අහස කළු වළාවෙන් බරව ගිය නිමේෂයේ සීතල සුළං රැල්ලක් මාලිකා ගේ ඇඟේ හැපී ගෙන ගියේ වැස්ස දැන් දැන් මහ පොළොව සිප ගනු ඇතැයි කියන පණිවිඩය කියා පාමිනි. ධනවර්ධන මහත්තයා එනම් මාලිකා ගේ සීයා ඉස්තොපුවේ එක් පසෙක තිබුණු හාන්සි පුටුවේ දිගාවී දෙපා උඩට ගෙන සීතලට මෙන් ගුලිවී සිටියේය. ඔහුගේ ගිලි ගිය දෑස දිස් වූයේ ගැඹුරු ලිඳක පත්ලේ යන්තම් පෙනෙන දියත්තක් මෙනි. ඔහුගේ අවුරුදු අසූපහක් වයස්ගත සිරුරට අවශ්‍ය පෝෂණය මදකම නිසාදෝ වෙනදා තිබු තේජස් බව දැන් ඒ දෑසේ නොමැත්තේය. ධනවර්ධන මහත්තයා දවසේ වැඩි වෙලාවක් මේ හාන්සි පුටුවට වී ගත කළේය. හාන්සි පුටුව වටිනා දැවයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි එකකි. බුරුත ලීයෙන් නිමවූ එහි පුටු අත්දෙක හා ඉහපත කළුවර ලීයෙන් මල් කම් කර ඇත්තේය. කලකින් පොලිෂ් නොකළ බැවින් එහි සැබෑ අලංකාරය දැන් නොපෙනෙන්නේය. පුටුවේ දමා ඇති කොහු මෙට්ටය කොතෙක් පැරණිද යන්න එහි ඇති කිලිටි කවරයෙන් පිළිබිඹු වෙයි. රෙදි පටියකින් පුටු ඉහත්තේ එල්ලා ඇති රෙද්ද කොහු මෙට්ටය වැසෙන්නට එලා තිබෙයි. වරින් වර සුදු හාමිනේ එනම් මාලිකාගේ අම්මා, ධනවර්ධන මහත්තයාගේ එකම දෝණියන් දෑ විසින් මේ රෙද්ද සෝදනු ලැබුවත් මෙට්ට කවරය සේදූ දිනක් නම් මතක නැත.
මේ නිවසේ කෙටි
තාප්ප දෙකකින් වටවී තිබුණු ඉස්තෝපුවට
වහින වෙලාවල් වලදී හිරිකඩ කඩා
වැදුණේය. හාන්සි පුටුව නැති පැත්තේ පරණ
තාලේ වැල්
පුටු දෙකක් විය. හූඩ් එකෙන්
ගෙට ගොඩවදින විටම තිබෙන්නේ ටී
පෝවකි. එය මත අතුරා
තිබු අලංකාර ලෙස ගෙත්තම් කළ
සුදු ඇතිරිල්ල මත පිත්තල මල්
බඳුනකි. එයට අලුත් මල්
එකතු වන්නේ නම් කලාතුරකින් දවසකය.
ඉස්තොපුවේ මෙන්ම සාලයේ හා බරාඳයේ බිම
නිමවා තිබුණේ අද නවීන පන්නයට
නම් ටෙරාකොට්ට
ලෙස හඳුන්වන බිම් ගඩොල් වර්ගයකිනි.
ඒවා අතර කුස්තූර හුණු
පිරියම් කර තිබුණි.
තඩ තඩ හඬින් වැස්ස
වහළේ සිංහල උළු මත පතිත
වන්නට විය. ඒ ක්ෂණයකින්ම
වැසිදිය පීලි දිගේ ගලාවිත්
මහා ජලකඳක් රූරා පහළට ඇදවැටෙනු
මාලිකා බලා සිටියාය. මාලිකා ගේ අම්මා සුදු හාමිනේ තවමත්
වහලේ සිදුරු ඇති තැන්වලින් බේරෙන
වතුර එකතු වීමට පරණ
ඇතිලි වගයක් තබමින් සිටියාය. ඇය එය ආරම්භ
කරන්නට ඇත්තේ වැහි අඳුර එනවාත්
සමගය. වැස්සක් ආරම්භ වන සැම දිනකම
කෙරෙන සුපුරුදු කටයුත්තක් වන මෙය මාලිකා
ට අලුත් දෙයක් නොවේ. ඒත් මාලිකා හුන් තැනින්
නැගිට අම්මා වෙත ගොස්
"කෝ
දෙන්න අම්මා , මං ඕක තියන්නම්
කියා සුදු හාමිනේ අත
තිබූ ඇතිළිය ඉල්ලා ගත්තාය. ඇය එය රැගෙන
ගොස් දිග කාමරයේ තෙමෙන
තැනින් තබන විටත් වැහි
වතුර සිමෙන්ති පොළොව දිගේ ගලා යමින්
තිබුණි.
සුදු
හාමිනේ ද පසු පසින් පැමිණෙන
ගමන් " උළු ටික මාරු
කරන්න හැන්ඩිට වත් එන්න කියන්න
ඕන." යනුවෙන් කීවාය. එසේ කියනු ඇසුණ
පළවෙනි වතාව එය නොවන
නිසා එයත් මාලිකාට අලුත්
දෙයක් නොවීය. හැන්ඩි මේ නිවසේ ද
වත්තේද වැඩ කරන කුලී
කම්කරුවෙකි. ටික කලක සිට
ඔහු වැඩට පැමිණෙන්නේ නැත.
ඒ සුදු
හාමිනේ අතේ මේ වකවානුවේ
කුලී ගෙවීමට මුදල් ගැවසෙන්නේ නැති බැවිනි.
මේ ගෙදර වසර පණහක්
වත් පරණ වන්නට ඕනෑය.
නිවස ඉඳි කරන ලද්දේ
ධනවර්ධන මහත්තයා විසිනි. මාලිකාට මතක ඇති කාලයේ
ගෙයට තවත් කොටස් දෙකක්
එකතු විය. ඒ දිග
කාමරය හා අලුත් කුස්සීයයි.
මේ ගෙදර නිවැසියන් කිහිප
දෙනෙක් ගැන දැනටමත් කියා
ඇත. ඒ ධනවර්ධන මහත්තයා,
සුදුහාමිනේ හා මාලිකා ගැනයි.
මේ හැර මාලිකාට වඩා
වයසින් වසර පහක් පමණ
බාල ඇගේ සොහොයුරා ද
මෙහි වෙයි. ඔහුගේ නම සමන්තය. මේ
ගෙදර මීට වසර දෙකකට
පමණ පෙර තවත් දෙදෙනෙක් වූහ. ඒ ධනවර්ධන
මහත්තයාගේ බිරිඳ, සුදු හාමිනේගේ අම්මා,
මාලිකාගේ ආච්චි අම්මා වන වටරැක හාමිනේත්
, ධනවර්ධන මහත්තයාගේ එකම පුතා වන
රන් මහත්තයාත් ය. ඒ කාලයේ
සුදු හාමිනේ හා සමන්ත මේ
ගෙදර සිටියේ නැත. ඔවුන් සුදුහාමිනේ
දීග ගිය තම සැමියා
වන පෙරේරා මහත්තයාගේ ගමේ ඔවුන්ගේ නිවසේ
ජීවත් වූහ. ඒ මේ
නිවසේ සිට සැතපුම් විස්සක්
පමණ දුර ගමකය. පෙරේරා
මහත්තයා විසින් මාලිකා මේ නිවසේ සිට
සැතපුම් තුනක් දුරින් වූ නගරයේ කන්යාරාමයට ඇතුළත් කළ බැවින් ඇයට
ආච්චි හා සීයා සමග
මේ නිවසේ රැඳී සිට පාසල්
යාමට සිදු විය. රන් මහත්තයා රජයේ කන්තෝරුවක
සැළකිය යුතු රැකියාවක නිරත
විය. ඒ නිසා ආර්ථික
වශයෙන් ද හිඟ පාඩුවක්
තිබුණේ නැත. ඒ හැරත්
අක්කරයක පමණ නිවස පිහිටි
ඉඩමේ තිබු පොල්ගස් පණහක
පොල් වලින් ද වටරැක හාමිනේ
විසින් අහළ පහළ උදව්වට
එන ගැහැණුන් ලවා පොල් අතු
වියවා විකිණීමෙන්ද, ගම්මිරිස්, කෝපි වැනි අතුරු
බෝග වලින් ද ආදායමක් එන
බැවින් නිවසේ
දෙමහල්ලන් අත මුදල් හිඟයක්
නොවීය. වෙනස්කම් කිහිපයක් සඳහා මේ නිවැසියන්ට
මුහුණ දෙන්නට සිදු වූයේ පසුගිය
වසර
හතර තුළය.
පළමු සෝබර සිදුවීම පෙරේරා මහත්තයාගේ හදිසි අභාවයයි. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මළේය. ඔහුට වරින් වර සෑදෙන හිස කැක්කුමක් හැර වෙන කිසිම අසනීපයක් නොතිබූ බව සුදු හාමිනේ මළගෙදර පැමිණි සැමට කීවාය. පෙරේරා මහත්තයා ස්ථිර රැකියාවක නිරත නොවූ අතර තම ඉඩකඩම් වලින් හා තම හරකබාන පවරා ලැබෙන ආදායමත් සුළු බේකරි ව්යාපාරයකින් ලැබෙන ආදායමත් මගින් ජීවිතය ගෙන ගිය අයෙකි. ඔහු විශාල වශයෙන් ණය තුරුස් වී සිටි බවත් ඒ ණයට බොහෝ වත්කම් සින්නවී ඇති බවත් දැන ගන්නට ලැබුණේ මිය ගිය පසුවය. මිය ගියේ හදිසියේ බැවින් ඇතැම් දේවල වල ලියකියවිලි පවා අස්ථානගතවී තිබුණි. නිවස හා එහි බඩුමුට්ටු ඉතිරිව තිබුණු නමුත් තනිවම එහි ජීවත් වීමට ධෛර්යයක් නැත්තී, සුදු හාමිනේ සමන්තත් රැගෙන තම දෙමව්පියන් වෙත ගියාය. සමන්ත ඒ ගමේ පාසලට ඇතුළු කරන ලදී. පෙරේරා මහත්තයාගෙන් කියා හිමිව තිබු කුඩා ඉඩම් කැබලි දෙකක් අඩු මුදලට විකුණා දැමූ සුදු හාමිනේ ඒ ඒ වෙලාවල අඩුපාඩු පිරිමසා ගත්තාය. ඉන්පසු වරින් වර තම කණකර ආභරණ ද විකුණා දැමුවාය.
මේ නිවසේ සිදුවූ දෙවැනි වෙනස නම් රන්
මහත්තයාගේ විවාහයයි. ලොකු
මංගල උත්සවයක් ගෙන
සිදුවූ ඒ විවාහයෙන් නිවසට
කැන්දාගෙන ආ අලුත් මනාලිය
පවුලට ගැලපෙන විදියට ප්රභූ පවුලකින්
තෝරාගත් එකියකි. මේ වකවානුවේ කොටුවකට
ජීවිතය සීමාකරගත් න්යෂ්ටික පවුල් සංකල්පය
එතරම් ප්රචලිතව තිබුණේ
නැත. විවාහ වූ දු දරුවෝද
සිය දෙමව්පියන් සමග ජීවත්වූ අතර
දෙමව්පියෝ තම දූ දරුවන්ගේ
සරණ පැතූහ. අවිවාහක සොයුරු සොයුරියන් ද බොහෝ විට
එකටම ජීවත් වූහ. මේ විස්තෘත
පවුල යයි අද සමාජ
විද්යාවේ හැඳින්වේ. එබැවින්
මේ නිවසේ දෙමහල්ලෝ ද සුදු හාමිනේ
ද අලුත ගෙනා මනමාලියත් තම
පවුලට හිතැත්තියක වනු ඇතැයි සිහින
මැවූහ. තම එකම පුතුට කැන්දාගෙන ආ ලේලිය ගැන
වටරැක හාමිනේ ඉමහත් බලාපොරොත්තු තබා ගෙන සිටි
නමුත් ඒවා සිහින පමණක්
බවට පත්වන්නට වැඩි දවසක් ගත
වුණේ නැත. ලේලිය තම
වල්ලභයාගේ වැන්දඹු සොයුරිය හා ඇගේ දරුවන්
වන මාලිකාත්, සමන්තත් නොරිස්සුවාය. මසුරු එකියක වූ ඈ සිය
නැන්දම්මා හා මාමන්ඩියට කෑම
වේලක් දීමට පවා අදිමදි
කළා ය. මේ සියල්ලටම
විසඳුමක් වශයෙන් අලුත් කුස්සියක් හදවා ගත් ඈ
වෙනම උයා පිහාගෙන සිය
සිතැඟි පරිදි කොටුවක් තුළ කුටුම්භ ජීවිතයක්
ආරම්භ කළාය. මුලින් නිවස ගැන සඳහන්
කරනවිට කිවේ ඒ කුස්සිය
ගැනය. මේ වනවිට ඒ
කුස්සිය හිස්ව ඇත්තේය. එසේ වූයේ මෙයට
යාවූ තවත් සිදුවීම් කීපයක්
සමගය. එයින් පළමු සිදුවීම නම් රන් මහත්තයාත්
සිය බිරියත් මේ නිවසින් අයින්වී
නගරයේ කුලී නිවසක පදිංචියට
යාමයි. ඒ යනවිට නවීන
ඇඳ ,පුටු අල්මාරි ආදී
සියළු දේ රැගෙන යන
ලදී. වටිනා දේවල් කියා ඉතිරි වූයේ පරණ
සයිබෝර්ඩ් එකත්, පබලියන් ඇඳත් තව පරණ
ඇඳන්,පුටු හා මේසයත්
මේ කියන හාන්සි පුටුවත්
පමණි.
සිය
පණවන් එකම පුතුගේ මේ
වෙන්ව යාමෙන් සිත් තැවුලට පත්ව
සිටි වටරැක හාමිනේ මාස කිහියක් අසනීපවී
සිට අවසන් ගමන් ගියාය. සිය
සීයා කඳුළු හෙළනු මාලිකා දැක්කේ ආච්චි මිය ගිය දිනයේ
පාංශු කූලය දෙන වේලාවේය.
ඔහු සාමාන්‍ය ජීවිතයේදී එතරම්ම
තද පුද්ගලයෙකු වුවේය. නමුත් වසර පණහකටත් වඩා
එකට සිටි සිය සහකාරිය
වෙන්වීම ඔහුට දරාගැනීම අසීරු
විය.
අවසානයේ
නිවසේ ඉතිරි වූයේ ධනවර්ධන මහත්තයාත්,
සුදු හාමිනේත් , මාලිකා හා සමන්තත් පමණි.
ලැබෙන ආදායමත් ඉතා සීමිත විය.
ඒ වත්තේ පොල්, ගම්මිරිස් , කෝපි ආදියෙන් එන
සීමිත ආදායම පමණි. පොල්ගස් වලටත් නිසි සාත්තුවක් නොවූයෙන්
කැඩෙන පොල්ගෙඩි ගණනත්
අඩු වී ගියේය. දැන්
පොල් අතු විවීමට වෙන ගැහැණුන්
ගේ පැමිණීම සිදුවුයේ නැත.
සුදු
හාමිනේ ම ඒවා වියුවාය.
ධනවර්ධන මහත්තයා පොල් අතු පොඟවා,
ඉරා දෙමින් සුදු හාමිනේට උදව්
කළේය. රන් මහත්තයා ඉඳ
හිට පැමිණ තම පියාට අකමැත්තෙන්
මෙන් කීයක් හරි දුන්නේය . එහෙත් ඔහුට නෑදෑ සබඳකම්
ඈත් කිරීමට සිදු වූයේ සිය
බිරිඳගේ සිතැඟි ඉටු කිරීමට අවශ්‍ය වූ බැවිනි. කෙසේ
නමුත් ඉඩම හා නිවසේ
අයිතිය තිබුණේ නම් රන් මහත්තයාටය.
වරක් ධනවර්ධන
මහත්තයා තද බල ලෙස
අසනීප වූ වෙලාවක රන්
මහත්තයාම කලබලයෙන් ඉඩම තමාට තෑගී
ඔප්පුවකින් පවරන බවට සිය
පියාගේ අත්සන ලබා ගත්තේය. නමුත් නීතිඥයා එය ලියුවේ ප්රාණ බුක්තිය තබාය.
මාසයකට වරක්
ධනවර්ධන මහත්තයා
උදේම අවදි වී ටයි
කෝට් ඇඳ පැළඳගෙන කුඩයද
අතින් ගෙන නිවසින් බැහැර
වී ප්රධාන පාරට
ගියේය. එතනින් පාර මාරුවී බස්
නැවතුම වෙත ගොස් නගරය
දෙසට යන බසයක නැගී
නගරයට ගියේය. එහි වෙළඳ පොළට
ගොස් මාළු පිණි මිළදී
ගත්තේය. පිරිවැස්සක ඒවා පුරවාගෙන රන්
මහත්තයාගේ ගෙදර ගියේය. මේ
වෙලාවට රන් මහත්තයාත් ඔහුගේ
බිරිඳත් සිය රාජකාරි ස්ථාන
වලට පිටත්ව ගොසින්ය. ගෙදර ඉන්නේ මෙහෙකාරියන්
සහ පොඩි දරුවන් පමණකි.
දිවා ආහාරයට නිවසට එන රන් මහත්තයා
සිය පියා දැක කිපුණේය.
"මං
තාත්තට කියල තියෙනවා නේද
? මට ලජ්ජා කරන්න බස් වල නැගගෙන
හිඟන්නෙක් වගේ මෙහෙ එන්න
එපා කියල " ඔහු ගිගුරුවේය.
" මට
පොඩි එවුන් බලන්න ආස හිතුණ පුතේ."
ධනවර්ධන මහත්තයා සන්සුන්ව පිළිතුරු දුන්නේය. එපා වාහෙට හොදි
බෙදන්නාක් මෙන් ලේලිය මෙහෙකාරියක
ලවා සිය මාමණ්ඩියට කන්නට
යමක් දුන්නාය. ඉන්පසු පිරිවැස්සේ රැගෙන ආ දේවල් වලින්
දරුවන්ට දී ඉතුරු වුණු
කොටසත් සමග සිය පුතාගේ
මෝටර් රථයෙන් ආපසු නිවසට එන්නට
සිදු විය. තරහින් සිය පියා නිවසට
ඇරලන රන් මහත්තයා සිය
පියාගේ කෝට් බෑයෙන් ඇදගෙන
මෙන් මෝටර් රථයෙන් බස්සවා ගෙන ගෙට විත්
හාන්සි පුටුවේ ඉන්දවීය. සාක්කුවෙන් මුදල් නෝට්ටුවක් ගෙන සිය
පියාගේ සාක්කුවේ ඔබා නැවත ඉක්මණින්
තරහෙන් පිටත්ව ගියේය.
මේ මොන දේ වුණත්
ආයෙත් ඊළඟ මාසයේත් ධනවර්ධන මහත්තයා සිය පුතාගේ ගෙදර
ගියේය. මේ විදියට ගලා
යන කාලය ධනවර්ධන මහත්තයා
ටිකෙන් ටික වයසට පත්
කිරීමටත්,සුදු හාමිනේගේ මැදිවිය
ඉක්මවීමටත් , මාලිකා තරුණ වියට පත්
කිරීමටත් සමන්තගේ ළමා කාලය අවසන්
කිරීමටත් අමතක නොකළේය. මාලිකා
ගේ එකම අදහස වී
තිබුණේ සාමාන්‍ය පෙළ සමත්වී කෙසේ
හෝ රැකියාවක් ලබාගෙන සිය මවගේ බර
අඩු කිරීමයි. ඒත් රැකියා ලබාගැනීම
එසේ මෙසේ කටයුත්තක් නොවන
බව ඇයට වැටහෙන්නට වූයේ
උසස් පෙළ පන්තියේ සිටියදීම
යන්තම් වයස අවුරුදු දහඅට
වූ
දා පටන් රැකියාවලට අයදුම්
පත් දැමීමට පටන් ගත් විටය.
ගමේ ඒ ඒ දේශපාලන
පක්ෂ වල ක්රියාකාරිකයෝ
රැකියා ලබා ගැනීමට අවශ්‍ය නම් එය
ඉටු කර දීමට තම
තමන්ගේ පක්ෂ සමිතිවලට බැඳීමට
බල කළහ. ධනවර්ධන මහත්තයා
දේශපාලන මතයක් දැරූ නමුත් තම
මිනිපිරිය එසේ සමිති ගානේ
යනවාට කිසි සේත්ම කැමති
වූයේ නැත.
“හිච්චි
දූ ඔය එක එකාගේ
ගුබ්බෑයම් අස්සේ රිංගන්න ඕන නැහැ” ඔහු එක හෙලාම
කියා සිටියේය. සුදු හාමිනේ ද
ඊට කැමැත්තක් නොදැක්වූ අතර මාලිකා ද
එසේ යාමට සතුටු නො
වුවාය. එසේ පක්ෂ සමිති
ඇරඹු ඇත්තෝම අන්තිමේ දී තම තමන්ගේ
දූ දරුවන්ටම ඒ රැකියා අවස්ථා
ලබා ගත්තෝය. සමිතිවලට සහභාගී වී අපේක්ෂා බංග
වුවෝ ඊළඟ ආණ්ඩු පෙරළියට
සුදානම් වෙන්නට පෙළ ගැසුනහ.
ගෙවී ගිය වකවානුවේ
වරක් මාලිකා ගැසට් පත්රයකට අනුව
ගුරු පත්වීමක් සඳහා අයදුම් කළා
ය. එක්තරා අරංචියකට අනුව අයදුම් පතේ
පිටපතක් ආසනයේ මන්ත්රීවරයාට බාර දිය යුතු
විය. මාලිකා සුදු හාමිනේත් සමග
අදාළ මන්ත්රී වරයා හමුවීමට
ගියාය. එහෙත් අයදුම්පතේ පිටපත බාර ගනු ලැබූයේ
ගේට්ටුවේ සිටි නිලධාරියෙකු විසිනි.
ඉන්පසු එයට සිදුවූ දෙයක්
නොවීය. තව වරක් මාලිකා
හෙදියක වීම සඳහා අයදුම්
පතක් ඉදිරිපත් කළා ය. ඒ
සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබුණි. ඒ සම්මුඛ පරීක්ෂණය
සඳහා උපාධි ධාරීහු ද පැමිණ සිටියහ.
සුදුසුකම් මත ලකුණු ක්රමයක් සකස් කර තිබුණි.
උපාධිධාරීන්ටත් වඩා මාලිකාට ලකුණු
හිමිවී තිබුණේ ඇගේ සාමාන්යපෙළ
සහතිකයේ විශිෂ්ට සාමාර්ථ හතරක් ම තිබු බැවිණි.
එකල විශිෂ්ට සාමාර්ථ ලැබීම සුලබ දෙයක් නොවීය.
නමුත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි අය අහිංසක
මාලිකා දැක මෙසේ කීවෝය.
" ඔය දරුවා උසස් පෙළ විභාගය
කරලා දොස්තර කෙනෙක් වෙන්න. අපරාදේ අධ්යාපනය කඩා
කප්පල් කර ගන්න එපා,
මෙච්චර හොඳ ප්රතිඵල
තියන්." මාලිකා ගෙදර ගියාය. එබැවින්
මාලිකාගේ රැකියා අභිමතාර්ථය සපල වුයේ නැත.
ඇය කෙසේ හෝ බොහෝ
දුෂ්කරතා මැද පාසල් ගියාය.
කෙසේ
නමුත් ධනවර්ධන පරපුරේ ඇත්තෝ නැති
බැරි කමකදී වත් අනුන්ට අතපෑමට
නොකැමැත්තෝය. එකල
සිංහල අවුරුද්දට හා වෙනත් දාන
මාන අවස්ථා වලත් සාමාන්‍ය අවස්ථා වලත්
නිවසට පැමිණි නෑදෑයන්ට ද දැන් දැන් මේ නිවස
හා නිවැසියන් අමතකව ඇති සෙයකි. ඉඳහිට
මළ ගෙයකදී හෝ මග තොටදී
ඇතැම්
නෑදෑයෝ හමුවෙති. මගුල් උත්සව සඳහා නම් දැන්
ආරාධනා ලැබෙන්නේ නැති තරම්ය. ලැබුණත්
ඒවායේ හරි හරියට පෙනී
සිටීමට දැන් සුදු හාමිනේටත්
දරුවන්ටත් ඇඳුම් පැළදුම් හා
කණකර අබරණද නැත. එසේ ඇතැම්විට
හමුවන නැන්දලා,මාමලා, ලොකු තාත්තලා, ලොකු
අම්මලා මාලිකා ට උපදෙස් දෙන්නෝ
මෙසේ කීවෝය.
"දැන්
මොකටද දූ තවත් ඉස්කෝලේ
යන්නේ? මොකෝ ඒ ලෙවල්
කරල කැම්පස් යන්නෙයි? අම්මට ඒ තරම් වියදමක්
කරන්නත් බැහැනේ. දැන් තියෙන්නේ ගුරු
පත්වීමක් අරන් අම්මටයි මල්ලිටයි
උදව් කරන්න."
ඒ අවවාද අකුරටම ඉටු කරන බව
හඟවන්නාක් මෙන් මාලිකා අහිංසකව
හිස වැනුවාය. නමුත් හිත ඇතුළෙන් කෙසේ
හෝ ඉහළටම ඉගෙන ගනිමියි ඈ
අදිටන් කර ගත්තාය.
ඇතැම්
දිනක මාලිකා ට පාසල් යාම
මග හැරෙයි. ඒ බස් රථ
ගාස්තුව නැති කමෙනි. සපත්තු
කුට්ටමේ එකක් කැඩී තිබුණෙන්
එය අලුත්වැඩියා කිරීමට ගැසූ ටින්ටෙක්ස් ඇණයක්
අනික් කකුලේ වළලු කරේ ඇනීමෙන්
ඇතිවූ තුවාලය ටිකෙන් ටික ලොකුවී සත
විසි පහේ කාසියක් තරම්
ලොකු වූ බැවින් ඒ
කකුලට සෙරෙප්පුවකුත් අනික් කකුලට සපත්තුවත් දාගෙන සති දෙකක් පමණ
පාසල් යන්නට සිදු විය. නිල
ඇඳුම් ද දුර්වර්ණ වී
ඇත. මල්ලි නම් රබර් සෙරෙප්පු
කටු දෙකක් දා ගෙන නිවෙස
ආසන්නයේ ඇති ගමේ ඉස්කෝලෙට
යයි. ඒ නිසා වැඩි
වියදමක් නැත. කෑම ප්රශ්නයත් උග්‍ර වෙයි.
ඇතැම් දිනවල ආහාරය වන්නේ වත්තේ ගසකින් කඩාගෙන තැම්බූ නොමේරූ කොස් ගෙඩියක් හා
පොල් සම්බෝලයකි. උදේටත් දවල්ටත් රෑටත් එකම ආහාරය එය
වෙයි. වෙනදා ගෙදරටත් මල් මල් වොයිල්
ඔසරිය ඇඳීමට පුරුදුව සිටි සුදු හාමිනේගේ
ඇඳුම දැනට ටික කලකට
පෙර සිට බාල කපු
රෙද්දෙන් මැසූ දිග ගවුමක්
බවට පත්ව තිබුණේය. එයද
දැලි කුණු වැකි ළිපේ
දැමුවාට පිළිස්සෙන්නේ නැති තත්වයකට පත්වී
ඇති සෙයකි.
වැස්ස
තුරල් වී ගියේය.. ධනවර්ධන
මහත්තයාගේ සිත තව දුරටත්
කල්පනා ලොවක කිමිදෙ න්නට
විය. සිය දියණියගේ අසරණ භාවය ඔහුගේ
සිත පාරවන්නේ වරක් දෙවරක් නොවේ.. දැන් ඉතින් රැකගැනීමට
නම්බුවක් තවත් ඉතිරිව නැතැයි
ඔහුට හැඟුණි. ඔහු දුක පිටට
පෙන්වන තාලයේ කෙනෙකු නොවේ. වැස්ස නිමවීමත් සමග හිරු බැස
යාමත් සිදුවූ නිසා ඒ දවසත්
නිමාවට පත් විය. ධනවර්ධන
මහත්තයාගේ සිතුවිළි රැල්ලත් එක්තරා වෙරළකට සේන්දු විය.
පසුදා
ටයි කෝට් ඇඳ ගත්
ධනවර්ධන මහත්තයා ගෙදරින් සුපුරුදු පරිදි පිටව ගියේ අලුත්
සිතුවිල්ලත් සමගයි. ඔහු ටික වෙලාවකින්
ආපසු ආවේ තවත්
කෙනෙකු සමග ඒ තැනැත්තාගේ
ලොරි බාගයෙනි. ධනවර්ධන මහත්තයා ඔහුත් සමග ඉස්තොපුවට ගොඩවී
හාන්සි පුටුව ඒ තැනැත්තාට පෙන්
වීය. ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳෙණු පෙනුණි. ඉන්පසු හාන්සි පුටුවේ රෙද්දත් මෙට්ට කබලත් ඉවත් විය.
" මොකක්ද
තාත්තේ ඔය කරන්නේ ?" සුදු
හාමිනේ විමතියෙන් ඇසුවාය.
"ඒක
මගේ වැඩක්. උඹල පැත්තකට වෙයල්ලා."
ධනවර්ධන මහත්තයාගේ හඬ ස්ථිර සාරව
ඇසී ගියේය. “ඔන්න රාළහාමිට මං
ඕනෑවටත් වැඩි මුදලක් මේ
දෙන්නේ. අපි ඉතින් එදා
ඉඳන් දන්නා මිනිස්සුනේ.” කියමින් අර පුද්ගලයා ධනවර්ධන
මහත්තයාගේ අතට නිල් කොළ
කීපයක් දුන්නේය. ඉන් පසු හාන්සි
පුටුව ලොරි බාගයට දමා
ගත්තේය. ලොරි බාගය හෙමින්
හෙමින් ඇදී පාර දිගේ
පිටත්ව ගියේය. සුදු හාමිනේත්, මාලිකාත්,
සමන්තත් දුක්මුසු මුහුණින් ඈතට ඈතට ඇදී
යන ලොරි බාගය දෙස
බලා සිටින්නට වූහ. ලොරිය ගොස්
අවසානයේ සිය දියණිය වෙත
ගිය ධනවර්ධන මහත්තයා අතේ ගුලිකර තිබුණු
මුදල් ඇය අත තැබුවේය.
"මෙන්න
මේක ගනින්. අරන් ගිහින් උඹට
අඳින්න ඇඳුම් කෑල්ලක් ගනින්.
ඉතුරුවා ගෙදර අඩුපාඩු ගන්න
වියදම් කරපන් "
සුදු
හාමිනේගේ ගිලීගිය
සෝමාරි දෙනෙතින්
කඳුළු කැට දෙකක් වැටෙනු මාලිකා දුටුවාය. ඒ කඳුළු කැට
හාන්සි පුටුව නැතිව පාළුවට ගිය ඉස්තොපුවේ බිම
වැටී ගඩොල් වලට උරා ගත්තාද
නැත්නම් පවනට වියළී ගියාද
යන්න නිශ්චිත නොවීය.
©2021MaliniGanewatta
No comments:
Post a Comment