Thursday, January 10, 2019

ඔරු දෙකක පා තබා ගඟෙන් එතෙර වීම ...


ඔරු දෙකක පා තබා ගඟෙන් එතෙර වීම ....


ඔරු දෙකක පා තබා ගෙන  වතුරේ දියත් වෙමින්  ගඟෙන් එතෙර වීමට  අපේ දරුවෝ අධ්‍යාපනය ලබන බව පෙන්නනයි අද මං ලෑස්ති වෙන්නේ.

එක ඔරුවක තියෙන්නේ විද්‍යාත්මක අධ්‍යාපනය. ඒ කියන්නේ ලෝකයේ යථාර්තය දෙස ගවේෂණාත්මකව බලමින් ඉගෙන ගැනීම.  අනිත් ඔරුවේ මිත්‍යාව සමග පත අට එකට හින්දවල හදපු සියලු ආගමික මති මතාන්තර සහිත අධ්‍යාපනය. ඒකට තව හොඳට ලුණු ඇඹුල් එකතු කරනවා සම්ප්‍රදායික මිත්‍යා මති මතාන්තරත්.

අර කලින් ඔරුවේ අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නවා ලෝකය බිහිවූ හැටි, රසායනික පරිණාමය, ජීවී පරිණාමය වගේ දේවල්. මිනිසා ක්‍රමයෙන් පරිණාමය වෙලා විකාශය වූ හැටි. ශරීරය පිලිබඳ ක්‍රියාකාරීත්වය, රසායනික ක්‍රියා කාරිත්වයන්, භෞතික ලෝකයේ සංසිද්ධීන්, භූගෝල විද්‍යාවෙන් භුමි සැකස්ම,ලෝකයේ අභ්‍යන්තර සැකැස්ම , මතුපිට සැකැස්ම භූ තැටි,සාගර, කඳු වැටී ,  පාෂාණ, ගණිතය මගින් තර්කානුකුල චින්තනය ...ඉතිහාසය, දේශපාලන විද්‍යාව, විවිධ භාෂා මේ වගේ විවිධ කරුණු රාශියක් ඉගෙන ගන්නවා.

අනිත් ඔරුවේ බරටම තියෙන්නේ, ලෝකය මැව්වා,සත්තු මිනිස්සු මැව්වා, සත්තු කතා  කරනවා,දරුවෝ උපන් හැටියේ ඇවිදිනවා, යක්කු භූතයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, දෙවියෝ ලෙඩ හදනවා, මැරුණහම වැරදි කළ අය අපායට යනවා, හොද වැඩ කල අය දිවිය ලෝකේ යනවා, අපාය පොලව යට තියෙනවා, වගේ දේවල්.

දැන් අපේ දරුවන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් එනවා,මොකද්ද මේ දෙකෙන් ඇත්ත කියලා පිළිගන්නේ කියන . සමහර දරුවෝ ඒ ගැන ප්‍රශ්න කරනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් කියා දෙන්නේ වැඩිපුරම කියන දෙයක් අහන් ඉඳල ,වෙන කෙනෙක් අහන ප්‍රශ්න වලට ඒ කෙනා බලාපොරොත්තුවෙන උත්තරේ ලියල වැඩි ලකුණු අරන් විභාගේ පාස් වෙන්න. ඒකෙ හරයේම තියෙන්නේ   දරුවාගේ ප්‍රශ්න කිරීම ටික ටික නැති කරලා නැත්තටම නැති කර දැමීම . දහය එකොළහ පන්ති වලට එද්දී දරුවෝ ගොළුයි. ගුරුවරයා සතුටු කරන්න හැම දේටම ඔලුව වනන තර්කානුකුල චින්තනයට අගුළු දැමු,  බුද්ධියට ඉඩක් නොදෙන වහල්  ගුරු  ගෞරවය රකිනවා කියලා අපි හිතන, සුවච කීකරු 'සිරිමත් මගේ සකි' වගේ දරුවෙක් තමයි පන්තියේ ඉන්නේ.

දරුවෝ විද්‍යාව, ගණිතය  ඇතුළු විෂයයන් හොඳට ඉගෙන ගන්නවා කියල අපි හිතන්නේ වැඩි ලකුණු ගැනීම මත. ආගම පවා එහි ප්‍රතිපත්ති මත නෙමෙයි, ලකුණු ලැබීම මත දක්ෂයා තෝරනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ කිසිම නව්‍ය අදහසකට ලකුණු දීමක් නැහැ. ගණනක් වුනත් වෙනත් ක්‍රමයකට හදලා තිබුනොත් දහසක් තර්ක විතර්ක ....ඒකට ලකුණු දෙන්න මැලි වෙනවා. ගුරුවරයාට වුනත් කරන්න දෙයක් නැහැ. ඔහුත් කොටුවකට රාමු කරලා තියෙන්නේ. 

ඉතින් කාලයක් මේ ඔරු දෙකේ කකුල් තියන් යන කොට, අර මිත්‍යා ඔරුවේ බර සමාජයෙන් එකතු කරන, ගස් ගල් වැදීම්, වාලම්පුරි,පෙන්ශුයි, නැකත්, නාඩි වාක්‍ය , දේව පුජා, මෙකී නොකී බොහෝ දේවල් වලින් බර වැඩිවෙනවා. දැන් මේ ඔරුව පෙරළිලා දරුවා වැටෙන්නේ මිත්‍යා මත කන්දක් එක්ක වතුරට. දරුවා විභාග ඉහලින් සමත් වෙලා වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක ශිල්පී,ගණිතඥ , විද්‍යාඥ ආදී විවිධ ක්ෂේත්‍ර වල වෙන්න පුළුවන් දැන් ඉන්නේ. ඉතින් ඔහු ජීවිතයේ හැම දේටම මේ මත වලට වහල් වෙලා කටයුතු කරනවා. එක එක දෙවියන්, මන්ත්‍ර කරුවන් පස්සේ දුවනවා. තම මෝටර් රථයේ දෙහි ගෙඩි කීපයක් මිරිස් කරලක් එල්ලනවා. එක එක සුරුවම්, යන්ත්‍ර බෙල්ලේ එල්ල ගන්නවා. හැම දේටම නැකත් බලනවා. රාහු කාල බලනවා. හුනෙක් ඇඟට වැටුනොත් බය වෙනවා. පණ යන්න දඟලන අලියගෙ වල්ගෙ කෙඳි ගලවගෙන මුදු, වළලු හදන් පළඳිනවා,  විභාග වලට කලින් පන්සල්,කෝවිල්,දේවාල  වල අතුරු සිදුරු නැතුව පුද පූජා,යාග හෝම කරනවා, නුල් කඹ තරම් ඝන කමට අත්වල ගැට ගහ ගන්නවා. මේ ලැයිස්තුව කොච්චර නම් තව දික් කරන්න වෙකොටි මරල දත් බෙල්ලේ එල්ල ගන්නවා, අලි මරල දළ අරන් පන්සල් වලට පූජා කරනවා, හීනයක් දැක්කොත් ඒකෙ පල විපාක බලවනවා.  මේ ලැයිස්තුව කොච්චර නම් තව දික් කරන්න වෙනවා ද ? ටයිප් කරලා අතත් රිදෙනවා.

ඉතින් මේ විදියට  මුළු ජීවිත කාලයේම අපේ දරුවන්   වැඩිහිටියන් වුනාට පස්සෙත්  , අතලොස්සක් හැර, මේ මිත්‍යා මත කන්ද එක්ක වතුරේ ජීවන හුස්ම ගන්න මහා සටනක යෙදෙනවා.

මේ මත පතුරුවා හරින  අය  විවිධ බලාපොරොත්තු සහිතව ඒවා කරනවා . ප්‍රධාන වශයෙන්  බියසුළු ජනතාවක් සිටීම කෛරාටික දේශපාලනයට වාසිදායක වීම එක් පැත්තකි. මාධ්‍ය නමින් අපේ රටේ තිබෙන විසුළුකාරී ව්‍යාපාරය විසින් ඇතියි නොකියන්න මේවා ජනතාවට පොවන්න දිවා රෑ නොබලා සිය වගකීම් ඉටු කරනවා. තව මෙයට මේ කපටින් දෙන එකම පිළිතුර අපි නොදන්නා බොහෝ දේ ලෝකයේ ඇති බවය. ඒවා අපට නොපෙනෙන නොදැනෙන බවය. මගේ අදහස නම් ඒවා තිබේ නම් දකින තුරු, දැනෙන තුරු ඉවසා ගෙන ඉන්න කියන එකයි. ඇයි අපි ඒ දේවල් ගැන කරදර වෙමින් අපේ වටිනා ජීවිත කාලය නාස්ති කරන්නේ. හැකි නම් ඔබට ගවේෂණයක්, පර්යේෂණ ක්‍රියා දාමයක් ආරම්භ කර ඒ දෙයක් සොයාගෙන මානව වර්ගයාට සේවයක් කල හැකිය.

මෙන්න මෙතෙන්දි දක්ෂ නිර්මාණ ශීලී ගුරුවරයෙකුට දරුවන්ගේ නිල්පාට, කලුපාට ,දුඹුරු පාට ඇස් වලට කතා කරන්න පුළුවන්, ලෝකය දකින්නෙ මෙහෙමයි කියලා කියා දෙන්න පුළුවන්. උපක්‍රමශීලීව, විභාගයටත් ලෑස්ති කරන ගමන්, ඔබ ඔබේ දරුවන්ට කතා කරන්න. ඔවුන්ට  මිත්‍යා මඩ ගොහොරුවෙන් සුවදවත්ව උඩට පිපෙන නෙළුමක් වෙන්න මග පාදන්න.

දෙමව්පියෙනි, දැන් වත් ඇස් අරින්න. ඔබේ දරුවාට සත්‍ය වටහා දෙන්න. හොඳ නරක වටහා දෙන්න. හොඳ ගති ඇති කරගත යුත්තේ අපායට බිය නිසා නොවන බව ටිකෙන් ටික වටහා දෙන්න. ආදරය වටහා දෙන්න. ලෝකය වටහා දෙන්න. රටට, ලෝකයට,පරසරයට , මිනිසාට, සතා සිව්පාවට, ගහකොළට  ආදරය කරමින් මේ ලැබුණු වටිනා ජීවිතය සතුටින් ගත කරන්න ඔවුන්ට කියා දෙන්න. ඊළඟ ආත්මයකට සතුට කල් තබන්න නෙවෙයි, අද ලෝකය ඊළඟ පරපුරට වඩාත් යහපත් තැනක් කර තබන්න ඔවුන්ට හැකි දායකත්වයක් ලබා දෙන්න ඔවුන් පොළඹවන්න. දුප්පත් කමේ සාපයෙන් මිදෙන්න ක්‍රමයක් සොයාගන්න ඔවුන් පොළඹවන්න. ඔබ සැමට යහපතක්ම වේවා !!!

“The saddest aspect of life right now is that science gathers knowledge faster than society gathers wisdom.” 
― Isaac Asimov

No comments:

Post a Comment