Saturday, October 19, 2019

මගුල් විසිතුරු වැනුම




තාලයට මහහඬින් හඬ නැගෙන අෂ්ටකය
ටිෂූ කඩදහි එකින් එක පෙඟෙන කඳුළැලිය
කෝල ලෙස විළිබරව යුවළ පෝරුව මතය
බිඳී ඒ සැනින්  වීසි වී යන පොල්ගෙඩිය

සැරසිලිය හැමතැනම නෙක වර්ණ විසිතුරුය
අත වළලු ගෙලේ  බැඳී තැලී මාල දිලිසේය
හිසේ සැරසිල්ල බිම වැටෙන්නට ළඟ වගෙය
ළඳුන්ගේ වත ටිකක් ඒ නිසා විමසිලිය

මේසයෙන් මේසයට රවුම් වල පිරිසමය
සිනාසෙන උන් මුහුණු  ඇති තරම් පින් බරය
ඒ වුණත් මේ බිමේ කතා නම් අසීරුය
සංගීතයය විසුල කන් අඩිය පලා ගිය

ටාං ටිං වීදුරු ද  බෝතල් ද දෙන  හඬය 
බඩ මහත තඩි පිරිමි තෙරපෙමින් එහි ගොඩය 
කතා බස් ටිකෙන් ටික වැඩි වේවි එන හැඩය  
කෑම ගන්නට වගක් සිතක් වත් නැති වගය 

කුසගින්න බුර බුරා ටිකින් ටික නැග ඒය 
බුෆේ පෝලිමේ දිග සැතපුමකටත් වැඩිය  
බෙදාගත් කෑම ටික අරන් මෙහි  එන විදිය 
විසාලම සටනකිය පටලගෙන යාර හය

මත් වෙවී හිටිය උන් ඉදිරියට පැමිණේය
යුවල දැන් උන් අතින් අහසටම විසිවේය
ඊළඟට පොකුණු වල ගැඹුරටම කිමිදේය
නිදිමරන් සරසවපු සායම් ද දියවේය

සංගීතෙ වෙනස් වී බයිලයට පෙරළේය
නැටුමක්ලු බෙරේ නම් පලුවකුත් නැතිවේය
ටිකින් ටික කාලයත් අවරටම බර වේය
නව යුවල පිටත්වන නැකත දැන් එළඹේය

මාස ගණනක වෙහෙස දැන් ඉතින් අහවරය 
මාස ගණනකි තවත් ඉදිරියට  ගෙවන ණය
දිස්නෙ දුන් සබන් බුබුලක් බිඳී යන  වගය
නූතනේ මගුල් විසිතුරු වැනුම මේ ලෙසය 

Photo by Orlova Maria on Unsplash © 2019 Malini Ganewatta All rights reserved. 

2 comments:

  1. පිටත්වන යුවල වෙත සුබ පැතුම් අගනේය
    රතිඥ්ඥා කරලකුත් පුපුරන්ට සැරසේය
    ටින් ගොඩක් වාහනේ පසු පැත්තේ එල්ලේය
    'ටක ටකස්, ටන් ටාන්' නව යුවල් ඉගිලේය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ...ලස්සන කවියකුත් ලියලා එව්වාට

      Delete