චාරිකා සටහන් - Shimla - Manali 01
ජීවිතයේ හයවෙනි දශකයත් ගෙවිලා ගිහින් අවුරුදු කීපයක් වුණා. දැන් ඉතින් ආසා කරන දේවල් කියල තියෙන්නේ කීපයයි. ඒ තමයි දරුවන් හොඳින් ඉන්නවා දැකීම,මුනුපුරු මිනිපිරියන් ගේ සුරතල් දැකීම හා සංචාරය. ද්‍රව්‍ය වලට ඇළුම් කිරීම හුගක්ම අඩුවී ගිහින්. ඒත් ගහකොළ,සතා සීපාවා, පරිසරය වගේ දේවල් වලට ඇල්ම,අඩුවී නැහැ. නමුත් හිමිකර ගැනීමේ අභිලාෂයක් නැහැ. මුදල් තියෙනවා නම් සංචාරය පිලිබඳ සිහින ඉටු කර ගන්න ලේසියි.
පසු ගියදා ඒ කියන්නේ ජනවාරි 16වෙනිදා ඉඳලා 23වෙනිදා වෙනකම් උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තයේ චාරිකාවක් ගියා.ඇත්තෙන්ම මේ චාරිකාව යන්න සැලසුම් කලේ 2015 වර්ෂයේ ඉදන්. නමුත් එක්සත් ජනපදයේ වැඩිපුර කාලයක් ගත කල නිසා එය පමා වුනා.
ගිය අවුරුද්දේ ඉදන් මමයි මගේ මිතුරිය සුමනයි විවිධ සංචාරක සමාගම් සමග මේ ගැන කතා කළත් සැහෙන තරම් පිරිසක් එකතු කර ගන්න ඔවුන් අසමත් වුණා. අවසානයේ නුගේගොඩ ධනංජය සංචාරක සමාගම සමග විසි දෙනෙකුගේ කණ්ඩායමක් මේ ගමන යන්න එකතු වුණා.
ඉතින් මාසයක් විතර තිස්සේ ගමනට ලෑස්ති වුණා. මේ එම ප්‍රදේශයට ශීත ඍතුව. අපි යන්න සුදානම් වුනේ හිමාලයේ හිම අත්දැකීම විදින්න. ඒකට අවශ්‍ය ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් සුදානම් කර ගත්ත. මම මගේ වුල් තොප්පි, ගෙල ආවරණ, මෆ්ලර් ආදිය ගොතා ගත්ත. පාසල් කාලයෙන් පස්සේ ඒ ගෙතීම සුන්දර අත්දැකීමක්. ශීත කබා දුව මට එවල තිබුණ. අත් මේස්, කකුල් වලට ඝන මේස්, සපත්තු ආදී දේවල් කීපයක් පිට කොටුවෙන් මිලදී ගත්තා. අන්තිම සතියේ වීසා අවශ්‍යතා ඉටු කර ගත්ත. සාමාන්‍යයෙන් ගන්නා ඖෂධ හැරුණ විට හදිසියේ ඇතිවිය හැකි අසාත්මිකතා,සෙම් අමාරු, උදරාබාධ, තුවාල ආදිය සඳහා අවශ්‍ය ඖෂධත් ද්‍රව්‍යත් සුදානම් කර ගත්ත. සංචාරක රක්ෂණයකුත් ගත්තා,අපි වයසක උදවිය නිසා.
දැන් ගමනට සේරම සුදානම්. ඉතින් මේ යන්නේ කොහෙද කියන එක හරියට අවබෝධ කරගන්න ඕන. ඉස්සර නම් සිතියමක් විතරයි මේ සඳහා උදව් වෙන්නේ. දැන් එහෙමද ? අන්තර් ජාලයේ පීරුවහම හැම දේම දැන ගන්න පුළුවන්. ඉතින් මං ඔබටත් කියන්නම් මුලින්ම මේ සංචාරයේ මුලික කරුණු.
ඉන්දියාව විශාල රටක් කියලා ඔබ දන්නවා. අපේ වයස වනවිට බොහෝ දෙනෙක් දඹදිව සංචාරය කරලා තියෙනවා. සමහරු තිරුපති ගිහින් තියෙනවා. නමුත් උතුරු ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්‍රිත සුන්දරත්වය අපි දැකල තියෙන්නේ හින්දි චිත්‍රපට වල විතරයි.
හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තය ඔබට සිතියමේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට පහලින් නිල් පාටට දකින්න පුළුවන්.ඒ ආශ්‍රිතව ඇති අනිකුත් ප්‍රාන්ත හැටියට පන්ජාබ්,හරියානා,උත්තාරන්චල්, උත්තරප්‍රදේශ් ආදිය ඔබට පෙනෙනවා ඇති.
අපේ සංචාරය ආරම්භ වුණේ 2019 ජනවාරි 16 වෙනිදා කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටු පොලෙන්. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය එදා හවස 2.00 ට අපත් රැගෙන දිල්ලිය බලා පියාසර කිරීම ආරම්භ කළා. හවස 5.30 වන විට අපි දිල්ලියේ ඉන්දීරා ගාන්ධි ගුවන් තොටුපොළෙන් ඉන්දීය බිම ස්පර්ශ කළා. එතැන් සිට අවශ්‍ය කටයුතු සම්පුර්ණ වුවාට පසු බස් රථයකින් අපි නවතින හෝටලය වෙත ගමන් කිරීම ඇරඹුවා. අධික වාහන තද බදය ගත සිත දෙකම විඩාවට පත්කළා. ඒ මාර්ග වල ඉඳිකිරීම් කටයුතු කෙරෙමින් තිබීම එයට හේතු වුණා. කෙසේ හෝ රාත්‍රී 8.30 පමණ වන විට අපි අපේ නවාතැන වන Hotel Metro Heights වෙත ලඟා වුණා. ඒ වනවිට තිබුණ වෙහෙස නිසා රාත්‍රී ආහාරයෙන් පසු මාත් සුමනාත් නින්දට වැටුණා. ගමන් සගයින් හඳුනා ගැනීමත් හරියට කරගන්න බැරි වුණා. එත් ඒ හැම දෙනාම වාගේ සංචාරයට ලැදි සුන්දර මිනිසුන් බව ඒ වන විට වැටහෙමින් තිබුණා. සමහරු විසා ගන්න ගිය අවස්ථාවේත්, ගුවන් තොටු පොලේදීත් ඒ වන විටත් හඳුනාගෙන සිටි අය.
පසුදා සිට විස්තර පසුවට .... (ඡායා රූප අන්තර් ජාලයෙනි )
No comments:
Post a Comment