Saturday, September 20, 2025

ලේලි - 1

 ලේලි - 1


මේ අපි ලක ලෑස්ති වුණේ අටවැනි වෙනි මනමාලයා ගෙවල් දොරවල් බලන්න එන දවසේ එයා පිළිගන්න. ඒ වෙනකොට පළවැනි එක්කෙනා එද්දි වගේ කෝල ගතියක් නෑ. පළවෙනි එක්කෙනා එද්දී හරිම වදයක් නේ වින්දේ අම්මත් තාත්තා එක්ක යාලු වෙලා නේ කසාද බැඳලා තියෙන්නේ. ඉතින් මනමාලයෝ ගෙදරට එන එක ගැන අදහසක් එයාට තිබුණෙ නෑ.
හැබැයි නැන්දලා බලන්න මහ ගොඩක් මනමාලයෝ ඇවිත් තිබුණ නිසා තාත්තා නම් ඒ ගැන දන්නවා ඇති කියලා හිතුවට තාත්තාට අපි උපන් දිනයක් වත් මතක නැති එකේ ඒවා කොහොම මතක හිටින්නද?
ඉතින් දන්න දන්න අයත් එක්ක කතා කරලා එදා තේ මේසයක් එහෙම හදලා ලෑස්ති කළා නොම්මර එකට. උපාධිය පාස් වෙලා හිටියට මං එතකං රස්සාවකට ගිහින් හිටියේත් නෑ. කැම්පස් ගිහිනුත් කවුරුවත් එක්ක යාලු වුණේ නෑ කියලා අම්මා ටිකක් නෝක්කාඩුවෙනුයි හිටියේ. ඒ වෙන මොනවත් නිසා නෙවේ. අපිම යාලු වෙලා බැන්දොත් එයාලගේ වගකීම් අඩුලු. එයාලා හොයල දීලා ඒක නරක පිට පෙරලුනොත් එයාලට ඒකේ වගකීම් ගන්න වෙනවලු. එදා නුහුරු නුපුරුදු සාරියකුත් පටලවාගෙන බුලත් තට්ටුවකුත් ලෑස්ති කරගෙන මනමාලයා එනකම් බලා හිටියේ පපුවත් ගැහි ගැහී. එයාලා ඇවිත් ගියා ගියාමයි කිසිම ප්රතිචාරයක් තිබුණෙ නෑ.
ඔය විදියට තේ මේස හතක් මේ වෙද්දි හදලා හොඳ පළපුරුද්දක් ලැබිලයි තිබුණේ. ඒ විතරක් යැ. ආව අය හතර දෙනෙක් ම මට කැමති වුණා නේ. සමහරු නම් එකම දරුවා වෙච්චි මගේ දේපළට කැමති වුණා වගේ කියලයි අම්මා කිව්වේ. මං එයාලට කැමති වුණේ නෑ. ගම්පෙරළියේ නන්දට වගේ මට එයාලගේ මොකක් හරි ඇදයක් පෙනුණා. එක්කෝ මහත වැඩී. එක්කෝ උස වැඩී. එක්කෝ බුම්මටුයි. එක්කෝ හොඳට ඉංග්රීසි බෑ. (ඒක බලාගත්තේ තාත්තා අනිවාර්යයෙන්ම එන එන මනමාලයා එක්ක ඉංග්රීසියෙන් කතා කරන නිසා හා කාමරයේ ඉඳන් මං ඒක අහගෙන හිටි නිසා.) එක්කෝ ඇඳුම හරි නෑ. ඔය මොකක් වත් නැත්නම් වෙන්න නැන්දම්මා හරි නෑනලා හරි, හරි නෑ. වෙන්න මාමණ්ඩිලා මස්සිනාලා ගැන නම් නරකක් හිතුණෙම නෑ.
ඒ මදිවට මං මේ වෙද්දී ජාතික පාසලක උපාධිධාරී ගුරු මෙනවියක් නේ. ඉතින් මටෙයි කියලා ආඩම්බරයක් නැතුවයි. ඔන්න ඔහේ මේ සැරෙත් ඇවිත් ගියා වේ කියලයි හිතන් හිටියේ. කතාවකුත් තියෙනවනේ අහලා ගියත් මදැයි කියලා!
ඔන්න ඉතින් මෙදාපාර අලුත්ම අලුත් සුදුපාට ටොයෝටා කොරොල්ලා එකක් ගේට්ටුවෙන් ඇතුළු වෙලා පෝටිකෝව යට නැවැත්තුවා මං බලා හිටියේ ඉස්තෝප්පු කාමරේ ජනෙල් රෙද්දට මුවාවෙලා. අම්මයි තාත්තයි ඉස්සරහට ගිහින් ආයුබෝවන් කියලා බැස්ස අය පිළිගත්තා. මුලින්ම සිටියේ වෙන්න නැන්දම්මා. ගනණට උස මහත සිරුරක් තිබුණ ඈ වටිනා ඔසරියක් ඇඳගෙන හිටියා. ඊළඟට වෙන්න මාමණ්ඩියයි වෙන්න නෑනණ්ඩියයි බැස්සා. නෑනණ්ඩිගේ සාරියත් ඈත් හැඩට පෙණුනා. අන්තිමට බැස්සේ මනමාලයා. පෙනුම නම් නරකට තිබ්බේ නෑ. ටිකක් තළෙලු පාට වුණාට කඩවසම් පෙනුමක් තිබුණා. කොහොම වුණත් ඉංජිනේරු මහත්තයෙක් නේ. හිතට ආඩම්බර ගතියකුත් ආවා.
අම්මලා තාත්තලා කතා කරලා ඉවර වෙලා මට සංඥාව දුන්නම මං බුලත් තට්ටුවත් අරන් සුපුරුදු රඟපෑම කරන්න ඉස්සරහට ගියා.













No comments:

Post a Comment