Tuesday, January 31, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 5 (අවසාන කොටස )

 අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 5 (අවසාන කොටස )








Homo ගණයේ විශේෂත්වයන් ගණනාවකි.
1. සාපේක්ෂව විශාල කපාල ධාරිතාව (මොළයේ විශාලත්වය)
2. ඍජු කාය විලාශයට හා දෙපාවත් බවට ගැලපෙන ගාත්රා සැකසුම
3. බල හා සියුම් ග්රහණයට (මහපටැඟිල්ල, දබරැඟිල්ල හා මදැඟිල්ල මගින් කරන ඉඳිකටුවක් ඇහිඳීම /පෑන අල්ලා ලිවීම වැනි සියුම් දේ කිරීම) උපකාරී වන ආකාරයට මහපටැඟිල්ලේ පිළිමල් බව
4. ප්රශස්ත ලෙස උපකරණ සෑදීමේ හැකියාව
Homo ගණයේ විශේෂ රාශියක් පොසිලවල වෙනස් කම් අනුව නම් කර ඇති අතර මෙහි මා කතා කරන්නේ එයින් වඩාත් වැදගත් කිහිපය පමණයි.
දැනට වසර මිලියන 2.4කට පෙර ජීවත්වූ අප අයත් ගණයේ ආදිතමයින්ගේ පොසිල නැගෙනහිර අප්රිකාවෙන් හමු වුණා. මේවායේ මොළයේ හා දේහ ප්රමාණයේ විශාලත්වය ඔස්ට්රලොපිතකස් ට සමාන වුණා. නමුත් ආහාර විලාසිතාවේ වෙනසක් කියා පාමින් චාර්වක දත් වෙනස් වී තිබුණා. අඩු වශයෙන් වසර මිලියන 1.8කට පෙර හෝමෝ ගනයේ සාමාජිකයින් සත්ව සිරුරු කපා ගැනීමට ආදී කාලින ගල් ආයුධ භාවිත කර තම ශාක ද්රව්ය මුල්වූ ආහාරයට ශක්තිජනක මස් හා ඇටමිදුළු එකතු කරගෙන තිබෙනවා.
ආදිතම හෝමෝ විශේෂය Homo habilis ජීවත් වී ඇත්තේ මීට වසර මිලියන 2.3 ත් 1.4ත් අතර. මොවුන්ගේ පොසිල සමග එම ආයුධ හා කැපූ කෙටූ අස්ථි කොටස හමුවී තිබෙනවා. වඩාත් ප්රභල හා ව්යාප්ත වූ විශේෂය Homo erectus . අප්රිකාව හා යුරේසියාව පුරා මීට වසර මිලියන 1.9ත් වසර 100,000ත් අතර ජීවත්ව සිට තිබෙනවා. බාගවිට පසු කලෙක, ගස් වලට නැගීම සඳහා ඔස්ට්රලොපිතකස් ට තිබු අනුවර්තන මොවුන්ගෙන් ගිලිහි ගොස් තිබෙනවා. Homo erectus පාරිසරිකව නම්යශීලි වුණා. එමෙන්ම H.erectus ට තිබූ බුද්ධිමය හැකියාව ඔවුන්ගේ විවිධ පරිසරවල ජීවත් වීමට, ව්යාප්තියට හා පැවත්මට දායක වෙන්න ඇති. පසුව හමුවූ ආසියාතික පොසිල වලට අනුව H.erectus ගේ කපාල ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1250කට වඩා වැඩියි.
මීට වසර 700 දහසකට පෙර මුල් Homo erectus ගෙන් අපසරණය වී H. heidelbergensis පරිණාමය වී තිබේ. මොවුන් දේහ පරිමාණයන්, දත් වල අනුවර්තන හා බුද්ධිමය හැකියාව අතින් බොහෝ දුරට අපට සාමාන වුණා. වඩා දියුණු ආකාරයේ ආයුධ නිපදවීමට හැකි සක්රිය දඩයක්කරුවන් වූ මොව්හු අඩු වශයෙන් මීට වසර 400 දහසකට පෙර ගින්දර පාලනය කිරීමේ හැකියාව දැරුවා.
DNA විශ්ලේෂණය මානව පරිණාමය අවබෝධ කර ගැනීමට දෙන ආලෝකය සුළුපටු නැහැ. ආදී මානව නෑදෑයකුගේ පැරණිතම DNA සොයාගෙන ඇත්තේ ස්පාඤ්ඤ යේ අටපුවර්කා කඳු වැටියේ ගුහාවක පත්ලේ "Pit of Bones” ලෙස හඳුන්වන තැනින්. මෙහි තිබු පුද්ගලයන් 28 දෙනෙකුට අයත් දත් හා අස්ථි වලින් එකතුකර ගත් ජාන සමුහයේ (genome ) මීට වසර කට පෙර සිටි ආදිතම නියැන්ඩතාල් වරුන්ගේ ගේ බව අනාවරණය වුණා. ඒ අපේ වඩාත් සමීපතම නෑදෑයන්. මේ ජාන නූතන මිනිස් ජාන සමග සැසදීමේදී අනාවරණය වන්නේ පොදු පුර්වජයා මීට වසර 550.00ක් හා 750,000 ක් අතර පැවත ඇති බවයි. ඔහු Homo heidelbergensis වීමට ඉඩ තිබෙනවා. මෙයින් ඇතිවූ පවුල් ගසේ අප්රිකානු ශාඛාවේ Homo sapiens ද යුරෝපීය ශාඛාවේ Homo neanderthalensis හා Denisovans නම් අද්භූත මානවයාද ඇති වී තිබෙනවා.ශක්තිමත් දේහයෙන්, සංකීර්ණ චර්යාවන්ගෙන් හා අපගේ ප්රමාණයට සමාන කපාල ධාරිතාවෙන් යුත් නියැන්ඩතාල් මානවයා මීට වසර 250ස් දහසකට පෙර Homo heidelbergensis ගෙන් වෙන්වී යුරෝපයේ ඇති වීය යන බවට සාධක තිබෙනවා.
Homo sapiens එනම් නුතන මානවයා මීට වසර 200දහසකට පෙර අප්රිකාවේ දී H. heidelbergensis ගෙන් ගෙන් අපසරණය වී පරිණාමය වන්නට ඇති . ඝන සෙන්ටිමීටර් 1400 ක කපාල ධාරිතාව, සංකීර්ණ චර්යා රටා, උපකරණ නිර්මාණය, දඩයම් කිරීමේ දක්ෂතාවය එම විශේෂයට අප්රිකානු මහද්වීපය තුළ ව්යාප්ත වීමට මග පෑදුවා. වසර 100 දහසකට පෙර අප විශේෂය යුරේසියාවටත් ,ඔස්ට්රේලියාව හා ඇමරිකාවටත් වශයෙන් ලෝකය පුරා පැතිර ගියා. විශේෂය යන්නේ නූතන අර්ථ දැක්වීමට පටහැනිව Homo sapiens හා Homo nianderthalensis අතර සංසර්ගය පවා සිදු වී ඇති බවට පොසිල වලින් ලැබුණු DNA සාක්ෂි දරනවා.
අපගේ සමීප නෑදෑයෙකු වූ Denisovans අපට ඉතිරි කර තබා ඇත්තේ සීමිත ශරීර කොටස් ටිකක් පමණක් බව කියවෙයි. මතභේදයට තුඩුදී ඇති නමුත් පැපුවා නිව් ගිනීයා හි මානව ගෙනෝමය ගැන නූතන අධ්යයන වලින් හෙළිදරව් වී ඇත්තේ මීට වසර 15,000කට පෙර නූතන මානවයන් Denisovans සමග ජීවත් වූවා පමණක් නොව අන්තර් අභිජනනය ද සිදුව ඇති බවයි. දැනට ජීවත් වන ආසියාතිකයින් ගේ ගෙනොමයේ 3% - 5% අතර ප්රමාණයක් Denisovans ගේ ජාන තිබේ.
ඉතින් අපේ සමීප Homo ආදිතමයන් ජාන පරම්පරාවක් අපට ලබාදී පොසිල වශයෙන් පමණක් සලකුණු ඉතිරි කර මෙලොවින් සමුගෙන තිබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක් නොවන් නේද? අපි Homo sapiens තවමත් ජීවත් වෙමින් සිටිමු. පරිණාමීය කාල රේඛාවේ අප ඇතිවී ගතවී ඇත්තේ අසුරුසැනක් පමණයි . සියල්ල වෙනස් වීම තුළ අපටත් අවසානයක් තිබෙන්නට පුළුවන.
රූප සටහන් අන්තර්ජාලයෙන්

No comments:

Post a Comment