Sunday, November 25, 2018

Time of Death 1



Time of Death 1

මරණයක් සිදුවූ ඇතැම් විට එය ස්වාභාවික අනතුරකින් වෙන්නත් පුළුවන්,මිනි මැරුමක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවට විශේෂයෙන්ම අපරාධ වෛද්‍ය විද්‍යාවේ මොන වගේ සාක්ෂි ද විමසා බලන්නේ කියල අද අපි බලමු.

මරණය සිදුවූ වෙලාවත් මළසිරුර සොයා ගන්නා වෙලාවත් අතර කාලයට කියනවා පශ්චාත්මරණ විරාමය (Postmortem Interval - PMI ) කියලා. මරණය සිදුවූ වෙලාව මෙන්ම පශ්චාත් මරණ විරාමයත් 100% ක් නිවැරදිව සොයන්න බැහැ. විශේෂයෙන්ම සිරුර හමුවන විට එය වියෝජනයේ උපරිම අවස්ථාවේ තිබීම හෝ එය සොයා ගන්නා විට ගින්නට,වතුරට හෝ හිම පතනයකට හසු වෙලා තිබුනොත් එය බොහෝ අපහසු වෙනවා.

ඒ නිසා මරණය සිදුවූ වෙලාව හා PMI දෙනු ලබන්නේ නිමානයක් (estimate ) ලෙසයි. ඒ නිසා එය සිද්ධියට අදාලව පැය ගණනක සිට දින ගණනක් දක්වාත්,මාස ගණනක සිට අවුරුදු ගාණක් දක්වාත් වෙනස් වෙන්න පුළුවන්.

මරණයක් සම්බන්ධ සාක්ෂි නිමානය කිරීමේදී පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගන්නවා.

1. මල සිරුරේ භෞතික ලක්ෂණ - පශ්චාත් මරණ විපර්යාස,කෘමීන් සිටීම ආදිය

2. සිරුර සොයා ගත් ස්ථානයේ පරිසර සාක්ෂි - ගේ ඇතුළක ද, පිටත ද,වල දමා ඇත් ද, පුළුස්සා ඇත් ද,ජලයේ ද ආදීය

3. අපරාධය සිදුවූ ස්ථානයේ වෙනත් සාක්ෂි - යම් තද පහරක් නිසා අත් ඔරලෝසුව නතර වූ වෙලාව, දුර කතන ඇමතුම් ගත් හෝ ලබා ගත් වේලාවන් ආදිය

4. අවසාන වශයෙන් ඉතිහාස කරුණු - අපරාධයට ගොදුරු වූ තැනැත්තාගේ දින චර්යාව, සම්බන්ධතා හා සතුරන් පිළිබඳව
මල සිරුරක අභ්‍යන්තරයේ අනුක්‍රමික වෙනස් කම් මාලාවක් ඒවා සිදුවන වේගයට සමගාමීව සිදු වන අතර ඒ සඳහා පරිසර උෂ්ණත්වය, කෘමීන් හා වෙනත් සතුන් ගැවසීම ආදිය ද බලපායි. මේ සියලු දැනුම මරණය සිදුවූ වෙලාව දැන ගැනීමට භාවිත වේ.

මරණය සිදුවූ වෙලාව නිමානයේ දී භාවිත කරන වැදගත්ම ක්‍රමය මේ වේගය පිලිබඳ ක්‍රමයයි.
මල සිරුරේ සිදුවන විවධ පරිවර්තනයන් පශ්චාත් මරණ අවදි පිළිබද මිනුමක් ලබා දෙයි.

1. Algor motis - සිරුර සිසිල් වීමේ වේගය

2. Rigor motis - සිරුර දරදඬු වීමේ වේගය ආරම්භය හා ගතවූ කාලය. සිරුර දරදඬු වන්නේ පේශී වල ශක්ති වාහකය වන ATP නැතිවී යාමෙන්.

3. Livor motis - රුධිරය සිරුරේ පහළ තැන්පත් වීම නිසා සම දුර්වර්ණ වීම

4. සිරුර පුති භවනය වීමේ වේගය

5. Adepocere - සිරුරේ මේද සැෆොනීකරණය . මෙය බොහෝ විට සිදුවන්නේ ස්ථුල වැඩිහිටියන්ගේ, ළදරුවන්ගේ,හා ස්ත්‍රීන්ගේ

6. පටක ඉරී යාම - මෘදු කොටස් දියවී යාම නිසා පටක ඉරී ගැලවී යයි.

7. සිරුරේ අමාශයේ ඇති අවසානයේදී ඒ තැනැත්තා ගත් ආහාරය ජීර්ණය වී ඇති ප්‍රමාණය ද මරණය සිදුවූ වෙලාව නිමානය කිරීමේදී වැදගත්වේ.
තවද පශ්චාත් මරණ විපර්යාස ඒ තැනැත්තා යම් කිසි නිදන් ගත රෝගයකින් පෙලුනේ ද යන්න, කුමන ඖෂධ ගත්තේ ද යන්න ආදිය මත ද රඳා පවතී. ඔහු/ඈ ප්‍රතිජීවක ඖෂධ ගනිමින් සිටියේ නම් සිරුරේ ක්ෂුද්‍ර ජීවී ගහනය වෙනස් වන අතර එය කුණු වීමටද කල් ගතවේ. එය වැරදි PMI එකක් දීමට හේතු විය හැකිය.

අපි ඉහත සඳහන් කල කරුණු එකින් එක සලකා බලමු.

Algor motis

මේ වේගය උෂ්නත්වමානයකින් මනිනු ලැබේ. සිරුර තිබෙන පරිසරයේ තත්වය මෙයට බලපායි. සිසිල් හෝ මධ්‍යදරනී දේශ ගුණ වල නිසි අගය ලැබෙන නමුත් අධික උණුසුම් ප්‍රදේශ වල සිසිල් වීම සිදුවන්නේ සෙමිනි. ඇතැම් විට අධික කුණු වීම නිසා සිරුරේ උණුසුම වැඩිවීමට ද පුළුවන්. එමෙන්ම සිරුරේ ප්‍රමාණය,සමට යටින් ඇති මේද ප්‍රමාණය,ඇඳ ගෙන සිටි ඇඳුම්,සුළඟ, ආර්ද්‍රතාවය,සිරුර තිබෙන්නේ කොතැනද ආදී සාධකද මේ කෙරෙහි බලපායි. සිරුරේ උෂ්ණත්වය පැයකට අංශකයක් අඩුවේ යයි සඳහන් වුවත් මේ වේගයේ බොහෝ වෙනස් කම් තිබේ.

Rigor motis

සිරුර දරදඬු වීම හා සියළුම පේෂී සංකෝචනය වීම, සාමාන්‍යයෙන් මරණය සිදුවී පැය 3කට පමණ පසු ආරම්භ වී නිවර්තන දේශගුනයෙදී පැය 9-12 දක්වාත්, මාධ්‍යදරණී ප්‍රදේශ වල පැය 36-48 දක්වාත් පවතී. ඝාතකයා සිරුර ඇද වෙනස් කර තිබුණොත් දරදඬු වීම සිදු වන්නේ එම අලුත් තත්වයේයි. ඒ නිසා Rigor motis තත්වය ඝාතනය සිදුවන විට සිදුවූ සිද්ධිය නොපෙන්වන්න පුළුවන්. මෙහිදී ඇසේ කණිනිකාව විශාල වන අතර හෘදය ඇතුළු අවයව වල ද වෙනස් කම් ඇති විය හැකියි.

මේ තත්වය ඇතිවීම කෙරෙහි උෂ්ණත්වය,රෝග තත්වයන්,දේහ පේෂී ස්කන්ධය,මරණයට පෙර පේෂී ක්‍රියාකාරීත්වය ආදිය ද බලපායි. අධික උෂ්ණත්වය හා අධික පේෂී ක්‍රියාකාරිත්වය මේ තත්වය ඉක්මන් කරයි. ළමයින් හා වයසක වැඩිහිටියන්ගේ ඉක්මනින් ද තරුණ වැඩිහිටියන්ගේ සෙමෙන් ද මෙය සිදුවේ. හුස්ම හිරවීමෙන් මිය ගිය විට හෝ අධික රුධිර ගැලීමක් සිදුවී නම් මෙය සෙමෙන් සිදුවන අතර ආසදනයක්, කල් පවත්නා දුර්වලකමක් තිබුණේ නම් ඉක්මනින් සිරුර දරදඬු වේ.

Livor motis

සමහර විට රෝස පැහැ දාර සහිතව සමේ රතු/රෝස පැල්ලම් ඇතිවීම. සිරුරේ රුධිර පීඩනය නැති වන නිසා රුධිරය සංසරණය නැවතී ගුරුත්වය ඔස්සේ රුධිරය සිරුරේ අභ්‍යන්තර වාහිනී වලත් සිරුරේ පහළ කොටස් වල එකතුවේ. මෙය සාමාන්‍යයෙන් මරණයෙන් පළමු පැය තුළ දැකිය හැකිවේ. නමුත් බොහෝ විට මරණයෙන් පැය 3-4 සිට ඇතිවීමට පටන්ගෙන පැය 12කදී අවසන් වේ. Liver motis හි වේගය රක්ත හීනතාවෙන් පෙලෙන්නේකුගේ හා කුසගින්නේ පසු වුවකුගේ අඩුවිය හැකිය. එමෙන්ම බොහෝ වෙලාවක් තිස්සේ රුධිර සංසරණය අඩුවෙමින් මිය යන කෙනෙකුගේ මෙය මරණයට පෙරම ආරම්භ විය හැකිය.

ඉතිරිය පසුවට…….

(Ref. Encylopedia.comPhoto by Sonja Langford on Unsplash

2 comments:

  1. හදිසි මරණයක් සිදුවූ විට එහි පසුබිම සහ මරණය සිදුවූ වෙලාව දළ වශයෙන් නිර්ණය කර ගැනීම පිණිස ඉහත දැක්වූ කරුණු උපයෝගී කර ගනිමින් නිගමනයක් දෙන්නේ අධිකරණ වෛද්‍ය වරයෙකු විසින්. අධිකරණයේදී මේ භෞතික ලක්ෂණ පිලිබඳ තොරතුරු අභියෝගයකට ලක් වුවහොත් ඒ ඒ අංශවල පූර්ණ විද්‍යාගාර පරීක්ෂණ (රස පරීක්ෂක) වාර්තාද ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  2. ස්තුතියි සර් , ඔබේ පැහැදිලි කිරීමට. මා කලින් post එකක් ලියද්දී. හදිසි ස්වභාවික මරණයකදී හදිසි මරණ පරීක්ෂක විසින් තීන්දුවක් දෙනවා නේද ? මට මතක විදියට එහෙම තීන්දුවක් නිසා මගේ පියාගේ හදිසි මරණයේදී autopsy කලේ නැහැ.

    ReplyDelete