ලේලි - 2
වෙනදා බුලත් තට්ටුව දෙනකොට මනාලයාගේ මූණ බලනවට වඩා මෙදා මට අමුත්තක් දැණුනා. මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා වගේ. එයත් මං දිහා බැලුවේ බැල්ම ඇඟ ඇතුළට කා වදින්න.
බුලත් තට්ටුව අරන් ස්ටූල් එක උඩ තියලා මට එයා ළඟින් වාඩි වෙන්න කිව්වා. මං ටිකක් ඈත්වෙලා ඉඳගෙන සාරි පොට අරන් සීරුවට උකුළේ තියාගත්තා. ඊළඟට මනුස්සයා ගේ ඇඳුම දිහා එහෙම ටිකක් බැලුවා ඇස් ගැටෙන්න නොදී. වරදක් නෑ. සිම්පල් ඇන්ඩ් ස්වීට්. ඇද කුදයක් කියන්න බෑ. එයත් කතා කරන්න වචන හොයනවා වගේ දැනුණේ.
"ඉස්කෝලෙ හොඳද සුරංගී?"
කතා කරන්න වෙන දෙයක් නැද්ද මන්දා? ඉස්කෝල නරක ඒවා තියෙනවයැ. මගෙ කට කහන පළීයට කතා කරන්නත් බෑ නේ.
"හොඳයි. ළමයින්ට නේ උගන්වන්නේ. නරක ළමයි කියලා ජාතියක් නෑ" මං වෙන විදියකට උත්තර දුන්නා. ඒත් එක්කම මට අම්මා දිහා බැලුණා.
අම්මා මට විතරක් පේන්න දබරැඟිල්ල තොල උඩ තිව්වා. අරයා ඒක දැකලද මන්දා කට වහගෙන හිනා වුණා.
"දූට තාම පුරුදු නැතුව ඇති. තාම මාස දෙක තුනයි නේ ගිහින් " ඒ මගේ වෙන්න නැන්දම්මා.
මොකෝ මට පුරුදු නැත්තේ. මං විශ්ව විද්යාලයෙත් අවුරුද්දක් ඉගැන්නුවා මිසක් පොල් ගෑවයැ. ඒත් ඉතින් නෝ කතා! මටත් කතා කරන්න දවසක් ඒවිනේ!
"ඔව් ටික ටික පුරුදු වෙනවා."
"මං ඉතින් අවුරුදු තිහක්ම දැන්."
උන්දැත් ටීචර් කෙනෙක් බව මට එවෙලෙයි මතක් වුණේ. එයත් සාමාන්ය පෙළ මැත්ස් ටීචනේ. ඉතින් පුතණ්ඩිය ඉංජිනේරුවෙක් කරන්නම උගන්නගෙන තියෙන්නේ ඔය.
" නංගී දිගටම ටීචිං ඉන්නවද?"
ඒ මගේ වෙන්න නෑනා. එයා තමන්ගේ උප දිසාපති පට්ටමේ ලොකුව ඔළුවට අරන් වගේ.
"ඔව් මං ටීචිං වලට ආසයි."
"ආස නම් කමක් නෑ. මං ඕක කළේ මාස හයයි. ඊට පස්සේ එස් එල් ඒ එස් ගත්තා. ඔයා වුණත් වයස යන්න කලින් ඕන නම් ජොබ් එක වෙනස් කර ගන්න ඕන. ඉහළ තත්ත්වයක එකක් නම් වටිනවනේ! "
නෑනා පොඩ්ඩගේ කියවිල්ල ඉවර වෙන්නේ නෑ නේ. මොකද උපාධි ගුරුවරියකට තත්ත්වයක් නැතුවයැ. මට ඕන නම් මං දැනටත් මාස්ටර් කරමින් ඉන්න එකේ කැම්පස් එකේ ලෙක්චර් පෝස්ට් එකක් ඉල්ලනවා නේ.
" කොච්චර වුණත් ගෑනු ළමයින්ට හොඳ ටීචිං තමයි" නැන්දම්මා හොට දාපි.
" ගෙදර වැඩ කටයුතු ටිකත් බලාගෙන රස්සාවත් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් නේ!" එයාගේ අදහස් තහවුරු කරන්න අනුපානත් එකතු කළේ ඔය.
අනේ මන්දා මට නම් ගෙදර ඇවිල්ලත් පැය ගණනක් ඉස්කෝලේ වැඩ. ප්රශ්න පත්රය හදන්න ලේසියෙන් බෑ. පරණ ඒවා කියවලා ළඟදිම නොදීපු ප්රශ්න තෝරලා එහෙම. සෑහෙන්න මහන්සි වෙන්න ඕන. ඔන්න නැන්දම්මේ මට කියලා ගෙදර වැඩ ඔක්කොමත් කරගන්න හිතනවා නම් ඒ අදහස දැම්මම හිතින් අයින් කර ගත්තොත් හොදයි හොඳේ.
" අද හස්බන්ඩ්ට බිස්නස් වැඩක් ඒකයි එන්න බැරි වුණේ." නෑනා එයාගේ ස්වාමිපුරුෂයා මේ වැඩේට නොඒම ගැන හේතු දැක්වූවේ උන්නැහේ ගේ සල්ලිකාරකමත් ඒ වගන්තියට එකතු කරලා. විදුලි උපකරණ සම්බන්ධ ව්යාපාරයක් කරනවා කියලා නේ තිබුණේ.
තාත්තයි මාමණ්ඩියයි ඉංග්රීසියෙන් මොනවද දේශ පාලන කතාවක්. අපේ ඒවට අවධානයක් තිබුණෙ නෑ. නීතිඥයෝ දෙන්නෙක් එකතු වුණහම හරියට අලුත් කඩේ වගේ නැතුවයි. මෙදා සැරේ තාත්තටත් හරියන මස්සිනෙක් ලැබිලා වගේ.
මනමාලයා නම් හිනා වේ ගත්ත ගමන්මයි හිටියේ. කතා කරන්න අක්කගෙයි අම්මගෙයි අවසරය ඕන නිසාද කියලත් මට හිතුණා. හැබැයි ඇස් දෙක නම් නිතරම තිබුණෙ මා ගාව.
"ඇත්තටම මිසිස් රණසිංහ මට ඕන මගේම දුවෙක්. මට ලේලිලා ඕන නෑ" ඒ පාර අපේ අම්මා අමතමින් නැන්දම්මා පටන් ගත්තා. අම්මේ! ඒ වචනවල ලස්සන. මට මී පැණියි අලිගැට පේරයි මතක් වුණා.
ඉතින් මං මේ ගෙදර එකම දූ පොඩිත්ත තමයි. ඒක වෙනස් කරන්න මේ සම්මජාතියේ කාටවත් බෑ හොඳේ නැන්දම්මා!
තව ටිකක් වෙලා දෙපැත්තේ පම්පෝරි වලට ගත වුණා. ඊළඟට අම්මා මට දුන්න සංඥාව අනුව මං නැඟිටලා ගිහින් මේසේ උඩ පොඩි බන්දේසියක ලෑස්ති කරලා තිබුණ වතුර වීදුරුව අරන් ඇවිත් මුලින්ම වෙන්න නැන්දම්මාටයි ඊළඟට වෙන්න නෑනාටයි ඇල්ලුවා.
ලේඩීස් ෆස්ට්... යුරොපයේ අනතුරුදායක අවස්ථාවලදී මුලින් ගෑනු බේරගන්න ඇති කරගත් එකක් දැන් හැම එකටම ගන්නවනේ.
"තේ ටිකක් බොමු නේද?" ඒ අපේ අම්මා.
මං අරයට වීදුරුව දුන්නේ අන්තිමට. මගේ මූණ කන්න වගේ බලාගෙන ඒක අතටම ගත්තේ නැතැයි. අරන් වතුර ටිකක් බිව්වත් එක්ක. ඒකට එයාගේ අම්මා එයාට රැව්වා මට යට ඇසින් පෙනුණා.
කට්ටිය නැගිටලා තේ මේසෙට ගිහින් වාඩි වුණා.
"මෙයාගේ වැඩ තමයි" අපේ අම්මා අතිශෝක්තියට බර වුණා. මං හදන ඕන කෑමක දොසක්ම දකින අම්මා කවුරුහරි ඉස්සරහ නම් වරුණාව ඉවරයක් නෑ. තේ මේසේ කේක්' කැවුම්, කොකිස්, හැලප, වැලිතලප, කෙසෙල් වගේ ඒවා පුරවලා තිබුණා. කේක් එක නම් හැදුවේ මං තමයි.
"අපෝ ඔය කැවුම් නම් මං හැදුවේ නෑ. මට ඕවයේ කොණ්ඩ ගන්න බෑ" ඒ සැරේ නම් මගේ කටට බ්රේක් නැති වුණා. අම්මා හොරෙන් මට රැව්වා.
"හැමෝටම හරියට කැවුම් හදන්න බෑ තමයි" වෙන්න නැන්දම්මා කිව්වේ එයාට ඒක පුළුවන් බව වක්රව කියන එක කියලා මට තේරුණා.
එයාගේ ඇස් ඒ අතරේ ගේ පුරා කැරකුණා. ඒ ගෙදර අපේ පරම්පරාවේ උරුමය නේ. බැලූ බැල්මට වලව්වවක ස්වරූපය තියෙනවා. ඉස්තෝප්පුව, සාලය, බරාඳය, සොල්දරය නිදන කාමර වගේම අලුතින් හදපු නාන කාමර ඔක්කොම අම්මා හොඳට ගේ නඩත්තු කරනවනේ.
ඒ වගේම ඇන්ටික් වටිනාකම තියෙන ගෘහ භාණ්ඩ ඕන කෙනෙකුගෙ හිත ඇදිලා යන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.
අර කැවුම් කතාව ඇහිලා තාත්තා කට දැම්මා.
"මෙයාටත් ඉතින් බතක් පරිප්පුවක් හදාගන්න බැරි නෑ. අනික්වා නම් ඉතින් ඔය සුකුරුත්තං කෑම තමයි. හැබැයි අපරාදේ කියන්න බෑ මෙයා ඒවා නම් හොඳට හදනවා" තාත්තා ඇත්තම කිව්වා. මෙයාලා ගියාට පස්සේ තාත්තාට කන්වල ඇඟිලි ගහගෙන සෑහෙන වෙලාවක් ඉන්න වේවි බව අම්මාගේ ඇස් දෙක මට කිව්වා.
පුතණ්ඩියා ඇතුළු හැමට කන්න නම් බැරි කමක් නැති බව පෙනුණා. මේසේ තිබුණ ඒවා තුනෙන් දෙකකට එයාල වග කියලා තිබුණා.
තේ බීලා ඉවර වෙලා සාලයට ගිහින් තමයි මාමණ්ඩී කට ඇරියේ.
"දෙන්නා කැමතී නම් මේ වැඩේට අපි කැමතී"
"ඔව් හඳහන් දෙකත් හොඳටම පෑහෙනවා. වෙන බලන්න දෙයක් නෑ" ඒ අපේ තාත්තා.
මං අරයගේ මූණ බැලුවා. එයා ඔළුව වනලා අමුතු හිනාවක් දැම්මා. ඒ කියන්නේ කැමති ද අකමැති ද
"එහෙනම් අපි ඒ දෙන්නට ටිකක් කතා කරගන්න දෙමු නේද?" ඒ මාමණ්ඩියා.
"අද කාලේ ඉතින් ෆෝන් වලින් ඕන තරම් කතා කරන්න බැරුවයැ." ඒ අපේ තාත්තා.
ඒත් එක්කම අපි දෙන්නා සාලේ ඉඳිද්දි එයාලා ඉස්තෝප්පුව පැත්තට ගියා.
මට ටිකක් මොකක්දෝ වගෙ හිතුණා. පපුව පොඩ්ඩක් විතර ලබ් ඩබ් සද්දේ වැඩි කළා. ඒත් පොඩි වෙලාවකින් මං මමම වුණා.
"ඉතිං සුරංගී?"
"ඉතිං තමයි."
"මොකද ඔයාගේ අදහස? "
" මොකක් ගැනද? "
" මං ගැන ළමයෝ "
"මිස්ටර් සමන්ත සපරමාදු! ඔන්න ඔය ළමයෝ කතා මට ගැළපෙන්නේ නෑ. මං සුරංගී. අවුරුදු විසි හයක තරුණියක්. ළමා කාලය පහු වෙලා අවුරුදුම අටක් හොඳේ " මං දබරැඟිල්ල උරුක් කරලා කිව්වා.
" අම්මෝ මෙයාගේ සැර. හරි සුරංගී මං ගැන අදහස මොකක්ද? "
" තව ටිකක් හිතන්න ඕන" මං ගණන් ඉස්සුවා. විලියම් කුමාරයට වුණත් සුදුසු මට නිකම්ම එක පාරට මේ ඇටිකිච්චෙකුට හා කියන්න බෑ නේ.
"මොනවද?"
"මේ ගැන."
"මං නම් කැමතී."
"බලමු."
" හා මං ඔයා හිතලා කියන කම් ඉන්නම්. "
" මීට කලින් මනමාලියෝ බැලුවේ නැද්ද?"
"බැලුවා."
"කීදෙනෙක් ද?"
"පහළොවක් විතර."
"අම්මෝ... ඒ කවුරුවත් ළඟ නැති මං ළඟ තියෙන දේ මොකක්ද?"
" මට ඒක තේරෙන්නෑ. මට ඔයාට හිත ගියා."
" කැම්පස් එකේ කෑලි හිටියේ නැද්ද?"
"ඔයාට හිටියද?"
" නෑ. මට හරියන කෙනෙක් හම්බවුණේ නෑ "
"මට නම් දෙක තුනක් ළාවට තිබිලා නැති වුණා."
මනුස්සයා ඇත්ත කියනවා වගේ.
" ඔයත් මීට කලින් මනමාලයෝ බලලා ඇතිනේ
"නැතුව? ඔයා අටවෙනියා. හැබැයි මං ඒ කාටවත් කැමති වුණේ නෑ."
"ඒ කියන්නේ මට කැමතී."
මෙයත් ලේසි පාසු නෑ වගේ. ඒත් මං එක පාරට කැමැති බව ඇඟෙව්වේ නෑ.
"මං කිව්වනේ තව ටිකක් හිතන්න ඕන."
No comments:
Post a Comment