Saturday, November 9, 2019

කඩදාසි විත්ති

 

කඩදාසි විත්ති

                              පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය සිසුන් අත් කඩදාසි සෑදීමේ නිරත වෙමින් 


හැඳින්වීම

සයිබර් අවකාශය කොතම් පුළුල් වුවද අද දවසේද කඩදාසි මානව සමාජය තුළ අත්‍යවශ්‍ය අංගයක් ව ඇත්තේය. අනාගතයේදී ද එය එසේ වනු ඇති බව මගේ විශ්වාසයයි.

ශාක, පිදුරු හෝ වෙනත් තෘණ වර්ග වලින් ලබා ගන්නා සෙලියුලෝස් තන්තු එකට තදකර වියලා ලබා ගන්නා තුනී නම්‍යශීලී තහඩු කඩදාසි ලෙස හැදීන්විය හැකි ය.  සෙලියුලෝස් යනු ශාක සෛල බිත්තිවල සංඝටකයක් ව පවතින එබැවින්ම මේ පෘතුවිතලය මත සුලබතම සංකීර්ණ කාබනික රසායනික ද්‍රව්‍ය වේ.

කඩදාසි බහුවිධ කාර්යන් සඳහා භාවිතා වේ. එනම් ලිවීම, මුද්‍රණය, පිරිසිදු කිරීම, වෙනත් නිර්මාණ සෑදීමට ගැනීම ඒ අතරවේ.

අරමුණ

කඩදාසි අප වෙත එයි. අපි ඒවා මිලදී ගනිමු. භාවිතා කරමු. ඉවත ලමු . එහෙත් කඩදාසියේ ඇරඹුම  කෙසේද? කොතැනද? කඩදාසි සෑදීම, භාවිතයෙන් පසු ඉවත ලෑම නිසා යම් අනර්ථයක් සිදුවේද? , කඩදාසි ප්‍රතිචක්‍රීකරණය යනු කුමක්ද ? එය සිදු කරන්නේ කෙසේද ? යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුනයි.

කඩදාසියේ ඉතිහාසය

අවුරුදු 5000 කට පමණ පෙර ඊජිප්තුවේ නයිල් ගංගා ඉවුරුවල වැඩුණු පැපිරස් ( Cyperus papyrus) නම් පන් වර්ගයක බඩයෙන් ලබාගත් කඩදාසි වැනි ඝන ද්‍රව්‍යක් ලිවීම සඳහා භාවිතා කරන ලදී. පැරණි ඊජිප්තු, රෝම හා වෙනත් මධ්‍යධරණී ශිෂ්ටාචාරයන් ලිවීමට භාවිත කල මෙමෙ ද්‍රවයන් පොදුවේ tapa ලෙස හැඳින්වූ අතර ඒවා ලබා ගැනීමට පැපිරස් බඩය පමණක් නොව පේපර් මල්බෙරි, නුග පවුලේ ශාක හා Daphna ශාකයේ පොත්තද යොදාගෙන ඇත. නමුත් මේවා නිපදවූ ක්‍රමය කඩදාසි නිපදවන ක්‍රමයෙන් හාත්පසින්ම වෙනස් විය.   කඩදාසි සෑදීමට මත්ගාන ලද සෙලියුලෝස් තන්තු භාවිතකරනු ලබන අතර පැපිරස් වැනි ද්‍රව්‍ය වල තන්තු ශාකයේ තිබු ආකාරයෙන්ම තද කර සාදන ලදී.

කඩදාසි ( paper) යන වචනය Papyrus නම් ලතින් වචනයෙන් බිදී ආවකි. පැපිරස් ශාකය අමුද්‍රව්‍ය ලෙස මුලික වීම එයට හේතුව වේ. එහි මුලය Papuros නම් ග්‍රීක වචනයකි.

කඩදාසි නිපදවීමේ ආරම්භය ක්‍රි.ව. දෙවන ශතවර්ෂයේ චීනයේ ලී යැන් හි  සිදු වී ඇත.එනම් ක්‍රි.ව. 105 තරම් ඈතදීය.  චීනයේ සායි ලූන් විසින් සිය 14 වැනි වියේදී ලොව ප්‍රථම කඩදාසි සෑදීමේ ක්‍රමය හෝටී අධිරාජයාට ප්‍රකාශයට පත් කළේය. එම කඩදාසි පැරණි රෙදි, මාලුදැල්, තෘණ හා ගස්වල පොතු මිශ්‍රණයකින් සාදන ලදී. නමුත් කඩදාසි පිළිබද මුල්ම පුරා විද්‍යාත්මක සාක්ෂිය ලැබෙන්නේ ක්‍රි.පු. දෙවන ශතවර්ෂයේ චීනයෙනි. වත්මන් කඩදාසි කර්මාන්තයේ ප්‍රමුඛයා වන්නේද චීනයයි. ඇමරිකා එක්සත් ජනපදය දෙවන තැන රැඳේ. 13 වන ශත වර්ෂයේදී කඩදාසි පිළිබද දැනුම චීනයේ සිට මද පෙරදිග හරහා යුරෝපයට පැතුරුනි. එහිදී ප්‍රථම ජල බලයෙන් ක්‍රියාකරන කඩදාසි කම්හල ස්පාඤ්ඤයෙදී ඇරබුණි.  1719 දී Rene de Reaumurකඩදාසි සැදීමට අවශ්‍ය තන්තු ලීවලින් ලබා ගත හැකිය යන අදහස ඉදිරිපත් කළේය..  19 වන සියවස වන විට කඩදාසි සුලබ විය.

අද ප්‍රධාන වශයෙන් කඩදාසි සැදීමට සෙලියුලෝස් තන්තු ලබා ගන්නේ ලී වලිනි. එපමණක් නොව කඩදාසි ප්‍රතිචක්‍රීකරණය ද කඩදාසි නිපදවීමේ ක්‍රියාවලියේම කොටසක් ලෙස සැලකේ.


කඩදාසි සෑදීමේ ක්‍රියාවලිය හා බැඳුනු පරිසර දුෂණය

කඩදාසි සෑදීම සඳහා  සෙලියුලෝස් තන්තු අවශ්‍ය වේ. ශාක වලින් සෙලියුලෝස් තන්තු වෙන් කර ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. එයට හේතුව ශාක සෛල බිත්තිවල සෙලියුලෝස් තන්තු වියුක්තව නොතිබීමයි. ඒවා  ලිග්නින්, පෙක්ටින් , රෙසින්, සිලිකා, හෙමි සෙලියුලෝස් , මැලියම්, වැනි තවත් බොහෝ සංයෝග සමගත් ඉටි තෙල් වැනි ලිපිද සංයෝග සමගත් බැදී පැවතීම එයට හේතුවයි. එබැවින් සෙලියුලෝස් තන්තු මේ අනිකුත් ද්‍රව්‍ය වලින් වෙන්කර ගත යුතුය. මේ සඳහා අමුද්‍රව්‍ය මෘදු කිරීමේ ද්‍රව්‍ය සමග මිශ්‍ර කල යුතුය. ඒ සඳහා ප්‍රභල හෝ දුර්වල ක්ෂාර යොදා ගැනේ. ප්‍රභල  ක්ෂාර සමට ඉතා අහිතකරවන අතර පරිසරය දුෂණය කරයි. මේ හැර තන්තු සුදු පැහැ ගැන්වීමට විරංජන කාරක දැමිය යුතුය. එනයින් බැලූ කල අමුද්‍රව්‍ය වලින් කඩදාසි සෑදීම කිහිප ආකාරයකින්ම පරිසරය දුෂණය කරයි. මෙය Paper Pollution ලෙස හැඳින්වේ. කඩදාසි කම්හල් වාතය,පස, ජලය යන පරිසරයේ ප්‍රධාන අංග තුනම දුෂණය කරයි. මෙය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ තෙවැනි විශාලතම දුෂණ ප්‍රභවය වේ. වසරකට දුෂක  කි.ග්‍රෑම් මිලියන 100 ක් මුදා හරී.   කඩදාසි හා පල්ප නිපදවීම මුළු ලොව පුරා  තෙවැනි විශාලතම ශක්ති පරිභෝජනය ද සිදු කරයි. මෙම කර්මාන්තය සඳහා ජලය අනිකුත් සෑම කර්මන්තයකටම වඩා යොදා ගැනේ.

පසුගිය වසර හතළිහ තුල කඩදාසි පරිභෝජනය 400% කින් ඉහළ ගොස් ඇත. හෙළන ශාක වලින් 35% ඒ සඳහා යෙදවේ

මේ හැර නයිට්‍රජන් ඔක්සයිඩ , සල්ෆර් ඩයොක් සයිඩ්, කාබන්ඩයොක්සයිඩ් යන වායු ද මේ කර්මාන්තයේ දී වායු දුෂක ලෙස නිකුත්වේ. නයිට්‍රජන් ඔක්සයිඩ හා සල්ෆර් ඩයොක් සයිඩ් අම්ල වැසි ඇති කරන අතර කාබන්ඩයොක්සයිඩ් හරිතාගාර ආචරණය මගින් කාලගුණ විපර්යාසය කෙරෙහි බලපායි. අපජලය  පිටකිරීමේදී ඒ සමග ලිග්නින්, මද්‍යසාර , විරංජන කාරක ක්ලොරේට, ලෝහ පිට කරයි. ඉවත ලන කඩදාසි භූ පිරවුම් වලටද යොදනු ලැබේ.
මේ අතරම අද කඩදාසියෙන් පරසරයට සිදුවන්නේ අනර්ථයක් නොවන බවටද මතයක් පවතී. එනම් පරසරයට අහිතකර නොවන රසායන අද දියුණු කර ඇති බවත්, කඩදාසි තුල කාබන් සංචිත වීම නිසා පරිසරයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් වන බවත්, කෘෂිකර්ම කටයුතු ආදියට ඉවක් බවක් නොමැතිව වනන්තර විනාශ කරන අතර කඩදාසි කර්මාන්තයේදී වනාන්තර මනා පාලනයක් ඇතිව පවත්වා ගන්නා  බවත්ය.


කඩදාසි ප්‍රතිචක්‍රීකරණය

ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ඇරඹුනේ කෙදිනක කොහිදීද?  කඩදාසියේ ආරම්භක අවධියේ කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන රත්‍රන් වලටත් වැඩ දුලබ විය. එබැවින් කඩදාසි නැවත භාවිතය මුලින්ම ඇරබෙන්නේද ඊජිප්තු අධිරාජ්‍යයේය. ලියන ලද පැපිරස් තහඩු මකා නැවත ලිවීමට ගන්නා ලදී. මෙය ප්‍රතිචක්‍රීකරණය නොව ප්‍රති භාවිතයයි.

ප්‍රතිචක්‍රීකරණය පිලිබඳ ප්‍රථම සාක්ෂිය 1031 දී ජපානයෙන් හමුවේ. ජපන් රජය විසින් පැරණි කඩදාසි නැවත පල්ප බවට පත් කර නැවත කඩදාසි සෑදිය යුතු බවට නියෝගයක් පනවන ලදී.  ඉන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ 1690 දී පමණ පළමු කඩදාසි ප්‍රතිචක්‍රීකරණ කම්හල පෙන්සිල්වේනියා හි පිලඩෙල්පියා වල ආරම්භ විය. එහි අයිතිකරු වුයේ විලියම් රිටන්හවුස් ය. අමුද්‍රව්‍ය ලෙස ගන්නා ලද්දේ රෙදි හා වැරහැලිය. 1750 දී බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් පැරණි කඩදාසි ප්‍රතිචක්‍රීකරණය ආරම්භ කළේය.

ප්‍රථම ලෝක යුද්ධය සමයේදී කඩදාසි හිඟ වුයෙන් ප්‍රතිචක්‍රීකරණයට නව උද්යෝගයක් ඇතිවිය.   1929 දී  කොටස් වෙළදපොළ කඩාවැටීමත් සමග නව කඩදාසි සෑදීමට අමුද්‍රව්‍ය ලබා ගැනීම අපහසු වූ නිසා ප්‍රතිචක්‍රීකරණයෙන් කඩදාසි සාදන ලදී.  1940 – 1950 දක්වා නැවත නව කඩදාසි (virgin paper) මුල් තැන ගැනීම නිසා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය පසුබෑමකට ලක්විය. 1970 ගණන් වනවිට කඩදාසි භාවිතය අධික වීමත් සමග ඉවතලන කඩදාසි බැහැරලීමේ ගැටලුව පැන නැගුණි.  1988 දී කැලිෆෝනියා ප්‍රාන්ත රජය 50% ප්‍රතිචක්‍රීකරණ කඩදාසි සහිත අපද්‍රව්‍ය පමණක් මිලදී ගැනීමට තීරණය කළේය. මෙය අනෙකුත් ප්‍රාන්ත වලටද පැතිරී 1993 වන විට ප්‍රතිපත්තියක් බවට පත් විය.  පසුගිය වසර කිහිපය තුල හරිත සංකල්පයත් සමග ප්‍රතිචක්‍රීකරණය කරන කඩදාසි ප්‍රමාණය භූ පිරවුම් වලට ගන්නා කඩදාසි ප්‍රමාණයට වඩා වැඩි විය.
ඇමරිකානු එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය (EPA) මගින්  ප්‍රතිචක්‍රීකරණය ආරම්භක කඩදාසි නිපදවීමට වඩා 35% ක් අඩුවෙන් ජලයද 74% ක් අඩුවෙන් වාතයද දුෂණය කරන බව අනාවරණය කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ කඩදාසි කර්මාන්තය

ශ්‍රී ලංකාවේ කඩදාසි කර්මාන්තය 1955 දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවෙන් ඇරඹුනි. එය ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තයයි. 1958 දී එය නැගෙනහිර කඩදාසි කර්මාන්ත සංස්ථාව ලෙස නම් කරන ලදී. 1976 දී ඇඹිලිපිටිය දී දෙවැනි කඩදාසි කර්මාන්ත ශාලාව අරඹන ලදී. එය ජාතික කඩදාසි  සංස්ථාව ලෙස පසුව  නම් කරන ලදී. 2011 දී මෙය පුද්ගලීකරණය කරන ලදී. 1992 හි දී ජාතික කඩදාසි  සංස්ථාව සීමාසහිත සමාගමක් බවට පරිවර්තනය කරන ලදී. කඩදාසි ආනයන නීති ලිහිල් කිරීමත් සමග මෙහි නිෂ්පාදනය බිඳවැටුණු අතර යුද්ධයේ බලපෑමද මේ පසුබැස්මට බලපා ඇත . කෙසේ හෝ 2015 හි දී කම්හල වසා දැමුණු  බව ඒ පිලිබඳ මේ ලියුම්කරු විසින් කරන ලද විමසීමේදී අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය

ශ්‍රී ලංකාවේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය මගින්  කඩදාසි සෑදීම පිලිබඳ ප්‍රබෝධයක් ඇති වුයේ 1972 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත්  සමගය. එම ප්‍රතිසංස්කරණය මගින් සංවර්ධනය කළ විෂය මාලාවේ ප්‍රාග් වෘත්තීය නම් විෂයක් සඳහා සතියට කාල ඡේද 7ක් වෙන්විය. මෙයින් එක කාල ඡේදයක් රටේ ස්වාභාවික සම්පත්,මිනිස් සම්පත් , එම සම්පත් දියුණු කරගන්නා අන්දම ආදී කරුණු ගැන හැදෑරීමටද ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇඳීම පුහුණු කිරීමටද වෙන්විය. ඉතිරි කාල ඡේද හය ප්‍රාග් වෘත්තීය විෂය i හා ප්‍රාග් වෘත්තීය විෂයii සඳහා වෙන්විය.

ප්‍රාග් වෘත්තීය විෂය i යටතේ කෘෂිකර්මය, ඛනිජ විද්‍යාව, ගෘහ විද්‍යාව, හා ලෝහ,මැටි,හා පේෂ කර්මාන්තයද ඉගැන්වුනි. ප්‍රාග් වෘත්තීය විෂය ii යටතේ ප්‍රදේශයේ කෙරෙන කිසියම් කර්මාන්තයක් ඉගැන්වුනි. කඩදාසි,මැණික්, ධීවර, උළු , ගඩොල් වැනි කර්මාන්ත මේ සඳහා තෝරා ගැනුනි. එවකට කළුතර  ම්යුසියස් ගුරුවිදුහල්පතිව සිටි  ඉන්ද්‍රපාල අබේවීරට අනුව ප්‍රාග් වෘත්තීය විෂය පිලිබඳව මේ රටේ පමණක් නොව විදේශීය රටවලද , අධ්‍යාපනඥයින් ගේ විශේෂ අවධානය යොමුවී ඇත. යුනෙස්කෝ විද්‍යාඥයින් පවා මෙබඳු නව විෂයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් ප්‍රශංසා මුඛයෙන් කථා කොට ඇත. එහෙත් අපේ රටේ ඇතැම් දෙමව්පියන් මෙන්ම පටු පරමාර්ථයන්ගෙන් අනුන ඇතැම් උගතුන්ද එවකට තිබු රජයට ප්‍රහාර එල්ල කිරීමේ යෙදී සිටි සමහර නිලධාරීන්ද මෙම විෂය සම්බන්ධයෙන් වැරදි ආකල්ප පතුරුවා හැරියහ. ළමුන් විසින් තෝරා  ගනු ලබන ප්‍රාග් වෘත්තීය විෂයට අනුව ඔවුන්ගේ අනාගත රැකියාව තෝරා ගැනීමට සිදුවන බව එවැනි එක දුර්මතයකි. නමුත් මෙම විෂයයන් ඉගැන්වීමේ අරමුණ වුයේ  කිසියම් රැකියාවක් ඉගැන්වීම නොවේ. එසේම කිසිම ළමයකු ඉගෙන ගන්නා ප්‍රාග් වෘත්තීය විෂයක් අනුව ඔහුට හෝ ඇයට අනාගතයේ රැකියාවක් තේරීමටද සිදුනොවේ. සියලුම ළමුන් ප්‍රාග් වෘත්තීය විෂයයන් උගත යුතුවූ නමුත් ඔවුනට කැමති රැකියාවක් අනාගතයේදී තෝරා ගත හැකි විය.

මෙම විෂයයන් ඉගැන්වීමේ අරමුණු තුනක්  විය.

1. එදිනෙදා ජීවිතය සඳහා අවශ්‍ය හසුරු කෞශල්‍යතා  ලබා දීම.
2. දරුවන්ට ශ්‍රමයේ වටිනා කම පිළිබඳව වටහා දීම.
3. දරුවන් තුල වැඩකිරීමේ ආශාවක් හා උනන්දුවක් ඇති කිරීම.

දැන් මේ සියල්ල වෙනස් වී ගොස් ඇති අතර නිසි පරිදි පැළයක් සිටුවීමට පවා නොදත් බහුතරයක් සිටින කෘෂිකාර්මික රටක් මෙන්ම ඉඳිකට්ටේ සිට සියල්ල විදේශවලින් ගෙන්වන රටක් බවට අප රට පත්වී ඇත. වැඩ කිරීමට වඩා නිකම් කාලය ගතකර මුදල් උපයන ක්ෂේත්‍ර  සියල්ලෝම සොයති.

ප්‍රාග් වෘත්තීය විෂය වශයෙන් අත්කඩදාසි  සෑදීම ගාල්ල දිස්ත්‍රික්කයේ උනන්විටිය මහා විද්‍යාලයෙන් ආරම්භ විය.  එයට මුලිකත්වය ගෙන කටයුතු කලේ අත්කඩදාසි විශේෂඥ රිචඩ් පෙරේරා මහතාය. අත් කඩදාසි පිළිබඳව අප රටේ කිසිවකුටත් නොතිබූ විශේෂඥ පුහුණුවක් හා දැනුමක් ඔහු සතු විය. කඩදාසි කර්මාන්තය සඳහා එම විදුහලේ කඩදාසි පර්යේෂණ හා සංවර්ධන අංශයක් පිහිටුවනු ලැබීය. උනන්විටිය මහා විද්‍යාලය මේ විෂය ආරම්භ කර ඉතා සාර්ථකව පවත්වා ගෙන යන ලද අතර අත්කඩදාසියේ මුද්‍රිත කඩදාසි විත්ති ( Paper News) නම් පුවත්පතක්ද පවත්වාගෙන ගියේය.


එම අවදියේදී එනම් 1975 දී අත්කඩදාසි නිෂ්පාදනය පිලිබඳ ගුරු පුහුණු පාඨමාලාද පවත්වා තිබේ. ඒ පිලිබඳ එක් අවුරුදු කාර්මික පාඨමාලාවක් රත්මලානේ කණිෂ්ඨ කාර්මික ආයතනයේ ආරම්භ කරන ලදී. 1976 දී රත්මලානේ අත්කඩදාසි කම්හලක්ද ආරම්භ විය. මේ කාලයේ නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලයද ක්‍රියාත්මක වී තිබිණ.

කඩදාසි ප්‍රති චක්‍රීකරණයේ  වත්මන් තත්වය

අද වන විට ලෝකයේ ප්‍රතිචක්‍රීකරණ කඩදාසි 100 % ක්ම ජලප්‍රතිරෝධී ආහාර ඇසුරුමේ සිට තියුණු ග්‍රැෆික් නිර්මාණය කරන කඩදාසි දක්වා දියුණු වී ඇත.  කඩදාසි කර්මාන්තය යන්න ට අද මුලාරම්භක කඩදාසි මෙන්ම ප්‍රතිචක්‍රීකරණ කඩදාසි ද  ඇතුළත්ය.

නුතන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය පහත සදහන් පියවර මත පදනම්වේ.

1. භාවිතා කඩදාසි මෘදුකාරක දැමු ජලයේ පෙන්වීම.
2.  ඒවා කොටා රත්කර නැවත සෙලියුලෝස් තන්තු ලබා ගැනීම.
3. පෙරහන් තිර මගින් පෙරා ගැනීම. ( ප්ලාස්ටික් ආදිය ඉවත් කිරීමට.)
4. මිශ්‍රණය පිරිසිදු කිරීම.
5. තීන්ත ඉවත් කිරීම.
6. විරංජනය
7. කඩදාසි සෑදීම.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ කඩදාසි නිපදවීම පුද්ගලික ව්‍යවසායකයින් කිහිප දෙනෙකු විසින් හා ඇතැම් නගරසභා මගින් දැනට කරගෙන යනු ලැබේ. නිදසුනක් වශයෙන් කෑගල්ලේ මැක්සිමස් සමාගම දැක්විය හැකිය. ඔවුන් කඩදාසි නිපදවීම සඳහා භාවිත කල කඩදාසි සහ අලින්ගේ වසුරු යොදා ගැනීම විශේෂත්වයකි.

2002 වර්ෂයේදී පමණ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් වලට අත්කඩදාසි, නිෂ්පාදනය නැවත හඳුන්වා දෙන ලද අතර පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම භාර ආචාර්යවරිය වශයෙන් හා පරිසර නියමු කලාප කොමසාරිස් වරිය වශයෙන් මේ ලියුම්කරු  විසින් එය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. වෙළඳපොළ ඉලක්ක කර නොගත් නමුත් ප්‍රදේශයේ හා ඉන් බැහැර ප්‍රදේශ වල පාසල් වල දරුවන්ටත්, ශ්‍රී ලංකා විද්‍යා ගණිත අධ්‍යාපන සංගමයේ අනුග්‍රහය මත දුරබැහැර ප්‍රදේශවල පාසල් දරුවන්ටත් මේ පිලිබද  ප්‍රයෝගික වැඩමුළු හා ප්‍රදර්ශන පවත්වන ලදී. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු ජනාධිපති පදක්කම් ලාභී මිත්‍ර ශිරාන් ශිෂ්‍යයාගේ අත්කඩදාසි නිර්මාණ ඒවා ව්‍යාප්ත කිරීම පිලිබඳ ව්‍යාපෘතියට 2006 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පරිසර අංශයේ ප්‍රථම ස්ථානය ද හිමිවිය.

මිත්‍ර ශිරාන් ශිෂ්‍යයාගේ ජයග්‍රහණය ගැන  2006 Daily Mirror පුවත් පතේ පළවූ ලිපිය 
































© 2019 Malini Ganewatta All rights reserved. 
මුලාශ්‍ර :
කඩදාසි විත්ති , 1975 දෙසැම්බර් 1  කඩදාසි නිෂ්පාදන තොරතුරු ඇතුලත් පාසල් පුවත්පත ,කඩදාසි පර්යේෂණ හා සංවර්ධන අංශය , මහා විදුහල, උනන්විටිය .
© 2019 Malini Ganewatta All rights reserved. 





2 comments:

  1. කඩදාසි කර්මාන්තය ගැන සහ කලකට පෙර අප රටේ පාසල් සඳහා හඳුන්වාදුන් ප්රාග්වෘත්තිය වැඩ සටහන පිළිබඳවත් ඉතා අගනා විස්තරයක් කර තිබෙන්නේ. මේ විෂයය නිසා සිසුන්ට යම්කිසි ව්‍යාපෘතියක් සාර්ථකව කරගෙන යාම සඳහා හොඳ අවබෝධයක් ලැබුනා. පසුව මෙය අතහැර දැම්මේ කුමක් නිසාදැයි නොදනිමි.
    කඩදාසි පිරිමසා ගැනීම සඳහා Minus one යනුවෙන් ක්‍රමවේදයක් තිබෙනවා. විශේෂයෙන්ම පරිගණක පිටපත් ගැනීමේදී Font size එක එකකින් අඩුකිරීම මෙයයි. මා මේ ගැන කලකට පෙර බ්ලොග් සටහනක්ද තබා ඇති.

    ReplyDelete
  2. ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන. මා මේ ලිපිය සංස්කෘති සඟරාවේ ඉල්ලීමක් අනුව, මුලාශ්‍ර සොයාගෙන තරමක් මහන්සිවී ලිව්වා. ඔවුන් විසින් එය පළ කළේ නැහැ. සංස්කෘති සංගමයේ නිර්මාතෘ පසු ගිය වසරක මිය ගියා. එයින් පසු එහි වැඩ කටයුතු ඇනහිට ඇති බවයි පෙනෙන්නේ. මගේ ලිපිය අස්ථාන ගත වී ඇති බව එයට සම්බන්ධව සිටි කෙනෙක් කිව්වා. කෙසේ වෙතත් මෘදු පිටපත මා ළඟ තිබී blog එකට දැම්මා. ඔබේ කඩදාසි පිරිමැසීම ගැන blog සටහන සොයා කියවන්නම්.

    ReplyDelete