Tuesday, January 17, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන්ද? Homo sapiens කතාව 01

    අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන්ද?

Homo sapiens කතාව 01










නූතන මිනිහා ලෝකයේ කොතැනක කොහොම හිටියත් ඔහු එකම ජීවී විශේෂයක් විදියට සලකනවා. ඒ තමයි Homo sapiens. පහුගිය දවස්වල පරිණාමය ගැන හුඟක් කතා වගේම රසකතා ලියවුන. මං ඒව බලන් හිටියා නිහඬව. දැන් මං හිතුව මේ ගැන යමක් ලියන්න ඕන කියල. ජීවින් එකම විශේෂයට අයිති කරන්නේ කොහොමද කියලා ඔබට ගැටලුවක් ඇති. ඒකට ලේසිම උත්තරේ මෙහෙමයි. ජීවීන් එකම විශේෂයේ නම් ඔවුන් එකිනෙකා සංසර්ගයේ ප්රතිඵලයක් විදියට සරු දරුවන් බිහි කරන්න ඕන. ඉතින් ලෝකෙ කොහේ හරි ඉන්න ගැහැනියක් හා පිරිමියෙක් සංසර්ගයේ යෙදුනහම ඔවුන්ට මීනිස් පැටියෙක් ලැබෙනවා වගේම ඒ පැටියා ලොකු වෙලත් පැටවු හදනවා.
මේ අපේ නැත්නම් Homo sapiens ගෙ කතාව මිනිසාගෙ වර්ගීකරණයෙන් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුවා. මේ සමග ඇති රූපයේ එය සටහනක් ලෙස දක්වල ඇති. ඒ ගැනයි මේ විස්තරය.
මේ ලෝකයේ දැනට දන්නා ජීවීන් අධි රාජධානි (Domains) තුනකට බෙදනවා. එයින් මිනිසා අයත්වන අධි රාජධානිය යූකැරියා (Eukarya).
අධිරාජධානියක ඉන්න ජීවීන් ඉන් පස්සේ රාජධානිවලට (Kingdoms) බෙදෙනවා. යූකැරියා අධිරාජධානියට රාජධානී 4ක් තියෙනවා. මෙයින් මිනිසා අයත් වන්නේ සත්ව රාජධානියට. එනම් ඇනිමාලියා (Animalia) රාජධානියට. සතුන් ලෙස හඳුනාගත හැකි සියළු ජීවීන් මේ රාජධානියේ ඉන්නවා.
රාජධානි වංශ (Phylum) වලට බෙදෙනවා.
මිනිසා අයත් වංශය කෝඩේටා. පිට පැත්තේ (පෘෂ්ඨීය) ආධාරක රැහැනක් (notochord) තිබීම ඇතුළු පොදු ලක්ෂණ කීපයක් කෝඩේටා වංශයේ සතුන්ට තියෙනවා. කොඳු ඇට පෙළ ඇති සතුන්ගේ එය ඇතිවන්නේ මේ කියන රැහැනින්.
වංශවලට පහළින් ඇති කාණ්ඩය තමයි වර්ගය (Class). මිනිසා අයති වර්ගය මැමේලියා (Mammalia). අපි ක්ෂීරපායීන් ලෙස හඳුන්වන්නේ මොවුන්. ඊට පහළින් ඇති කාණ්ඩය ගෝත්රය(Order) .
මිනිස්සු අයිති ගෝත්රය ප්රයිමේටා (Primata). මිනිසා පරිණාමය වීම තේරුම් ගන්න ප්රයිමේටාවන්ගෙ ලක්ෂණ හා ඔවුන් පරිණාමය වීම දැන ගැනීම හුඟක් වැදගත් වෙනවා. මේ ගෝත්රයට විශේෂ 300ක් පමණ අයත් වෙනවා. උනහපුලුවන්, ලීමර්, වඳුරන්, වානරයන් (Apes) හා මිනිසුන් මීට අයත් වෙනවා.
මේ සියල්ල එකම පූර්වජයෙකුගෙන් පැවත එන බව හිතනවා. ඒ පූර්වජයා මූලික වශයෙන් ගස්වලට නැගීමට හැකි රුක්වාසී සත්වයෙක් වීමේ හැකියාව වැඩියි. ඒ අනුව මුල්ම ප්රයිමේටාවන් කුඩා, නිශාචර, කෘමි භක්ෂක ක්ෂීරපායීයෙක්ගෙන් පැවත එන්නන් විය හැකියි. දැනට ජීවත්වන එවැනි සතුන් නම් හික් මීයන් හා පියාඹන ලීමාවන්.
ප්රයිමේටා ගැන ඉදිරියේදී තව කතා කරමු.
රූපය අන්තර්ජාලයෙන්

2 comments: