Monday, January 29, 2024

Sautéed Mushrooms බිම්මල් තෙල් දාලා උයමු

 Sautéed Mushrooms බිම්මල් තෙල් දාලා උයමු


















බිම්මල් දකින්න වගේම කන්නත් අපි ආසයි. පරිසරයේ ලස්සන බිම්මල් තිබුණට ඒවා හිතු මනාපේ ආහාරයට ගන්න බෑ. මොකද විෂ සහිත ඒවා තියෙනවනේ. පාරම්පරික දැනුම අනුව තමයි අපි ඒ ඒ පරිසරවල ඇති බිම්මල් ආහාරයට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ.
ඊට අමතරව අපට වෙළඳපොලෙන් බිම්මල් මිළදී ගන්න පුළුවන්. මහා පරිමාණ බිම්මල් වගාකරුවන් ඇරුණම සමහර අය සුළු ව්යාපාරයක් වශයෙනුත් බිම්මල් වවනවා. වගා කරන බිම්මල් වර්ග ගොඩක් තියෙනවා. Oyster, Pleurotus, Shitake, Button mushrooms එයින් කීපයක්.
ඇත්තටම මොනවද මේ බිම්මල් කියන්නේ? පුස් නැත්නම් දිලීර ජාතියක්. පුස් කිවුවම අප්රියයි නේද? ඇඳුම් හා කෑම පුස්කන එක එපාවෙන දෙයක් නේ. ඒත් දිලීර වලට මං නම් ආදරෙයි. ආදරය කරන කොට ටිකක් කරදර විඳින්නත් ඕන නේ.
දිලීර වෙනමම අපූරු ජීව කොට්ඨාශයක්. කවදාවත් තමන්ගේ ආහාර තමන්ට හදාගන්න බැරි අපි වගේම ශාක මත ආහාරය සඳහා යැපෙන විෂමපෝෂී ජීවී කොටසක්. හැබැයි අපි නැතුව වුණත් පරිසරය පවතිනවා වුණාට දිලීර නැතුව නම් පරිසරය පවතින්නේ නෑ. ඒ කියන්නේ අපට වඩා දිලීර වටිනා දෙයක්. මේ ලෝකයේ තියෙන ජීවී දේ මැරුණම පසට එකතුවුණාට පස්සේ දිරා යනවා ඔයාල දන්නවනේ. ඒ දිරීම වුණහම තමයි ජීව කොටස් වල තියෙන සංකීර්ණ දේවල් සරල බවට පත්වෙලා ආයේ ගස්වලට උරාගන්න පුළුවන් විදියට පෝර හැදෙන්නෙ. එහෙම නොවුණොත් ගස්වලට හැදෙන්න බෑ. මොකද පරිසරයෙ තියෙන්නේ සීමිත ද්රව්ය ප්රමාණයක්. මේ දිරීම කරන්නේ දිලීර හා බැක්ටීරියා වර්ග. ඔයාගෙ මිදුලෙ එකතුවුණු දිරාපත් කොළ රොඩු කාලයක් ගියාට පස්සේ නොපෙනී යන්නේ මෙන්න මේ දිරීම නිසා. අපි මැරිලා පසට එකතුවුණාට පස්සේ කාලයකදි එතන දෙයක් දකින්න ඉතුරු වෙන්නේ නෑ. අන්න එතකොට අලුත් අයට ඉන්න මහ පොළවේ ඉඩ ඉතුරු වෙනවා.
මං අද උයන්න ගත්තේ White button Mushrooms.
මෙන්න මේ දේවල් තමයි මට ඕන වුණෙ
1. Mushrooms ටිකක් (පැක් එකක් විතර)
2. Red bell pepper ලොකු එකකින් බාගයක්
3. ලුනු කොළ මිටක්
තේ හැඳි එක බැගින්
4. ලුණු
5. අමු තුනපහ
තේ හැඳි භාගය බැගින්
6. කහ කුඩු
7. ගම්මිරිස් කුඩු
8. මිරිස් කෑලි
9. සුදු ලුනු කුඩු
(සුදු ලූනු බික් දෙකක් තලලා ගන්නත් පුළුවන්)
10. කුරුඳු කුඩු තේ හැඳි කාලක්
11. ඔලිව් තෙල් මේස හැඳි 2
බිම්මල් අසුරණයෙන් අරන් සෝදලා හතරට කපන්න. ලූනු කොළ හා පෙපර් සෝදලා කුඩාවට කපා ගන්න. බඳුනක් ළිප තියලා මද ගින්නේ රත් කරන්න. ඒකට ඔලිව් තෙල් ටික දාන්න. රත් වුණහම බිම්මල් ටික ඒකට දාලා මිශ්ර කරලා බඳුන වහලා මිනිත්තු 3ක් sautae කරන්න.
ලූනු කොළ හා පෙපර් බිම්මල් වලට එකතු කරන්න. සේරම ස්පයිස් ද එකතු කරන්න. හොඳින් මිශ්ර කර වහලා තව මිනිත්තු 3ක් තියන්න. බඳුන අරින්න. ළිප නිවන්න.
දැන් sautéed බිම්මල් රෙඩී.

2 comments:

  1. මම ඉස්සර බිම්මල් කන්න වැඩි කැමැත්තක් තිබ්බේ නෑ.... මේ ලගදි දවසක අපේ නෝනා ඔය බිම්මල් කෝන් කුඩු වල දවටලා බැදලා දුන්නා...මම චිකන් කියලා හිතාගෙන කෑවා කියන්නකෝ...

    ReplyDelete