Sunday, October 27, 2019

Bokul


Bokul


වසර මුලදී මං හිතන්නේ මාර්තු මාසෙ දිනක  කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේ චිත්‍රපට දෙකක් බැලුව. කෙටි චිත්‍රපටයක් හා වෘත්තාන්ත චිත්‍රපටියක් බැලුව. එයින් කෙටි චිත්‍රපටිය ජීවිතයේ පසුකාලයක අමතක වීමේ රෝගයට ගොදුරුවූ කාන්තාවකගේ. එය ශෝකය දනවන චිත්‍රපටියක්. මා මෙහි අදහස් දක්වන්නේ  වෘත්තාන්ත චිත්‍රපටිය බෝකුල් ගැන. එයින් කියවෙන්නේ ඇසෑමයේ කතාවක් වුවත් අපේ රටේ තත්වයට බොහෝ දුරට සමානත්වයක්  එයින් පිළිබිඹු වෙනවා.

සමාජ ආර්ථික හා දේශපාලනික තත්වයන් ස්පර්ශ කරමින් ඇසැමයේ සමාජය පිලිබඳ විචිත්‍රවත් කෙරෙන චිත්‍රපටයක් ලෙස බෝකුල් හඳුන්වන්න පුළුවන්. රීමා බෝරා විසින් අධ්‍යක්ෂණය කරන ලද බෝකුල් MAMI, Mumbai film festival එකේ ‘India Story’ කොටස විසින් තෝරා ගෙන තිබෙනවා.

කතාවේ රට්කිම් කියල වයස අවුරුදු 30ක තරුණයෙක් තම සොයුරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට, වසර ගණනාවකට පස්සේ තම උපන් ගම වන බ්‍රහ්මපුත්‍ර නිම්නයට එනවා. ඔහුට ඔහුගේ නගරයේ පාරම්පරිකව තිබුණු තත්වයන්වල වටිනාකම් වල සිදුවී ඇති වෙනස් වීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඔහු දැන හඳුනාගෙන සිටි අය පවා වෙනස් වෙලා.

ඔහුගේ පැරණි සංගීත ගුරුවරයා ඒ වනවිට කොහි සිටීදැයි නොදත් නිසා  ඔහු ඒ ගුරුවරයා සොයා  ස්කූටරයේ නැගී නගරය වටා සැරිසරද්දී සුවිශේෂී චරිත තුනක කතන්දර දැන ගැනීමට ලැබෙනවා. තරුණ රික්ෂෝ කාරයා,දුවෙක් සමග තනිවී සිටින තරුණවිය ගෙවීයමින් සිටින ස්ත්‍රියක්,තම පුත්‍රයා නැතිවූ සොවින් තැවෙන මහලු ධීවරයෙක් යන තුන්දෙනා තමයි ඒ. ඒ තුන්දෙනාගේම නම අහම්බෙන් වෙන වෙනම 'බොකුල්'.

කලින් නගර වැසියෙක් වුවත් අද වසර ගණනාවකට පසු පිටස්තරයෙක් වන රට්කිම්ට  සමාජ යථාර්ථයේ වෙනස් වීම, මිනිස් වටිනාකම් විතැන් වීම ඔවුන් තම කතන්දර තුළින් ඉදිරිපත් කරනවා. තරුණ ස්ත්‍රී බොකුල් තම ජීවිතය ගෙන යාමට කඩයක් කරනවා. එහිදී ඇයට මුහුණ දීමට සිදුවෙන කරදර,ගැහැට ,අවලාද සියල්ල අපේ සමාජයේ තනිවූ ස්ත්‍රියක් මුහණ දෙන ආකාරයේ ඒවාමයි. ඔබ දන්නවා එවැනි තත්වයක් යටතේ ස්ත්‍රියකට තනිව පැවැත්මේ අසීරු කම. තරුණ රික්ෂෝ බොකුල් මුහුණ දෙන්නේ පොදුවේ අපේ වගේ රටවල තරුණ පරපුර අත්විඳින ඛේදවාචකය.

භාෂාව නොදැන වුවද තේරුම් ගත හැකි පරිදි මනා ලෙස හසුරුවන තිර රචනයක් ඔස්සේ දිගහැරෙන චිත්‍රපටියේ රගපෑම් ද ඉතා විශිෂ්ඨ මට්ටමේ තිබෙනවා. කැමරාව සන්දීප් පටිල් ගේ. රට්කිම් ලෙස උදයන් දුවාරා  ද , බෝකුල් නම් කාන්තාව ලෙස උර්මිලා මහන්තා ද  , රික්ෂෝ බෝකුල් ලෙස කෞශික් ශර්මා ද  ,ධීවර බෝකුල් ලෙස නිරාබ් දාස් ද අනර්ඝ රඟ පෑමක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ සුවිශේෂී චිත්‍රපටිය නරඹන්න කියා මා ඔබට ආරාධනා කරනවා.

2 comments:

  1. හොඳ චිත්‍රපටියක් වගෙයි. U Tube එකේ තියෙනවානම් බලන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. Thank you for your comment. Sir,I found only the trailer on You tube. https://www.youtube.com/watch?v=rhkZwCU_Itw

      Delete