මගේ ෂොපින්
කෙතරම් ලාභ වුණත් අනවශ්ය දෙයක් නම් මිළදී ගන්න එපා යයි ආර්ථික විද්යාඥයෙක් කියා තිබුණ බවක් මං අහලා තියෙනවා. අද වෙළඳ ලෝකය සකස් වෙලා තියෙන්නේ අපේ අතේ තියෙන මුදල් කෙසේ හෝ ඔවුන්ගේ සාක්කුවට දමා ගැනීමට. ඒක තමයි වෙළඳාම කියන්නේ. ඒකට දොසක් කියන්න බෑ. ධනවාදී වෙළඳපොල ආර්ථිකය අප ග්රහණයට ගත් මහා දරුණු බිල්ලෙක්. ඕන මොනවද නැත්තේ මොනවද කියලා හිතාගන්න බැරි ප්රපාතයකට මේ බිල්ලා ජනතාව ඇද දාලා තියෙනවා. වෙළඳ ප්රචාරණය සකස් වෙලා තියෙන්නේ අපේ මනසේ වගේම ශරීරයේත් හොඳම නිලයන් අල්ලලා.
උදාහරණයක් මෙහෙම පැහැදිලි කරන්නම්. අපේ ආහාර ජීර්ණ ක්රියාවලිය සඳහා විවිධ එන්සයිම අඩංගු යුෂ ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ ග්රන්ථි වලින් ශ්රාවය වෙනවා. මුලින්ම කෙල ශ්රාවය වෙනවා. ඊළඟට ආමාශයික යුෂ ශ්රාවය වෙනවා. මේවා ශ්රාවය වෙන්න ආහාරවල සුවඳ, ආහාර දැකීම ප්රමාණවත්.
"අම්මෝ කටට කෙලත් උනනවා." කියලා අපි කියනවා. ඒක පෙරේත කම කියලා තව කෙනෙක් කියන්න පුළුවන්. නෑ ඒ අපේ ශරීර ස්වභාවය. දැන් අපි හිතමු ඔයා ආහාර පිළියෙල කරනවා කියලා. ඉස්සර නම් හාල්වල කළු ඇට වී ඇට අහුලන්න ඕන. දැන් එහෙම නෑ. පොල් ගාන්න ඕන. උඔලකඩ කපන්න ඕන. මෙන්න මේවා කරද්දී අපේ අර ග්රන්ථි ක්රියා කරනවා. එතකොට අපට හාල් ඩිංගක්, පොල් රළක්, උඹලකඩ කෑල්ලක් කන්න හිතෙනවා. ඒක කන එක හොඳයි. නැත්නම් අර ශ්රාවයන් අපරාදේ.
දැන් මෙන්න මේ ශාරීරික ක්රියාවලිය කොහොමද වෙළඳ ප්රචාරණය සඳහා ගන්නේ බලමු. ඔබ රූපවාහිනී තිරය ඉස්සරහ බලන් ඉන්නවා. ඒකෙ වෙළඳ දැන්වීමක ලස්සනට අයිස්ක්රීම් නැත්නම් සොසේජස් ඔය මොනවා හරි ආහාර වර්ගයක් පෙන්වනවා. සතුටෙන් ඒවා කමින් ඉන්න අය පෙන්වනවා. ඔයාට ඒවා කන්න පෙළඹවීමක් ඇති කරනවා. තව මාර්ගයේ යනවිට හොඳට පේන තැන්වල කට්අවුට් ඒ වගේ රූප එක්ක දානවා. නැත්නම් ආහාර ප්රවාහන රථවල එවැනි රූප පින්තාරු කරලා තියෙනවා. ඔයාට ඒ ළඟ කඩයකීන් ඒවා මිළදී ගන්න හිතෙනවා.
ඉස්සර අපි ෂැම්පූ ගැන දන්නේ නෑ. සබන් ගාලා තමයි හිස සේදුවේ. ඔන්න ෂැම්පූ හඳුන්වා දුන්නේ මෙහෙමයි. ඇස් කණ්ණාඩියක එක වීදුරුවක් සබන් ගාලා හෝදලා ඒකෙ පටලයක් බැඳිලා හරියට පේන්නෙ නෑ වගේ දානවා. අනික් වීදුරුව ෂැම්පූ දාලා හෝදලා හොදට විනිවිද පේන හැටි දානවා. ඒ කියන්නේ ෂැම්පූ වලින් තමයි හොඳට පිරිසිදු වෙන්නේ කියලා අපේ හිතට දානවා. ඔය වගේ උදාහරණ ඕන තරම්.
කොහොම උනත් මං නම් භාණ්ඩ මිළදී ගැනීමේදී මගේ පිටුපසින් මගේ ජීවිතයේ දීම දුක්ගැහැට විඳි කාලවකවානු සෙවනැල්ලක් වගේ මං ආවරණය කරනවා. අත්යවශ්ය දෙවල් පවා නැතිව ජීවත් වූ කෙටි කාල සීමාවන් මං පහු කරලා තියෙනවා. ඉතින් භාණ්ඩ ගන්න විට හුඟක් හිතන්න පෙළඹෙනවා. මං එහෙම භාණ්ඩ තෝරන දවසක ආර්පිකෝ ආයතනයේදී සේවකයෙක් කියවනවා 'මිස් හරියට හිතනවා නේද? "කියලා.
" ඔව් ඒ මගේ හැටි" මං කියනවා.
අද අන් කවරදාටත් වඩා වෙළඳපොල අප ආක්රමණය කරන ආර්ථික රටාවක් තුළ මගේ ක්රමය ආශීර්වාදයක් කියලා හිතෙනවා.
Thank you Allef Vinicius for the image on Unsplash
හැබැයි සමහර වෙලාවට අත්‍යාවශ්‍ය දේවල් පාවා නැතුව ඉදලා (දරිද්‍රව) ඊට පස්සෙ මුදල් හදල් හම්බුනාම ගොඩක් වියදම් කරන්න පුරුදු වෙන ස්වාභාවයක් මිනිස්සුන්ගෙ තියෙනවා නේද??
ReplyDeleteස්තූතියි නවීන්. වෙළඳ ලෝකය හැදිලා තියෙන්නේ අපේ අතේ තියෙන මුදල් ඇදගන්න. ඒ නිසා තමයි එළඹ සිටි සිහිය ඕන වෙන්නේ.
Deleteම්ම් ඒක හරි🤓
Delete