Wednesday, March 13, 2019

බැඳුම්

බැඳුම්



            බැඳුම් ඇත අප අතර මනරම්
            ලිහුම් ගැන සිතන්නත් බැරි තරම්
            අම්මෙකුයි දුවෙකුයි අතර තරම්
            බැඳීමක් නැතුව ඇති මෙලොව නම්...

            ලෝකයේ දෙකෙලවරට වී ඉඳන්
            එකම ඉර හඳ තරු දෙස බලන්
            සිටිනමුත්  දුරස් වී මේ තරම්
            ඇසෙනවා වගේ හඬ කණ ලඟින්

            තිරයෙන් මුහුණට මුහුණ බලන්
            කතා කෙරුවත් ඔහේ  ඇති තරම්
            ළඟ ඉඳන් රණ්ඩු කර හැටි තරම්
            රසයක් දැනෙන් නෑ වගේ මට නම්

         



            අද දෝණි කතා කළා දැයි අසමින්
            තාත්තත් නුඹ ගැන හරි විපරමින්
            දරු තිදෙන හදපු හැටි ආදරෙන්
            සිහි වෙනව ඇති තාත්තටත් දැන්

          මෙබිම හිස් බිමක් වේ යයි මෙතරම්
          සිතුවේ නෑ නුඹ පිටව ගිය දිනේ නම්
          වසර ගණනක්  දෙමින් හද රිදුම්
          හැම තැනම දැනේ ඒ සුවඳ නම්

          කාලයේ විහඟුන්ට  නැත වෙහෙසුම්
          පියාඹයි නොසොයාම මග ලැගුම්
          තැබුවත්  දිනෙක මේමගේ තිත නැවතුම්
          සිතෙයි මට එදින වත් නොබිඳේවී මෙබැඳුම්


2 comments:

  1. ගෙවී ගිය අතීතය පිරි ඇති සෙනෙහසින්
    වියැකීමෙ පොදු දහම යළි මෙනෙහි කරමින්
    හදවතට කතාකර ළය සුසුම් හරිමින්
    සැනසෙන්න සැම බැඳුම් හැරදමා තම සිතින්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ කොමෙන්ටුවට.
      සිතුවත් කොතෙකුත් සිතුම්.
      නොබිඳුනත් මේ බැඳුම්...
      තිබෙන්නේ වෙනස් වීම පමණක් නම්
      නොතිබේවි කිසිත් ඉතුරුම් .....

      Delete