Saturday, May 27, 2023

තාත්තෙක් නැති ඒත් සීයෙක් ඉන්න පිරිමි මී මැස්සා ( Drone bee)


 තාත්තෙක් නැති ඒත් සීයෙක් ඉන්න පිරිමි මී මැස්සා ( Drone bee)












දැන් සිංහල කවියෝ කවි ලියනකොට (කවියෙක්ම නොවුණත් මාත් ඉඳහිට) බඹරා ගැන හරියට ලියනවනේ. ඒ ගොල්ලො මල් තලනවය, මල් රොන් ගන්නවාය ඊට පස්සේ මල් දාලා යනවාය කියලා. ඒවා අමු කෙප්ප. කවදාවත් බඹරා නැත්නම් පිරිමි මී මැස්සා මල් පැණි වත් රොන් වත් ගන්න මල්වල පලාතේවත් යන්නේ නෑ. ඒ රාජකාරී කරන්නේ වැඩකාර ගෑනු මී මැස්සියෝ. එතකොට අර කවි කාරයෝ කියන්නේ ලෙස්බියන් වැඩක් ගැන නේද? මල් ගෑනුන්ට සමාන කරනවා නම් බඹරා නෙවේ නෙ බඹරී නෙ යන්නේ මල් තලන්න. රොන් ගන්න.
මේ පිරිමි මී මැස්සා උපදින්නේ සංසේචනය නොවූ බිත්තර වලින්. ඉතින් මෙයාට තාත්තෙක් නෑ. හැබැයි සීයා කෙනෙක් ඉන්න එපැයි. (ඒ වගෙම මෙයාලා ඒක ගුණයි. මොකද සංසේචනය වෙලා නෑනෙ. ඉතින් වර්ණදේහ 16යි තියෙන්නේ. ගෑනු මැස්සියන්ට හා රැජිනට 32ක් තියෙනවා.)
මෙයාලගෙ ප්රධාන රාජකාරිය සමූහ සරණයකින් පස්සේ කන්යා රැජින සංසේචනය කරන එක. ඒ වැඩේ හැම පිරිමි මැස්සටම ලැබෙන්නෙත් නෑ. ටික දෙනෙක් ඒ වාසනාව හිමි කර ගන්නවා.
ඒ වගෙම මෙයාලා මී මැසි ජනපදයේ උණුසුම රැක ගන්න යම් උදව්වක් කරනවලු. හැබැයි මෙයාලා ජීවත් වෙන්නේ අර ගෑනු මැස්සියෝ ගේන මල් පැණි වලින්. මෙයාලා මහ කම්මැලියෝ නිසා 'Lazy Willi' කියලා නමකුත් පටබැඳිලා තියෙනවා. මෙයාලගේ ආයුෂත් අඩුයි. දවස් 30ක් විතර. ටික දවසක් යද්දී අර ගෑනු ටික මෙයාලා මී වදයෙන් ඇදලා වීසි කරනවලු හාමතේ මැරෙන්න. මේ මොන වදකාරයොද කියලා හිතනවා ඇති. අර වැඩේ වුණත් රැජින එක්ක විතරනෙ. වැඩකාර ගෑනු ටිකට මෙයාලගෙන් ඇති වැඩේ මොකක්ද නේද?
පින්තූරය අන්තර්ජාලයෙන්

Tuesday, May 23, 2023

චමත්කාරජනක නිවර්තන වැසි වනාන්තර

 









චමත්කාරජනක නිවර්තන වැසි වනාන්තර

ඔයා කවදාහරි සිංහරාජයේ හෝ කන්නෙලියේ ගිහින් ඒ චමත්කාරය විඳලා තියෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම වන වියනෙන් වැහිලා තියෙන ඒ තුරු අතරින් හිරු රැස් බිඳක් හොරෙන් හොරෙන් වගේ බිමට පතිත වන අඳුරු වැහි වනාන්තරයක් තරම් චමත්කාරයක් මේ ලොව වෙන නැහැ.
ලෝකයේ විශාලත්වයෙන් කොච්චර පොඩි වපසරියක ද මේ නිවර්තන වැසි වනාන්තර පිහිටලා තියෙන්නේ කියලා ඔයාට සිතියමෙන් බලා ගන්න පුළුවන්.
ප්රධාන නිවර්තන වැසි වනාන්තර 5ක් තියෙනවා.
1. දකුණු ඇමරිකාවේ Amazon
2.මධ්යම අප්රිකාවේ Congo
3. ගිනිකොණ දිග ඕස්ට්රේලියාවේ Australian Rain Forest
4.Sandaland
5.Indu - Burma
ඒ ටිකත් කොච්චර තර්ජනයට ලක් වෙලා විනාශ වෙමින් තියෙනවාද කියලත් ඔයාට National Geographic වගේ චැනලයකින් බලාගන්න පුළුවන්. ලෝකෙට වැටෙන ඉර එළියෙන් 1%තමයි ප්රභාසංශ්ලේෂණ මගින් තිර කරන්නේ. ඒ වැඩෙන් ලොකු පංගුවක් මේ වැසි වනාන්තර වලින් කරනවා. ඒ කියන්නේ කාබන්ඩයොක්සයිඩ් තිරකරලා දේශගුණ තත්ත්වය යහපත්ව තියාගන්න මේ වනාන්තර කරන මෙහෙය අපමණයි.
කොයි තරම් විශාල ජෛව විවිධත්වයකට සෙවන දෙනවද කියන එක තව පැත්තක්. මේ කිසි දෙයක් දුර දක්නා නුවණ නැති උදවියට පේන්නේ නෑ.
කවදාහරි කොන්ගෝ හරි ඇමසන් හරි වනාන්තරයක අර සිංහගලට ගියා වගේ ගමනක් යන එක සිහිනයක්.
සේයාරුව හා සිතියම අන්තර්ජාලයෙන්.

Monday, May 8, 2023

මගේ ෂොපින්


 මගේ ෂොපින්

කෙතරම් ලාභ වුණත් අනවශ්ය දෙයක් නම් මිළදී ගන්න එපා යයි ආර්ථික විද්යාඥයෙක් කියා තිබුණ බවක් මං අහලා තියෙනවා. අද වෙළඳ ලෝකය සකස් වෙලා තියෙන්නේ අපේ අතේ තියෙන මුදල් කෙසේ හෝ ඔවුන්ගේ සාක්කුවට දමා ගැනීමට. ඒක තමයි වෙළඳාම කියන්නේ. ඒකට දොසක් කියන්න බෑ. ධනවාදී වෙළඳපොල ආර්ථිකය අප ග්රහණයට ගත් මහා දරුණු බිල්ලෙක්. ඕන මොනවද නැත්තේ මොනවද කියලා හිතාගන්න බැරි ප්රපාතයකට මේ බිල්ලා ජනතාව ඇද දාලා තියෙනවා. වෙළඳ ප්රචාරණය සකස් වෙලා තියෙන්නේ අපේ මනසේ වගේම ශරීරයේත් හොඳම නිලයන් අල්ලලා.
උදාහරණයක් මෙහෙම පැහැදිලි කරන්නම්. අපේ ආහාර ජීර්ණ ක්රියාවලිය සඳහා විවිධ එන්සයිම අඩංගු යුෂ ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ ග්රන්ථි වලින් ශ්රාවය වෙනවා. මුලින්ම කෙල ශ්රාවය වෙනවා. ඊළඟට ආමාශයික යුෂ ශ්රාවය වෙනවා. මේවා ශ්රාවය වෙන්න ආහාරවල සුවඳ, ආහාර දැකීම ප්රමාණවත්.
"අම්මෝ කටට කෙලත් උනනවා." කියලා අපි කියනවා. ඒක පෙරේත කම කියලා තව කෙනෙක් කියන්න පුළුවන්. නෑ ඒ අපේ ශරීර ස්වභාවය. දැන් අපි හිතමු ඔයා ආහාර පිළියෙල කරනවා කියලා. ඉස්සර නම් හාල්වල කළු ඇට වී ඇට අහුලන්න ඕන. දැන් එහෙම නෑ. පොල් ගාන්න ඕන. උඔලකඩ කපන්න ඕන. මෙන්න මේවා කරද්දී අපේ අර ග්රන්ථි ක්රියා කරනවා. එතකොට අපට හාල් ඩිංගක්, පොල් රළක්, උඹලකඩ කෑල්ලක් කන්න හිතෙනවා. ඒක කන එක හොඳයි. නැත්නම් අර ශ්රාවයන් අපරාදේ.
දැන් මෙන්න මේ ශාරීරික ක්රියාවලිය කොහොමද වෙළඳ ප්රචාරණය සඳහා ගන්නේ බලමු. ඔබ රූපවාහිනී තිරය ඉස්සරහ බලන් ඉන්නවා. ඒකෙ වෙළඳ දැන්වීමක ලස්සනට අයිස්ක්රීම් නැත්නම් සොසේජස් ඔය මොනවා හරි ආහාර වර්ගයක් පෙන්වනවා. සතුටෙන් ඒවා කමින් ඉන්න අය පෙන්වනවා. ඔයාට ඒවා කන්න පෙළඹවීමක් ඇති කරනවා. තව මාර්ගයේ යනවිට හොඳට පේන තැන්වල කට්අවුට් ඒ වගේ රූප එක්ක දානවා. නැත්නම් ආහාර ප්රවාහන රථවල එවැනි රූප පින්තාරු කරලා තියෙනවා. ඔයාට ඒ ළඟ කඩයකීන් ඒවා මිළදී ගන්න හිතෙනවා.
ඉස්සර අපි ෂැම්පූ ගැන දන්නේ නෑ. සබන් ගාලා තමයි හිස සේදුවේ. ඔන්න ෂැම්පූ හඳුන්වා දුන්නේ මෙහෙමයි. ඇස් කණ්ණාඩියක එක වීදුරුවක් සබන් ගාලා හෝදලා ඒකෙ පටලයක් බැඳිලා හරියට පේන්නෙ නෑ වගේ දානවා. අනික් වීදුරුව ෂැම්පූ දාලා හෝදලා හොදට විනිවිද පේන හැටි දානවා. ඒ කියන්නේ ෂැම්පූ වලින් තමයි හොඳට පිරිසිදු වෙන්නේ කියලා අපේ හිතට දානවා. ඔය වගේ උදාහරණ ඕන තරම්.
කොහොම උනත් මං නම් භාණ්ඩ මිළදී ගැනීමේදී මගේ පිටුපසින් මගේ ජීවිතයේ දීම දුක්ගැහැට විඳි කාලවකවානු සෙවනැල්ලක් වගේ මං ආවරණය කරනවා. අත්යවශ්ය දෙවල් පවා නැතිව ජීවත් වූ කෙටි කාල සීමාවන් මං පහු කරලා තියෙනවා. ඉතින් භාණ්ඩ ගන්න විට හුඟක් හිතන්න පෙළඹෙනවා. මං එහෙම භාණ්ඩ තෝරන දවසක ආර්පිකෝ ආයතනයේදී සේවකයෙක් කියවනවා 'මිස් හරියට හිතනවා නේද? "කියලා.
" ඔව් ඒ මගේ හැටි" මං කියනවා.
අද අන් කවරදාටත් වඩා වෙළඳපොල අප ආක්රමණය කරන ආර්ථික රටාවක් තුළ මගේ ක්රමය ආශීර්වාදයක් කියලා හිතෙනවා.
Thank you Allef Vinicius for the image on Unsplash

Monday, May 1, 2023

පිළිවෙල

 පිළිවෙල



මකුළුවා වෙහෙසෙයි
රටා වියමින් දැල තනයි
ඒ ඌ පැතූ පිළිවෙල යි
උගේ ලෝකය මනහරයි!
ගෙහිමියා වෙහෙසෙයි
ඌ තැනූ දැල් කඩයි
ඔහු පිළිවෙල යයි සිතන
තැනට නිවහන් ගෙන එයි!
දැල් බිඳුණු මොහොතේම
මකුළුවා යළි වෙහෙසෙයි
යළි රටා මතුවෙයි
උගේ පිළිවෙල යළි එයි!
නිවහනේ එසැණ සිට නැවත
අපිළිවෙල හිස ඔසවයි
පිළිවෙලින් අපිළිවෙලට
යන්න වෙහෙසක් නුවුමනයි.
ඒ ලොවේ දහමයි
වටහා ගත යුතුමයි!
Thanks to Torbjern Helgesen for the image on Unsplash