The Footsteps of a Buddhist Monk දැන් interactive journel එකක් ලෙස ඇත. මේ සටහන් පූජ්‍ය පඤ්ඤාකාර හිමියන් විසින් 2022 දී ඉන්දියාවේ සිදුකළ පා ගමනේ දී කළ ඒවා වේ. මුද්‍රිත පොතේ ඇති කරුණුම දිනෙන් දින ඔස්සේ මෙහි දැක්වේ.
මේ එහි පළමු පිටුවේ සිංහල පරිවර්තනයයයි.
බුදුන් වහන්සේගේ පා සටහන් ඔස්සේ ජර්නලය
– 1 වන දිනය
2022 දෙසැම්බර් 11 වන ඉරිදා
කොල්කටා, ඉන්දියාව
බුද්ධගයාවේ පැවැත්වුණු ජාත්‍යන්තර ත්‍රිපිටක සජ්ඣායනා පින්කමට සහභාගී වී, "පුරාණ පූජනීය බෞද්ධ ධර්ම ස්තූප ව්‍යාපෘතිය" (ධම්මචේතිය) හඳුන්වා දීමෙන් අනතුරුව, භික්ඛු ඡන් හූ, භික්ඛු ඡන් ටින්, භික්ඛු තියෙන් නියෙම් යන ස්වාමීන් වහන්සේලා සහ මම (භික්ඛු පඤ්ඤාකාර) ඇතුළු පිරිස, තායිලන්තයේ පූජ්‍ය භික්ෂූන් වහන්සේලා 100 නමක් සමඟ කොල්කටා ගුවන්තොටුපළෙන් පිටත්ව 2022 වසරේ අපගේ ධුතාංග වන්දනා ගමන ආරම්භ කළෙමු. උදෑසනම ගුවන්තොටුපළට පැමිණි ධම්මචේතිය සංවිධායක කමිටුවේ සාමාජිකයෝ පූජ්‍ය භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය නිරෝගීසුව සහ පූර්වාරක්ෂිත ඖෂධ පූජා කළහ.
පළමු දිනයේ ගමන කිලෝමීටර 25 ක පමණ දුරක් විය. අපි දිගු පාලම් පසුකරමින්, පාර දෙපස ඇති අබලන් ගෙවල්, ජනාකීර්ණ වෙළඳපොළවල්, අධික රථවාහන තදබදය සහ එකිනෙකා තෙරපෙන ජනකාය අතරින් පාගමනින් ගියෙමු. කුණු කසළ ගොඩවල්වල ඌරන් සහ ගවයන් ආහාර සඳහා තරඟ කළ අතර, ප්‍රදේශය පුරා තද දුර්ගන්ධයක් පැතිර තිබුණි. මෙම ගමන කිලෝමීටර 25 කට වඩා ස්වල්පයක් වූවත්, ගල් කැබලි, කැඩුණු මැටි බඳුන් කැබලි සහ දෙපා පිච්චී බිබිලි දමන තරම් රත් වූ තාර පාරවල් දිගේ පළමු වතාවට පාවහන් නොමැතිව ගමන් කළ මට එය බෙහෙවින්ම වෙහෙසකර විය.
තබන තබන සෑම පියවරකදීම බුදුන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ආදරය හා ගෞරවය තවත් වැඩි විය. මගේ දෙපා රිදෙමින්, පිච්චෙමින් බිබිලි දමද්දී, මට වැඩි වැඩියෙන් සිහිපත්වූයේ උන්වහන්සේ පිළිබඳවමය. උන්වහන්සේ තමන් වහන්සේ සමඟ සංසාරික කර්මබන්ධන තිබූ ජනතාව දුකින් මුදවා ගැනීම සඳහා සහ උන්වහන්සේට ධර්මය දෙසීම සඳහා වසර 45 ක් පුරා කඳු, හෙළ, වනාන්තර, ගම්, නගර සහ රටවල් හරහා පාවහන් නොමැතිව පාගමනින්ම වැඩම කළහ. උන්වහන්සේ එකදු දිනකවත් සිය ශ්‍රේෂ්ඨ මෙහෙවර අත්නොහැර අන්තිම හුස්ම තෙක්ම ජනතාවට ධර්මය දෙසමින් ඔවුන්ව දුකින් මුදවා ගත්හ.
දිගු තාර පාර දිගේ පාගමනින් ගිය අපගේ පිරිස අවසානයේ නවාතැන් ගන්නා ස්ථානය වන විහාරස්ථානය වෙත ළඟා වූහ. විහාරස්ථානය දෙසට තැබූ අවසාන පියවරයන් ලෙහෙසි පහසු නොවීය. කුඩා හා විශාල ගල් කැට මෙන්ම බොරළු ද මගේ පිලිස්සුණු දෙපාවල වැදී තුවාල කරමින්, මගේ කයට මෙන්ම සිතටද දැඩි වේදනාවක් ගෙන දුන්නේය. අවසානයේ, අප ඉදිරියේ ඉතා රමණීය නවාතැනක් දර්ශනය විය. අප අතරින් එක් එක් කෙනා තමන්ට ගැලපෙන ස්ථානයක් තෝරාගෙන විවේක ගැනීම සඳහා කූඩාරම් අතුරා ගත්හ. කූඩාරම් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් වෙරළ බෑවුම දිගේ, තැනිතලා ප්‍රදේශයට සහ වැව දෙසට ව්‍යාප්ත වන පරිදි සකස් කර තිබුණි. වේලාව බලන විට පස්වරු 2 පසුවී තිබූ අතර, දහවල් දානය සඳහා වේලාව ඉක්මවා ගොස් තිබූ බැවින්, පිරිස දවසේ ඉතිරි කාලය පුරා පැන් පමණක් පාරිභෝග කළහ.
නවාතැන් ගැනීමට ස්ථානයක් පිළියෙල කරගත් පසු, මම විවේක ගන්නා ස්ථානය වටා වැනෙමින් ඇවිද ගිය අතර, එහිදී භික්ෂූන් වහන්සේලා දෙනමක් වාඩි වී ඉඳිකටුවකින් පාදවල ඇති බිබිලි විදිනවා මට නිරීක්ෂණය විය. මම කුතුහලයෙන් බල සිටින අතරතුර, එක් භික්ෂූන් වහන්සේනමක් මට වාඩි වන ලෙස පවසා තායි භාෂාවෙන් මෙසේ වදාළහ, "මෙම ඉඳිකටුව භාවිත කර බිබිලි විද, ඒ තුළ ඇති ලේ සහ දියර එළියට යැවීමට සලස්වන්න." මමද උන්වහන්සේ පැවසූ පරිදිම කර ඉදිමුම අඩු කර ගත් අතර, එය මට සැහැල්ලුවක් ගෙන දුන් අතර ඇවිදීමද බෙහෙවින් පහසු කළේය.
ඉන්පසු භික්ෂූන් වහන්සේලා පිරිත සජ්ඣායනා කර, මෛත්‍රී භාවනාව පැතිරවූ අතර, පසුදින අලුයම 3 ට ආරම්භ වන ගමනේ දෙවන දිනය සඳහා සූදානම් වෙමින් විවේක ගත්හ. අනන්ත වූ අහස යට, අන්ධකාරයෙන් වටවී ඇති මෙම ධුතාංග වන්දනා ගමනේදී, පුරාණ පූජනීය බෞද්ධ ධර්ම කෝෂ ස්තූප ඉදිකිරීමේදී සියලු සත්ත්වයන් සමඟ යහපත් සබඳතාවන්හි බීජ වැපිරීමට මම අධිෂ්ඨාන කර ගත්තෙමි. සැමදෙනා සමඟම කුසල් බර සබඳතාවයක් වර්ධනය කර ගැනීමට මම බලාපොරොත්තු වෙමි. සියලු සත්ත්වයෝ මුළාවේ වෙරළෙන් එතෙර වී අමාමහ සම්බෝධිය නමැති නිවන් වෙරළට ළඟා වීම සඳහා සැමවිටම සම්මා දිට්ඨිය සහ ප්‍රඥාව ලබා ගනිත්වා!
මතු සම්බන්ධයි!
No comments:
Post a Comment