කිරීම් අනුව. මොකද ඔහු තදින්ම කීවා අපි ශිම්ලා යනකොට හවස් වෙනවා, එහේ උෂ්ණත්වය -15විතර කියලා. අපි යටට විශේෂ ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් ඇඳලා ,ඊළඟට සාමාන්‍ය උඩ ඇඳුම් ඇඳලා අවසානයේ අඳින්න උණුසුම් කබා, හිස් ආවරණ,ගෙල ආවරණ, Scarf, shawl, muffler ආදිය  back pack එකේ දා ගත්තා. උදේ ආහාරය හෝටලයෙන් අරන් බස් රථයට නගින විට උදේ 8.30 පහු වුණා.
දිල්ලි සිට ශිම්ලා දක්වා යන ගමනයි මේ ආරම්භ වන්නේ. දුර 360ක් විතර වෙනවා.

පසු කර යන ප්‍රධාන ස්ථාන තමයි, Sonipat, Panipat, Karnal , Kurukshetra ,Ambala ,Chandigarh, Kalka , Solan ,Shoghi, Tara Devi, පසුකර, අවසානයේ  Shimla වෙත ලඟා වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මේ සෑම සන්ධිස්ථානයකම නරඹන්න බොහෝ දේ තිබුනත් අපේ සීමිත සංචාරයට ඒවා ඇතුලත් කරන්න බැහැ. මොකද ඒ සඳහා විශාල කාලයක් හා වියදමක් අවශ්‍ය වෙනවා. අපේ ලස්සන පුංචි ශ්‍රී ලංකාවේ තවම මට යන්න බැරිවූ තැන් හුගක් තිබෙනවා. ඉතින් විශාල ඉන්දියාව ගැන කුමක් කියන්න ද ?

දිල්ලි කියන්නේ විශාල නගර සංකීර්ණයක්. එහි සිට ශිම්ලා දක්වා යන විට උතුරෙන් මුලින්ම ඇතුල් වෙන්නේ හරියානා ප්‍රාන්තයට.


Sonipat කියන්නේ හරියානා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 22න් එකක්. Sonipat වල අවසාන හරියේ තිබෙන Muruthal  ප්‍රදේශයේ එක් සුන්දර ස්ථානයක අපි ගමන් විඩාව මග හැරගන්න නැවතුනා. ඒ තමයි Mannat Haveli. මෙය අවන්හලක්. උත්සව ආදිය සඳහා ස්ථානයක්. එතැන  අලංකාරයට තබා තිබෙන මෝටර් රථ ආකෘතිය හා මෝටර් බයිසිකල් ආකෘතිය අසල සිට අපි ඡායා රූප ගත්ත.

ඊළඟට ඇතුල්වෙන්නේ Panipat දිස්ත්‍රික්කයට. ක්‍රි.ව. 1526,1556,හා 1761 දී මෙහි විශාල සටන් ඇතිවී තිබෙනවා. ඉන්පස්සේ ඇතුල්වෙන්නේ Karnal දිස්ත්‍රික්කයට. ඊළඟට Kurukshethra දිස්ත්‍රික්කයට. ඉන්දීය මහාභාරත් කාව්‍යයේ එන කෞරව හා පාණ්ඩව රජපෙලපත් අතර ඇතිවූ මහාභාරත් යුද්ධය/ Kurukshesthra යුද්ධයට පසුබිම්වූ ප්‍රදේශයයි මේ. දැන් අපි Ambala වෙත ලඟා වෙනවා. මෙය හරියානා ප්‍රාන්තයේ පන්ජාබ් ප්‍රාන්ත දේශ සීමාවේ පිහිටලා තියෙන්නේ.

මෙතෙක් අපි ආව පාර  National Highway No.01(NH 1)  Ambala දක්වා  යනවා. Ambala වලදී පාර බෙදෙනවා.  එකක් Amritsar වලටත් අනික Chandigarh,වලටත් යනවා. අපිට යන්න තිබුණේ Chandigarh,පැත්තට (NH 152). Chandigarh හරියානා හා පන්ජාබ් කියන ප්‍රාන්ත දෙකටම අග නුවර.

අද දවස හරි දිගයි. බස් රථයේ දවසම. ඉතින් දිවා ආහාරයටත් , විඩා නීවා ගන්නත් අපි මග තැන් කිහිපයක නතර කළා. අපේ විනෝද කාමී ගමන් සගයන් ගැනත් දවසේ විස්තර වල අනික් ටිකත් මං ඊළඟ පියවරේදී කියන්නම්.
(සිතියම සහ ඡායා රුපය අන්තර්ජාලයෙනි https://www.facebook.com/MannatHaveli/photos/p.2092588870759356/2092588870759356/?type=1&theater )

Saturday, January 26, 2019

චාරිකා සටහන් - Shimla - Manali 01

චාරිකා සටහන් -  Shimla - Manali 01

ජීවිතයේ හයවෙනි දශකයත් ගෙවිලා ගිහින් අවුරුදු කීපයක් වුණා. දැන් ඉතින් ආසා කරන දේවල් කියල තියෙන්නේ කීපයයි. ඒ තමයි දරුවන් හොඳින් ඉන්නවා දැකීම,මුනුපුරු මිනිපිරියන් ගේ සුරතල් දැකීම හා සංචාරය. ද්‍රව්‍ය වලට ඇළුම් කිරීම හුගක්ම අඩුවී ගිහින්. ඒත් ගහකොළ,සතා සීපාවා, පරිසරය වගේ දේවල් වලට ඇල්ම,අඩුවී නැහැ. නමුත් හිමිකර ගැනීමේ අභිලාෂයක් නැහැ. මුදල් තියෙනවා නම් සංචාරය පිලිබඳ සිහින ඉටු කර ගන්න ලේසියි.
පසු ගියදා ඒ කියන්නේ ජනවාරි 16වෙනිදා ඉඳලා 23වෙනිදා වෙනකම් උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තයේ චාරිකාවක් ගියා.ඇත්තෙන්ම මේ චාරිකාව යන්න සැලසුම් කලේ 2015 වර්ෂයේ ඉදන්. නමුත් එක්සත් ජනපදයේ වැඩිපුර කාලයක් ගත කල නිසා එය පමා වුනා.
ගිය අවුරුද්දේ ඉදන් මමයි මගේ මිතුරිය සුමනයි විවිධ සංචාරක සමාගම් සමග මේ ගැන කතා කළත් සැහෙන තරම් පිරිසක් එකතු කර ගන්න ඔවුන් අසමත් වුණා. අවසානයේ නුගේගොඩ ධනංජය සංචාරක සමාගම සමග විසි දෙනෙකුගේ කණ්ඩායමක් මේ ගමන යන්න එකතු වුණා.
ඉතින් මාසයක් විතර තිස්සේ ගමනට ලෑස්ති වුණා. මේ එම ප්‍රදේශයට ශීත ඍතුව. අපි යන්න සුදානම් වුනේ හිමාලයේ හිම අත්දැකීම විදින්න. ඒකට අවශ්‍ය ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් සුදානම් කර ගත්ත. මම මගේ වුල් තොප්පි, ගෙල ආවරණ, මෆ්ලර් ආදිය ගොතා ගත්ත. පාසල් කාලයෙන් පස්සේ ඒ ගෙතීම සුන්දර අත්දැකීමක්. ශීත කබා දුව මට එවල තිබුණ. අත් මේස්, කකුල් වලට ඝන මේස්, සපත්තු ආදී දේවල් කීපයක් පිට කොටුවෙන් මිලදී ගත්තා. අන්තිම සතියේ වීසා අවශ්‍යතා ඉටු කර ගත්ත. සාමාන්‍යයෙන් ගන්නා ඖෂධ හැරුණ විට හදිසියේ ඇතිවිය හැකි අසාත්මිකතා,සෙම් අමාරු, උදරාබාධ, තුවාල ආදිය සඳහා අවශ්‍ය ඖෂධත් ද්‍රව්‍යත් සුදානම් කර ගත්ත. සංචාරක රක්ෂණයකුත් ගත්තා,අපි වයසක උදවිය නිසා.

දැන් ගමනට සේරම සුදානම්. ඉතින් මේ යන්නේ කොහෙද කියන එක හරියට අවබෝධ කරගන්න ඕන. ඉස්සර නම් සිතියමක් විතරයි  මේ සඳහා උදව් වෙන්නේ. දැන් එහෙමද ? අන්තර් ජාලයේ පීරුවහම හැම දේම දැන ගන්න පුළුවන්. ඉතින් මං ඔබටත් කියන්නම් මුලින්ම මේ සංචාරයේ මුලික කරුණු.

ඉන්දියාව විශාල රටක් කියලා ඔබ දන්නවා. අපේ වයස වනවිට බොහෝ දෙනෙක් දඹදිව සංචාරය කරලා තියෙනවා. සමහරු තිරුපති ගිහින් තියෙනවා. නමුත් උතුරු ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්‍රිත සුන්දරත්වය අපි දැකල තියෙන්නේ හින්දි චිත්‍රපට වල විතරයි.

හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තය ඔබට සිතියමේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට පහලින් නිල් පාටට දකින්න පුළුවන්.ඒ ආශ්‍රිතව ඇති අනිකුත් ප්‍රාන්ත හැටියට පන්ජාබ්,හරියානා,උත්තාරන්චල්, උත්තරප්‍රදේශ් ආදිය ඔබට පෙනෙනවා ඇති. 

අපේ සංචාරය ආරම්භ වුණේ 2019 ජනවාරි 16 වෙනිදා කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටු පොලෙන්. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය එදා හවස 2.00 ට අපත් රැගෙන දිල්ලිය බලා පියාසර කිරීම ආරම්භ කළා. හවස 5.30 වන විට අපි දිල්ලියේ ඉන්දීරා ගාන්ධි ගුවන් තොටුපොළෙන් ඉන්දීය බිම ස්පර්ශ කළා. එතැන් සිට අවශ්‍ය කටයුතු සම්පුර්ණ වුවාට පසු බස් රථයකින් අපි නවතින හෝටලය වෙත ගමන් කිරීම ඇරඹුවා. අධික වාහන තද බදය ගත සිත දෙකම විඩාවට පත්කළා. ඒ මාර්ග වල ඉඳිකිරීම් කටයුතු කෙරෙමින් තිබීම එයට හේතු වුණා. කෙසේ හෝ රාත්‍රී 8.30 පමණ වන විට අපි අපේ නවාතැන වන Hotel Metro Heights වෙත ලඟා වුණා. ඒ වනවිට තිබුණ වෙහෙස නිසා රාත්‍රී ආහාරයෙන් පසු මාත් සුමනාත් නින්දට වැටුණා. ගමන් සගයින් හඳුනා ගැනීමත් හරියට කරගන්න බැරි වුණා. එත් ඒ හැම දෙනාම වාගේ සංචාරයට ලැදි සුන්දර මිනිසුන් බව ඒ වන විට වැටහෙමින් තිබුණා. සමහරු විසා ගන්න ගිය අවස්ථාවේත්, ගුවන් තොටු පොලේදීත් ඒ වන විටත් හඳුනාගෙන සිටි අය. 

පසුදා සිට විස්තර පසුවට .... (ඡායා රූප අන්තර් ජාලයෙනි )

Monday, January 14, 2019

බිඳ වැටුණු ප්‍රේමය ...



බිඳ වැටුණු ප්‍රේමය .....

කාලය මෙතරම් නපුරු වුයේ කීම
කාලයේ රළු වැලි තලාවට යටකොට
සුනුවිසුණු කර බිඳ ලන්නට
එදා හිරිමල් තුරුණු විය සිට
අප සැදූ රන් රුවන් පෙම් මාළිග

එදවස අප දෙදෙන
තනිව අතිනත පටලවා ගෙන
ඔහේ පාවෙවී ඇවිද ගිය
මාවත දෙපස මැයි ගස් පෙළ
තාම රතු මල් පලස එහි අතුරවනු ඇතිද

ඒ සොඳුරු කාලය ඔබට මතකද
සිහිළැල් සැදෑ  සුළං රැල් කැරලි මැද
සිහින් ඉඳිකටු වැහිබිඳු වැටී
ගත හිරිගඩු නංවන කල
ඒ මැයි ගස් සෙවන යට එකට ලංවී
උණුසුම් සුසුම් පහස විඳ විඳ

ඒ සොඳුරු කාලය ඔබට මතකද
කෙලෙස වටහා ගම්ද මම
සැබෑවක් ද ඒ සිහිනයක් ද
නැතිනම් මුලාවක් ද මේ ලෝකය
අප අපටම රැවටුණ

මා නෙත් කෙවෙනි යට
නැගුණු එක කඳුළු බිඳුව පිසිනට
එදා තිබුණේ පුදුම ඉක්මනක් නේ ඔබට
ඒත් අද දෝරේ ගලන කඳුළු ගංගාවට
කිම්ද නැත්තේ තෙතමනයක් පපුව යට
මිරිඟුවක් ද මේ ලෝකය
අප අපටම රැවටුණ

පෙරල පෙරළා බලමි මම
ජීවිතේ ගෙවී ගිය  සෑම පිටුවම
'ආදරය' නම් කීම ?
සොයමි තාමත් හමු නොවුණ




Thursday, January 10, 2019

ඔරු දෙකක පා තබා ගඟෙන් එතෙර වීම ...


ඔරු දෙකක පා තබා ගඟෙන් එතෙර වීම ....


ඔරු දෙකක පා තබා ගෙන  වතුරේ දියත් වෙමින්  ගඟෙන් එතෙර වීමට  අපේ දරුවෝ අධ්‍යාපනය ලබන බව පෙන්නනයි අද මං ලෑස්ති වෙන්නේ.

එක ඔරුවක තියෙන්නේ විද්‍යාත්මක අධ්‍යාපනය. ඒ කියන්නේ ලෝකයේ යථාර්තය දෙස ගවේෂණාත්මකව බලමින් ඉගෙන ගැනීම.  අනිත් ඔරුවේ මිත්‍යාව සමග පත අට එකට හින්දවල හදපු සියලු ආගමික මති මතාන්තර සහිත අධ්‍යාපනය. ඒකට තව හොඳට ලුණු ඇඹුල් එකතු කරනවා සම්ප්‍රදායික මිත්‍යා මති මතාන්තරත්.

අර කලින් ඔරුවේ අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නවා ලෝකය බිහිවූ හැටි, රසායනික පරිණාමය, ජීවී පරිණාමය වගේ දේවල්. මිනිසා ක්‍රමයෙන් පරිණාමය වෙලා විකාශය වූ හැටි. ශරීරය පිලිබඳ ක්‍රියාකාරීත්වය, රසායනික ක්‍රියා කාරිත්වයන්, භෞතික ලෝකයේ සංසිද්ධීන්, භූගෝල විද්‍යාවෙන් භුමි සැකස්ම,ලෝකයේ අභ්‍යන්තර සැකැස්ම , මතුපිට සැකැස්ම භූ තැටි,සාගර, කඳු වැටී ,  පාෂාණ, ගණිතය මගින් තර්කානුකුල චින්තනය ...ඉතිහාසය, දේශපාලන විද්‍යාව, විවිධ භාෂා මේ වගේ විවිධ කරුණු රාශියක් ඉගෙන ගන්නවා.

අනිත් ඔරුවේ බරටම තියෙන්නේ, ලෝකය මැව්වා,සත්තු මිනිස්සු මැව්වා, සත්තු කතා  කරනවා,දරුවෝ උපන් හැටියේ ඇවිදිනවා, යක්කු භූතයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, දෙවියෝ ලෙඩ හදනවා, මැරුණහම වැරදි කළ අය අපායට යනවා, හොද වැඩ කල අය දිවිය ලෝකේ යනවා, අපාය පොලව යට තියෙනවා, වගේ දේවල්.

දැන් අපේ දරුවන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් එනවා,මොකද්ද මේ දෙකෙන් ඇත්ත කියලා පිළිගන්නේ කියන . සමහර දරුවෝ ඒ ගැන ප්‍රශ්න කරනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් කියා දෙන්නේ වැඩිපුරම කියන දෙයක් අහන් ඉඳල ,වෙන කෙනෙක් අහන ප්‍රශ්න වලට ඒ කෙනා බලාපොරොත්තුවෙන උත්තරේ ලියල වැඩි ලකුණු අරන් විභාගේ පාස් වෙන්න. ඒකෙ හරයේම තියෙන්නේ   දරුවාගේ ප්‍රශ්න කිරීම ටික ටික නැති කරලා නැත්තටම නැති කර දැමීම . දහය එකොළහ පන්ති වලට එද්දී දරුවෝ ගොළුයි. ගුරුවරයා සතුටු කරන්න හැම දේටම ඔලුව වනන තර්කානුකුල චින්තනයට අගුළු දැමු,  බුද්ධියට ඉඩක් නොදෙන වහල්  ගුරු  ගෞරවය රකිනවා කියලා අපි හිතන, සුවච කීකරු 'සිරිමත් මගේ සකි' වගේ දරුවෙක් තමයි පන්තියේ ඉන්නේ.

දරුවෝ විද්‍යාව, ගණිතය  ඇතුළු විෂයයන් හොඳට ඉගෙන ගන්නවා කියල අපි හිතන්නේ වැඩි ලකුණු ගැනීම මත. ආගම පවා එහි ප්‍රතිපත්ති මත නෙමෙයි, ලකුණු ලැබීම මත දක්ෂයා තෝරනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ කිසිම නව්‍ය අදහසකට ලකුණු දීමක් නැහැ. ගණනක් වුනත් වෙනත් ක්‍රමයකට හදලා තිබුනොත් දහසක් තර්ක විතර්ක ....ඒකට ලකුණු දෙන්න මැලි වෙනවා. ගුරුවරයාට වුනත් කරන්න දෙයක් නැහැ. ඔහුත් කොටුවකට රාමු කරලා තියෙන්නේ. 

ඉතින් කාලයක් මේ ඔරු දෙකේ කකුල් තියන් යන කොට, අර මිත්‍යා ඔරුවේ බර සමාජයෙන් එකතු කරන, ගස් ගල් වැදීම්, වාලම්පුරි,පෙන්ශුයි, නැකත්, නාඩි වාක්‍ය , දේව පුජා, මෙකී නොකී බොහෝ දේවල් වලින් බර වැඩිවෙනවා. දැන් මේ ඔරුව පෙරළිලා දරුවා වැටෙන්නේ මිත්‍යා මත කන්දක් එක්ක වතුරට. දරුවා විභාග ඉහලින් සමත් වෙලා වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක ශිල්පී,ගණිතඥ , විද්‍යාඥ ආදී විවිධ ක්ෂේත්‍ර වල වෙන්න පුළුවන් දැන් ඉන්නේ. ඉතින් ඔහු ජීවිතයේ හැම දේටම මේ මත වලට වහල් වෙලා කටයුතු කරනවා. එක එක දෙවියන්, මන්ත්‍ර කරුවන් පස්සේ දුවනවා. තම මෝටර් රථයේ දෙහි ගෙඩි කීපයක් මිරිස් කරලක් එල්ලනවා. එක එක සුරුවම්, යන්ත්‍ර බෙල්ලේ එල්ල ගන්නවා. හැම දේටම නැකත් බලනවා. රාහු කාල බලනවා. හුනෙක් ඇඟට වැටුනොත් බය වෙනවා. පණ යන්න දඟලන අලියගෙ වල්ගෙ කෙඳි ගලවගෙන මුදු, වළලු හදන් පළඳිනවා,  විභාග වලට කලින් පන්සල්,කෝවිල්,දේවාල  වල අතුරු සිදුරු නැතුව පුද පූජා,යාග හෝම කරනවා, නුල් කඹ තරම් ඝන කමට අත්වල ගැට ගහ ගන්නවා. මේ ලැයිස්තුව කොච්චර නම් තව දික් කරන්න වෙකොටි මරල දත් බෙල්ලේ එල්ල ගන්නවා, අලි මරල දළ අරන් පන්සල් වලට පූජා කරනවා, හීනයක් දැක්කොත් ඒකෙ පල විපාක බලවනවා.  මේ ලැයිස්තුව කොච්චර නම් තව දික් කරන්න වෙනවා ද ? ටයිප් කරලා අතත් රිදෙනවා.

ඉතින් මේ විදියට  මුළු ජීවිත කාලයේම අපේ දරුවන්   වැඩිහිටියන් වුනාට පස්සෙත්  , අතලොස්සක් හැර, මේ මිත්‍යා මත කන්ද එක්ක වතුරේ ජීවන හුස්ම ගන්න මහා සටනක යෙදෙනවා.

මේ මත පතුරුවා හරින  අය  විවිධ බලාපොරොත්තු සහිතව ඒවා කරනවා . ප්‍රධාන වශයෙන්  බියසුළු ජනතාවක් සිටීම කෛරාටික දේශපාලනයට වාසිදායක වීම එක් පැත්තකි. මාධ්‍ය නමින් අපේ රටේ තිබෙන විසුළුකාරී ව්‍යාපාරය විසින් ඇතියි නොකියන්න මේවා ජනතාවට පොවන්න දිවා රෑ නොබලා සිය වගකීම් ඉටු කරනවා. තව මෙයට මේ කපටින් දෙන එකම පිළිතුර අපි නොදන්නා බොහෝ දේ ලෝකයේ ඇති බවය. ඒවා අපට නොපෙනෙන නොදැනෙන බවය. මගේ අදහස නම් ඒවා තිබේ නම් දකින තුරු, දැනෙන තුරු ඉවසා ගෙන ඉන්න කියන එකයි. ඇයි අපි ඒ දේවල් ගැන කරදර වෙමින් අපේ වටිනා ජීවිත කාලය නාස්ති කරන්නේ. හැකි නම් ඔබට ගවේෂණයක්, පර්යේෂණ ක්‍රියා දාමයක් ආරම්භ කර ඒ දෙයක් සොයාගෙන මානව වර්ගයාට සේවයක් කල හැකිය.

මෙන්න මෙතෙන්දි දක්ෂ නිර්මාණ ශීලී ගුරුවරයෙකුට දරුවන්ගේ නිල්පාට, කලුපාට ,දුඹුරු පාට ඇස් වලට කතා කරන්න පුළුවන්, ලෝකය දකින්නෙ මෙහෙමයි කියලා කියා දෙන්න පුළුවන්. උපක්‍රමශීලීව, විභාගයටත් ලෑස්ති කරන ගමන්, ඔබ ඔබේ දරුවන්ට කතා කරන්න. ඔවුන්ට  මිත්‍යා මඩ ගොහොරුවෙන් සුවදවත්ව උඩට පිපෙන නෙළුමක් වෙන්න මග පාදන්න.

දෙමව්පියෙනි, දැන් වත් ඇස් අරින්න. ඔබේ දරුවාට සත්‍ය වටහා දෙන්න. හොඳ නරක වටහා දෙන්න. හොඳ ගති ඇති කරගත යුත්තේ අපායට බිය නිසා නොවන බව ටිකෙන් ටික වටහා දෙන්න. ආදරය වටහා දෙන්න. ලෝකය වටහා දෙන්න. රටට, ලෝකයට,පරසරයට , මිනිසාට, සතා සිව්පාවට, ගහකොළට  ආදරය කරමින් මේ ලැබුණු වටිනා ජීවිතය සතුටින් ගත කරන්න ඔවුන්ට කියා දෙන්න. ඊළඟ ආත්මයකට සතුට කල් තබන්න නෙවෙයි, අද ලෝකය ඊළඟ පරපුරට වඩාත් යහපත් තැනක් කර තබන්න ඔවුන්ට හැකි දායකත්වයක් ලබා දෙන්න ඔවුන් පොළඹවන්න. දුප්පත් කමේ සාපයෙන් මිදෙන්න ක්‍රමයක් සොයාගන්න ඔවුන් පොළඹවන්න. ඔබ සැමට යහපතක්ම වේවා !!!

“The saddest aspect of life right now is that science gathers knowledge faster than society gathers wisdom.” 
― Isaac Asimov

Saturday, January 5, 2019

දිස්ත්‍රික්ක කෝටාව සොරකම් කිරීමේ පාපය

දිස්ත්‍රික්ක කෝටාව සොරකම් කිරීමේ පාපය  


දැන් AL 2018 ප්‍රතිඵලත් ආව නේ? ඒ නිසා මේ කතාවට පසුබිම කාලීනයි.  මං මේ ලියන්නේ මට හිතෙන දෙයක්. ඒක ඔප්පු කරන්න කියල සංඛ්‍යා ලේඛන මට නැහැ. නමුත් අත්දැකීම් තියෙනවා. .

මෙන්න මේකයි මගේ ප්‍රශ්නය. දැන් නිදහස් අධ්‍යාපනය හැමෝටම ලැබෙනවනේ? ඉතින් ඔබ කියාවි ' නෑ නෑ කොච්චර ළමයි International school යනවා ද ?' කියලා. ඔව් යනවා. ඒ ආණ්ඩුවේ ඉස්කෝල නැති නිසා ද? එහෙනම් ඇයි සමහර ආණ්ඩුවේ ඉස්කෝල එක ළමයෙක් වත් ඇතුල් නොවුන නිසා වැහිලා ගියේ?
එහෙනම් ආණ්ඩුවේ ඉස්කෝල නැති නිසා නෙවේ ළමයි ජ්‍යාත්‍යන්තර/පුද්ගලික ඉස්කෝල වලට යන්නේ? එහෙනම් ඇයි ? මොකක්ද හේතුව. ගමේ ඉස්කෝලෙට දරුවා යවන්න කැමති නෑ. ඒවා පුංචියි. සමහර විට හරක් ගාලක තරම්වත් පහසු කම් නෑ. රජය පහසුකම් දීල සියළු පාසල් සම තත්වයට ගේන්නේ නෑ. රජයට මුදල් නෑ. ඒවාට දරුවෝ යවන දුප්පත් දෙමාපියන්ට මුදල් නෑ පාසල දියුණු කරන්න. ලොකු ලොකු ආදී ශිෂ්‍ය සංගම් නැහැ. ඉගෙන ගෙන තැනකට ආපු ආදී ශිෂ්‍යයෙක් හිටියත් ඔහුත් බොහෝ විට මුල අමතක කරලා.


හැම තැනම කොළඹ රාජකීය හෝ විසාකා හෝ වෙනත් නගරයේ ලොකු පාසලක තියෙන දේවල් නෑ.
ඔක්කොටම වැඩිය ගමේ ඉස්කෝලෙට එවන්නේ ගොඩේ බයියන්ගේ දරුවෝ. 'අපේ දරුවෝ උන් එක්ක හිටියොත් නරක් වෙනවා.' ලොකු ඉස්කෝලවල ඊට හපන් අයත්  ඉන්නවා  කියල මේ අය දන්නේ නැහැ. දැන ගන්නකොට අස්සයා පැනල ගිහින් ඉවරයි.

කොහොම වුනත් හැම දෙමව්පියෝම බලන්නේ හොඳම දේ තමන්ගේ දරුවාට දෙන්න. මෙන්න මේ දරු කැක්කුම ලොකු ඉස්කෝල දියුණු කරගන්න හොඳින්ම යොදාගන්න පාසල් පාලනය දන්නවා. දෙමව්පියන්ටත් දෙන්න යම් හෝ හැකියාවකුත් තියෙනවා. නැත්නම් තියෙන තැන්වලින් ලබා ගන්න විවිධ හැකියා තියෙනවා. ඉතින් ලොකු ඉස්කෝල ලොකුයි. ඒවායේ ලස්සන ගොඩනැගිලි, පිහිනුම් තටාක,ක්‍රීඩා සංකීර්ණ, විද්‍යාගාර විතරක් ද ආදී ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල පවා අති සුඛෝපබෝගී විදියට තියෙනවා. මේවා දැක්කම දෙමව්පියන්ගේ ඇස් නිලංකාර වෙනවා. මේ පාසල් වල ඉගෙන ගත් අය රටේ ලොකු ලොකු තැන්වල ඉන්නවා. මේවායේ ඉගෙන ගත් විට ලොකු තැනකට එන්න පුළුවන් කියල මතයක් ගොඩනැගිල තියෙනවා.

ඔහොමින් ඔහොම ගමේ පුංචි පාසල් එක තැනම තමයි හැමදාම. ඉතින් උසස් පෙළ දක්වා ගියහම දුෂ්කර දිස්ත්‍රික්ක කෝටාව කියල එකක් එනවා, දුෂ්කර දිස්ත්‍රික්ක වලින් උසස් පෙළ සමත් දරුවන් විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී අඩු z අගයක් සලකා බලන එකයි මෙහිදී වෙන්නේ. සම අධ්‍යාපන මට්ටම ඇති කරලා මෙය අයින් කරනවා කියලයි මේක ඇතිකරනකොට කිව්වේ. දශක ගණනාවක් ගියා දැන් . සම අධ්‍යාපන අවස්ථා ළගා වෙන්න බැරි හීනයක්.

මෙන්න මෙතෙන්දි මේ කෝටාව ලබා ගන්නේ අර ගොඩේ බයියන්ගේ දරුවෝ ද ? වෙනත් විදියට කිව්වොත් දුප්පත්ම දෙමව්පියන්ගේ දරුවෝ ද ? මේ ප්‍රශ්නය වඩා අදාල වෛද්‍ය , ඉංජිනේරු ඇතුළු ඉහළ z අගයන් අවශ්‍ය විෂය ධාරා වලින් පෙනී සිටින දරුවන්ට. හුගාක් දුෂ්කර ප්‍රදේශවල දරුවෝ කරන්නේ කලා විෂය ධාරාව.විද්‍යා විෂය ධාරාවට පහසු කම් අඩුයි. ඒ දරුවොත් දෙමව්පියොත් බයයි දරුවන් ඒ අංශ වලින් ඉගෙන ගන්න යවන්න. එහෙම මානසික තත්වයක් ඇති කරලා තියෙනවා.

 විද්‍යා ,ගණිත අංශ වල ඉගෙන ගන්න දරුවන්ගේ දෙමව්පියෝ වැඩි දෙනෙක් අර ගොඩේ බයියො නෙමේ. එක්කෝ යම් මට්ටමක ව්‍යාපාරිකයෝ, විදුහල්පතිවරු, වෛද්‍යවරු ගුරුවරු වගේ අය. ඒ දිස්ත්‍රික්කයේ තියෙන හොඳම පාසලේ තමයි මොවුන් ඉගෙන ගන්නේ. සමහරු හිතා මතා සැලසුම් කරලා මේ දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට දරුවා ඇතුල් කරනවා. සමහර විට පාසල් නාම ලේඛනයේ නම තිබුනත් නම හැමදාම ලකුණු වුනත් ළමයා ඇත්තටම පාසල් ගිහින් තියෙන්නේ හරිම අඩුවෙන්. ඔවුන් දෙමාපියන් විසින් අග නගරයේ හෝ වෙනත් නගරයක් ආසන්නයේ බෝඩිම් කර හෝ කුලී නිවාස අරන් නැවතිලා පුද්ගලික පන්ති වල ඉගෙන ගන්නවා. පසු ගිය අවුරුද්දක මෙහෙම නාම ලේඛනය විතරක් තිබුණ පන්තියක්ම අහු වෙලා ප්‍රශ්නයක් ඇති වුණා මතකයි.ඒවා කොහොම විසදුණා ද දන්නේ නැහැ.

ඉතින් මේ විදියට ඉගෙනගෙන අර දුෂ්කර දිස්ත්‍රික්කයෙන් විභාගයට විතරක් පෙනී ඉන්නවා. මේ විදියට ඉගෙන ගන්න යවන්න බැරි දුප්පත් ගොවි කම්කරු ජනතාවගේ දරුවොත් යම් සංඛ්‍යාවක් ශිෂ්‍යත්වය සමත්වීම නිසා හෝ පාසල ආසන්නයේ පදිංචිය නිසා හෝ මේ පාසල් වල ඉගෙන ගන්නවා. නැත්නම් ඊටත් ඈත දුෂ්කර පාසල් වල ඉගෙන ගන්නවා. මේ දරුවෝ බොහෝවිට දුෂ්කරතා මැද, හරියට කන්න,අඳින්න  නැතුව, හරියට ප්‍රවාහන පහසුකම් නැතුව, ලෙඩට දුකට නිසි ප්‍රතිකාර නැතුව, පොත පත නැතුව, අන්තර්ජාල පහසුකම් නැතුව,ගුරුවරු නැතුව, විදුලිය නැතුව, බොන්න වතුර ටික පවා නැතුව, වන අලි ප්‍රහාර වලට මුහුණ දීගෙන ඉගෙන ගෙන මේ දිස්ත්‍රික්කයෙන්ම විභාගයට පෙනී ඉන්නවා. ප්‍රතිඵල ලැබෙනවා. කවුද සමත්? කවුද විශ්ව විද්‍යාලයට තේරෙන්නේ? කවුද වෛද්‍ය වරයෙක් ඉංජිනේරුවෙක්, පරිගණක විද්‍යාඥයෙක් වෙන්නේ ? ඉතින් දුෂ්කරතා විඳින දරුවන්ගේ වරප්‍රසාදය බුක්ති විඳින්නේ කවුද ?

ඔන්න මං මගේ ප්‍රශ්නය ඔබ හමුවේ තැබුවා. මට මේ ගැන පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.

'නිදහස් අධ්‍යාපනයෙන් නැත්තන්ට දී තිබෙන වරප්‍රසාදය භුක්ති විඳින්නෝ ඇත්තෝමය.'