Sunday, November 3, 2019

ඉම







දවස පුරා ප්‍රතාපවත්ව ලෝවැසි ජීවීන්ට තම සුවිසල් මෙහෙය ඉටු කළ හිරු ඈත ක්ෂිතිජයෙන් තම විවේකය පතා නොව, ලෝකයේ අනික් පැත්තට සේවය ලබා දෙනු වස් ගමන් කිරීමට ආසන්නව, මළානික තඹ පැහැය සැම දෙසටම විහිදුවමින් සෙමින් සෙමින් ඇදී යනු පෙනිණ. හෝ හෝ හඬ නගමින් අනවරතව සුදෝ සුදු පෙණ කැටි විසුරුවමින් මුහුදු රළ නැගී විත් වෙරළේ හැපී බිඳෙයි. නැවතුමක් නැත. පෙණ කැටි වල සුදු පැහැයට හිරුගේ රැස්වල තඹ පැහැය තැවරී රන් මෙන් බැබලෙයි. බලා සිටීමෙන් සිතට ඇති වීමක් නැති දසුනකි. මේ වගේ බලා සිටීම එපා වීමක් නැති අනිකුත් දේවල් මොනවා දැයි සිතන්නට මගේ සිත වෙහෙසෙයි. අලි පැටවුන්ගේන්ගේ සුරතල් හැසිරීම, දුම්රියේ ගමන එයින් කිහිපයක් බව මතක් වෙයි.

වෙරළේ සෙල්ලම් කරන අනිකුත් දරු දැරියෝත්, දෙමවුපියෝත් අපට බොහෝ ඈතින් සිටිති. ඔවුන් කුඩා මිනිස් රූ ලෙස වැල්ලේ විවිධ ක්‍රීඩාවන් හි නියැලෙනු ඈතින් වුවත් යන්තමින් පෙනෙයි. තවත් තැන් කිහිපයක ගල් පර මත අල්ලාප සල්ලාපයේ යෙදෙන පෙම්වතුන්ය. ඔවුන්ගේ යොවුන් සිත් තුළ දහසකුත් එකක් අනාගතය අරමුණු කරගත් සිහින ඉපදෙමින් ඇතිවාට සැකයක් නැත. යෞවන ප්‍රේමය සුන්දරය. විචිත්‍රවත් ය. ඒ සුන්දරත්වය විඳීමට අකමැත්තෝ කවුරුන් ද ? නොගැඹුරු මුහුදු දියේ ජල ක්‍රීඩා කරමින් ස්නානය කරන පිරිසක් ද තරමක් ඈතින් සිටිති. ලවණ මිශ්‍රිත මුහුදු සුළං ආඝ්‍රහණය කිරීමත් මුහුදු ජලය ස්නානය කිරීමත් ශරීර සෞඛ්‍යට හිතකර ය යනුවෙන් මතයක් දකුණේ ජීවත් වන අප අතර ඇත. මම ගැඹුරු හුස්මක් වුවමනාවෙන්ම උඩට ඇද්දෙමි. අප සිටින තැන කිසිවෙකුත් නැත. මා මේ හුදකලා තැන තෝරා ගත්තේ කරුණු කිහිපයක් මුල් කර ගෙනය.

වෙරළාසන්න ශාක ප්‍රජාවේ වෘක්ෂ කලාපයේ පොල් ගස් පෙළ අපට මදක් පිටුපසින් වෙරළ තීරය දිගේ  එක දිගට විහිද ගොස් තිබෙණු මට දර්ශනය වේ. පොල් අතු සුළඟට එක් දිශාවකටම නැමෙයි. හුදකලා වූ මුහුදු බිං තඹුරු වැල් කිහිපයක් වැල්ල බදාගෙන රැල්ලෙන් ගැලවී නොගොස් රැඳී සිටීමට මහා සටනක් කරයි. ඒවායේ මල් කිහිපයක් ද ඇතත් ඒවායේ වර්ණය මට පෙනෙන්නේ නැත. මේ වෙලාවට ඇසේ කේතු සෛල නොව යෂ්ටි සෛල ක්‍රියාකාරීවන  බව මට මතක් වෙයි. කේතු වර්ණ හඳුනා දෙයි. වර්ණය පෙනීමට නම් හොඳට ආලෝකය තිබිය යුතුය. මා විධිමත් අධ්‍යාපනය ලැබූ විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව පොත පත කියවීමෙන් උගත් ජීව විද්‍යාවට අදාළ කරුණු  මේ වෙලාවේ මතක් වෙන්නේ ඇයි ? විද්‍යාව දියුණු වෙමින් තිබීම කෙතරම් හොඳ දෙයක් ද ? ලෝකයේ කොතැනක හෝ මේ මොහොතේත් විද්‍යාත්මක පර්යේෂණ සිදු වනවා ඇත. දැනට සුව කිරීමට අපහසු රෝග සඳහා ඖෂධ සොයා ගැනීමේ පර්යේෂණ ද ඒ අතර ඇති.  විද්‍යාත්මක සොයාගැනීම් වල යම් අහිතකර පැත්තක් එහි ඇත් නම් ඒ ධනයම ,බලයම අරමුණු කරගත් ලෝකය විසින් ඒවා  නරකට යොදාගැනීම නිසා මිස සොයා ගැනීම් වල නරකක් නිසා නොවන බව මගේ අදහසයි. .

දැරිය නිහඬවම සිප්පි කටු අහුලා ඈ අත ඇති කුඩා බඳුනට එකතු කළාය. ඉන් පසු ගල් තලාවට නැග ඉඳගත් ඇය අහුලාගත් සිප්පි කටු දෙස බලමින් ගල් තලාව මත ඒවා විවිධ ආකාරයේ ගොඩවල් වලට  සකස්  කළා ය. ඇගේ වත දෙස මම ඔහේ බලා සිටියෙමි. මොන තරම් පියකරු ද එය. ඇගේ සියුමැළි සම ඇත් දත් මෙන් සුදු පැහැතිය. මේ වේලේ එය වඩාත් සුදු මැළිව මට පෙනුනි. ඇගේ නෙත් කැල්මේ වෙනදා තිබූ ප්‍රබෝධය වියැකී ගොස් ඇතැයි මට සිතේ. යන්තම් නවවන  වසර ලබා ඇති ඇය තාමත් කිරිදරුවෙකු නොවන්නී  ද? ඇගේ මුහුණට වැටී ඇති කෙස් රොද ඇස ද ආවරණය කරමින් ඇති බව මට පෙනුනි. ඇගේ කෙස් රැළි සහිත නොවේ. ඍජුය. කෙලින්ම ඇස ආවරණය කරයි. 'සුදු මැණිකේ' ඒ අපි කවුරුත් ඈ අමතන නමයි.

 'මෙහේ එන්න සුදු මැණිකේ' මා ඈ ඇමතුවේ හිස කෙස් ඇසට වැටීම නිසා 'ඇස් වපර වෙනවා' යයි අම්මා කියා තිබු බව සිහි වීම නිසාය. ඈ සිනාසෙමින් මා වෙත ආවාය. 'ඇයි මාමේ ?' ඇගේ කටහඬ මෘදුය. මම නිහඬවම ඇගේ කෙස් අතර උඩට වී තිබුණු කොණ්ඩ කටුව ගලවා මුහුණට වැටී තිබුණු කෙස් රොද ද අසු වනසේ නැවත සකස් කළෙමි.

'මාමේ මේ සිප්පි කටු කියන්නේ සත්තුන්ගෙ කෑලි නේද ?' ඇගේ සිතට නැගුණු ගැටලුවක් මා වෙත ඉදිරිපත් කළාය.

'ඔව්, දෙපියන් බෙල්ලන්ගේ කටු '
'කෝ දැන් දෙපියන් බෙල්ලෝ?
'ඒගොල්ලො දැන් මැරිලා ඔය කටු විතරයි.'

'අය්යෝ කොච්චර සත්තු මැරිලද ?' ඇගේ සංවේගී හඬ මගේ සිත තුළද ශෝකයක් තවරයි.

'එහෙම  තමයි සුදු මැණිකේ ...උපදිනවා ,ටික කලක් ජීවත් වෙනවා , ඊට පස්සෙ මැරෙනවා.' මගේ දාර්ශනික පිළිතුර ඇයට ගැඹුරු වැඩි යයි මට සිතුණේ ඒ වදන් මුවින් පිටවූ පසුය.

ඈ කල්පනාවට බර වූවාය. ඇගේ නෙත්වල කියා ගන්න බැරි දුකක් තැවරී ඇතැයි මට සිතුනි.

'අපිත්  එහෙම මැරෙනවා ..නේද මාමා' මගේ පිළිතුර ඔස්සේ ඈ තව දුරටත් සිතා ඇත.
' ඔව් සුදු මැණිකේ...ඒක කාටත් වෙන දෙයක්.'
'මං මැරුණොත් මාමට දුකයි ද?'
'ඇයි පැටියො එහෙම අහන්නෙ ? ඔයා තාම පොඩි ළමයෙක් නේ?' ඇගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට මම ඇයට පැන දෙකක් ඉදිරිපත් කළෙමි.
'දුකයි ද කියන්න'. ඈ නැවත මගේ අතේ එල්ලෙමින් ඇසුවාය.
'මට විතරක් නෙමේ ඔයාගේ අම්මට,තාත්තට නංගිට හැමෝටම දුකයි නේ?'
'අපෝ තාත්තට නම් දුකක් නැති වෙයි ' ඈ ක්ෂණිකව කීවාය.

මේ ප්‍රකාශයට හේතුව කලක පටන්ම ඈ හා ඇගේ පියා අතර ඇතිවී තිබෙන දුරස්ථ භාවයයි.
ඇත්තෙන්ම මේ තරම් සුන්දර දැරියක් ඇගේ පියාට එපා වීම පුදුම සහගතය. ඔහු දැරිය බැලීමට බොහෝ කලකින් පැමිණියේ නැති බව මට සිහිපත්  විය. ඒ මිනිසා දරුවන්ට ආදරේ නොමැත්තේ ඇයි ? ගැහැණු දරුවන් ඉපදීම ගැන ඔහු නොසතුටු වූ බව අම්මා පවසයි. දරුවන් ගැහැණු පිරිමි ලෙස තීරණය වන්නේ සම්භාවිතාව අනුව  බව ඔහුට පහදා දිය හැකි නොවීම මොන තරම් අභාග්‍යයක් ද ? මේ බැරෑරුම් මොහොතේ හෝ ඔහුට තම දියණිය නිකමට හෝ දැක බලා ගන්න ඕනෑ කමක් ඇති නොවීම මා සිතේ කෝපයක් ඇති කරයි.

'නෑ  සුදු මැණිකේ තාත්ත ලඟදි ඔයා බලන්න එයි. තාත්තට බිස්නස් වැඩ වැඩි වෙලා ඇති.' මා පිළිතුරක් ගොනු කලෙමි.

දැරිය නැවත මගෙන් මිදී ගොස් සිප්පි කටු අතරට එක් වුවාය. දරුවන් එහෙමය. වැඩිහිටි අප මෙන් වැඩි වෙලාවක් එකම අරමුණක එල්බ ගෙන සිටින්නේ නැත. ගිලී ගිය හිරුගේ රන්වන් කිරණ විසිරීමෙන්  මුළු බටහිර අහස් තලයම තැඹිලි පැහැයෙන් නැහැවී ඇත. ඒ එළිය මුහුදු දිය ද වර්ණයෙන් පින්තාරු කරයි. ඒ පින්තුරය පැහැදිළි එකක් නොවේ. ජලය චංචල වීමත් සමග සිතුවමේ ස්වරූපය වෙනස් වෙයි. හරියට මගේ හිත වගේ යයි මට සිතේ.

තව ටික වෙලාවකින් දැරියත් රැගෙන මා නිවස බලා පියමං කළ යුතුය. දැරිය පිලිබඳ සිතේ ඇතිවන ශෝකය ඇයට නොපෙනෙන්නට කඳුළු වලට හරවමි. මා ඇගේ මාමා ය. ඈ  මගේ එකම සොයුරියගේ දියණියයි. ඇගේ පියාත් ඈත් අතර ඇති ඉමහත් දුරස්ථ භාවය හේතුවෙන් ඇය හැදී වැඩෙන්නේ මගේ අම්මා හා තාත්තා එනම් ඇගේ මව් පස ආත්තම්මා හා සීයාගේ ආදරය හා රැකවරණය මැදය. අප යන ගමන බිමනට ඇයද සහබාගි වන්නීය. ඒ නිසා දුම්රිය ගමන්, බස් රථ, මෝටර් රථවල ගමන් යාමෙන් සතුටු වන්නට ඈ වාසනාව ලද්දීය. තවම යන්නට බැරි වුයේ ගුවන් ගමනක් පමණි. පසු කලෙක ඒ අවස්ථාවද ඇයට උදා කර දිය යුතු යයි මට සිතේ. ඈ ඉගෙනීමටත් දක්ෂ තාවය පෙන්වන්නීය. ඒ නිසා ඇගේ අනාගතය ශක්තිමත් කර දීම මගේත් වගකීමක් ලෙස සලකමි. අද මෙන් පොත් පත් නිළ ඇඳුම් නොමිලේ පාසල් සිසුන්ට ලබා නොදුන් ඒ අතීතයේ වසර අවසාන නිවාඩුව එළඹෙන විට ඊළඟ වසරට අවශ්‍ය පොත්පත් ලැයිස්තුව ශිෂ්‍යයන්ට ලබා දේ. එකල අද මෙන් දෙමාපිය රැස්වීම් කියා දෙයකුත් නැත. පොත් පත් ලැයිස්තුව මා අතට පත්කරන තෙක් සුදු මැණිකේට ඉවසුමක් නැත. මාද නොපමාවම අලුත් සුවඳ හමන පෙළ පොත් ඈ වෙනුවෙන් මිළදී ගනිමි. ඒවා සියල්ල පාසල ආරම්භ කරන දිනය වන විට ඈ විසින් කියවා අවසන් ය. ඇගේ ඉගෙනුමට ඇති ලැදියාව එබඳුය.

' මාමේ දැන් හීතලයි නේද ?' දැරිය මා අඬ ගැසීමටත් පෙරම මා අසලට ආවාය .
'ඔව් සුදු මැණිකේ,දැන් සීතල සුළං එනවා. ඉරත් බැස්ස නේ ?' මා ඇය තුරුල් කර ගතිමි.
'ඔයාට හීතලේ ඉන්න හොඳත් නැහැ' . මම තව දුරටත් කරුණු එකතු කලෙමි.

'මාමේ මං හෙට ආයිත් යන්න ඕන නේද ?' ඇගේ බිඳුණු කටහඬ මගේ උගුරේ බෝලයක් වැන්නක් හිරකලෙන් මට කතා කිරීම අපහසු විය. මම කෙළ බිඳක් ගිල අපහසු තාවයෙන් මිදීමට වෑයම් කළෙමි. එහෙත් උගුරේ ගුලිය ඉවත් වන්නේ නැත. ඈ මේ අසන්නේ හෙට නැවතත් ඇයට රෝහල් ගත වීමට නියමිත  බව ගැනයි.

ගැමියන් 'නෝනා වාට්ටුව ' ලෙස හඳුන්වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස දෙකකට වැඩි කලක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ  ඈ මෙසේ නිවසට තාවකාලිකව එවන ලද්දේ  සතියකටය. ඇය සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ දෙකක ප්‍රතිඵල ලැබෙන තුරුය. ඇගේ අසනීපය  'Acute Myeloblastic Leukaemia?'යනුවෙන් රෝහල් කාඩ් පතේ සටහන් ව ඇත. තව පරීක්ෂණ කිහිපයකින් පසු රෝගයේ නම ඉදිරියෙන් ඇති ප්‍රශ්නාර්ථ ලකුණ ඉවත් වීමට වැඩි ප්‍රතිශතයක සම්භාවිතාවක්  ඇති  බව වෛද්‍ය මතයයි. සතියකට පෙර ඇය කොළඹ සිට දකුණු ප්‍රදේශයේ වූ අප නිවසට එදා කැඳවා ගෙන ආවේ ද  මා විසිනි. දුම්රියේ පැමිණ රෑ අටට පමණ රිච්මන්ඩ් කන්ද ස්ටේෂමෙන් බැස කුලී රථ නොවූයෙන් ඈ කර පින්නා ගෙනම ජූල් ගස් හන්දියට පැමිණියෙමි. ඇගේ බර ඒ වනවිට ඉතාමත් පහළ බැස තිබුණෙන් මට දැනුණේ  අවුරුදු පහක පමණ දැරියකගේ බරක් පමණි.  එතැනින් කුළී රථයක් රැගෙන නිවෙස බලා පැමිණියෙමි. අතින් ඇල්ලුවත් තැලී පොඩිවී යතැයි සිතෙන මල් පෙත්තක් තරමට බියක් ඇතිව මේ සතිය තුළ අපි ඇය රැක බලා ගත්තෙමු.

 මා මේ කියන කතාව වෛද්‍යවිද්‍යාව අද තරම් දියුණු කාලයක කතාවක් නොවන බව මෙය කියවන්නෙකුට දැනටමත් අවබෝධ වී ඇතිවාට සැකයක් නැත. ළමා  රෝහලේ ඇගේ ඇඳට ආසන්න ඇඳන් දෙකේ සිටි රෝගී දරුවන් දෙදෙනා මේ වන විට ජීවතුන් හැර ගොස් ටිකක් කල් බව ද මට ක්ෂණිකව මතක් විය. වයස අවුරුදු තුන හතර තරම් වයස් වල සිටි ඒ කිරිදරුවන්ගේ මොළකැටි සුදුමැළි මුහුණු මා සිතේ ඇඳී යයි. ඔවුන්ගේ දෙමාපියන්ගේ සෝබර වික්ෂිප්ත බැල්මෙන් යුත් මුහුණු ඒ පසුපස ඇදී එයි. කිරිකැටි දරුවෙකුගේ  දුක්බර අවසානය දකින්නට ලැබීම දෙමාපියන්ට  ජීවිතයේ අත්දැකීමට ලැබෙන අවාසනාවන්තම අත්දැකීම විය යුතුය.

ගුලිය තවම උගුරේය. ඒ සමග ඇතිවන තදබල වේදනාව මුළු හිස පුරාම කැරකී ගොස්  කඳුළු වශයෙන් ඇසට එකතු වෙයි. අඳුර නිසා ඇයට පැහැදිළිව නොපෙනෙන බැවින්  මගේ කඳුළුවලට තව තවත් ඇස තුළ තෙරපී දුක් විඳීමට සිදු වුයේ නැත. මම සාක්කුවෙන් ලේන්සුව ඇද ක්ෂණිකව කඳුළු පිස දා ගතිමි. මගේ මිතුරියගේ නිවසට ගොස් මම  පෙර දා සුදු මැණිකේ වෙනුවෙන් ඇති තරම් හඬා වැළපුනෙමි. ඒත් කඳුළු ඉවර වී නැත. 'අම්මා නැති දා මාමාට කිරි එරේ '  යයි  අම්මා කියූ කියමන සත්‍යයක් විය යුතුය. මේ ලේ නෑ කමට ඉමක් නැත. එය ඉමක් කොණක් නැති විශ්වය බඳුය

'යං පැටියො අපි ගෙදර' මම සුලැගිල්ලේ එල්ලී සිටි දැරියට බොහෝ අපහසුවෙන් කීවෙමි. මා තේරුම් ගත්තාක් මෙන් දැරිය නැවත දොඩමළු වුයේ නැත.

Photo by Jake Roxen on Unsplash   © 2019 Malini Ganewatta All rights reserved. 

4 comments:

  1. දශක කිහිපයකට ඉහතදී සිදුවූ සිද්ධියක් බව පෙනෙනවා. ඔබගේම අත් දැකීමක්ද ? ඉතාමත් සංවේදී කතා පුවතක්.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔබට. මේ කතාවේ අත්දැකීම් ද යම් තාක් දුරට තිබෙනවා. බොහෝ කාලෙකට පස්සෙ ලියපු කෙටි කතාවක්.

    ReplyDelete
  3. Beautifully written story amma. Touched the core of my heart.

    ReplyDelete
  4. Doni,Thank you very much for your comment, which inspired me to write more....

    ReplyDelete