Friday, November 29, 2019

ඇවිත් යන්න එන්න




හිම ඉඳිකටු ගත ඇනෙන
මේ සීතල ශිශිර ඍතුවේ
ඔබේ හිරිවැටුණු දෙපා
සතපන්න මෙහි එන්න

හදවත ද හිම වගේ
ගල්ගැසෙන රාත්‍රියේ
ඔබ ගයන  දුක් ගීතයේ
සිහින් හඬ මට ඇසේ

මේ කුටිය තාමත් උණුසුම්ය
දැන් ඔබේ මතකයෙන් ගිලිහී
ඈතින් ඈතටම ගිහින් ඇති
එදා විඳි ඒ උණුසුම් සුසුම්

සෙනෙහසේ ගින්දරෙන්
ඇවිල ගිය ගිනිදැල්ල
නොනැවති දැල්වෙන එළිය
ඔබට මග කියාවි කවුළු දොරෙන්

හිරු පායා එන ඇසිල්ලේ
හිනැහෙන සමන් පිච්ච මල්
ඔබ අතින් සිටවූ මල් වැලේ
අඩු නැතිව පිපෙනවා  අදටත්

එන්න ඔබ ඇවිත් යන්න එන්න
විඳින්න මේ මල් සුවඳ විඳින්න
තනිවූ පැල්පතේ හිඳ මා
මග බලන් ඉන්නවා  තාමත්

Photo by Vidar Nordli-Mathisen on Unsplash

2 comments:

  1. දේශගුණ විපරීත නොදක්නා
    දේශයක සිට කරන
    සුහද ඇරයුමක් වන
    සෙනෙහසක් වගෙයි මෙය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට .....එවැන්නක් තමයි මෙය

      නමුත්...

      දෙස් ගුණ විපරීත
      විසිර යයි දස දෙසම
      ලෝකය එකම යායකි
      කෙලෙස නම් හිනැහෙමුද?

      Delete