Wednesday, December 25, 2019

සාමාන්‍ය ජෛව සමුදාය (Normal Body Flora) හෙවත් අපේ ශරීරයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන්









සාමාන්‍ය ජනතාව විෂ බීජ වලට අසීමිත බියක් දක්වන බව පෙනී යනවා. ඒ විෂ බීජ නැත්නම් ක්ෂුද්‍ර ජීවීන් සියල්ලම රෝග කාරක කියල හිතන නිසා.

මොනවාද මේ විෂ බීජ කියන්නේ?

බැක්ටීරියා, වයිරස් හෝ දිලීර කියන ක්ෂුද්‍ර ජීවී වර්ග වලට අයිති ජීවීන් තමයි බොහෝ කොටම. මැලේරියා , ඇමීබයෝසිස් වගේ රෝග ඇති කරන්නේ නම් ප්රෝටෝසෝවා කියන වර්ගයට අයිති  ජීවීන්.

ජනතාව බොහෝ විට හිතන්නේ තමන් ඇර අනික් හැමෝම ලඟත් අවට පරිසරයේත් විශේෂයෙන්, රෝහල් ,මළ ගෙවල් වගේ තැන් වල මේ විෂ බීජ හුඟක් තියෙනව කියලයි. (රෝහල් වල නම් ඇත්තටම Hospital Flora කියල වෙනම විෂබීජ සංයුතියක් තියෙනවා. )

නමුත් ඇත්ත නම් අපි කාගේත් ශරීර මත, ඒ කියන්නේ සම මත, මුඛ කුහරය, උගුර ඇතුළු ඉහළ ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය, මෞත්‍ර ලිංගික ප්‍රදේශ වල සිටින ක්ෂුද්‍ර ජීවී සෛල සංඛ්‍යාව අපේ ශරීරය හැදිලා තිබෙන සෛල සංඛ්‍යාවටත් වඩා වැඩි බවයි. මේ ජීවීන් අපි මෙලොවට ඉපදිලා ටික වෙලාවකට පසු අපේ ශරීරයේ ස්ථාපිත වෙලා අපි මැරෙන කම්ම අපිත් එක්ක ඉන්නවා.  මේ ජීවීන්ට තමයි කියන්නේ සාමාන්‍ය ජෛව සමුදාය (Normal Body Flora ) කියල. මේ ගොඩට වැඩියෙන්ම අයිති බැක්ටීරියා හා ඇතැම් දිලීර. වයිරස හා පරපෝෂිත ජීවීන් මේ ගොඩට අයිති නැහැ.

ඔබ බොහෝසේ වර්ණනා කරන සම, කෙස්, තොල් ආදී අවයව මත මේ ජීවීන් බහුලව ඉන්නවා.

සාමාන්‍ය ජෛව සමුදායේ වැදගත්කම කුමක් ද

 1. මේ ජීවීන් අපිට උදව් කරනවා. මොකකට ද ?

a)අපිට ලෙඩ හදන වෙනත් විෂ බීජ වලින් අප ආරක්ෂා කරනවා.
b) අපට පාවිච්චි කරන්න පුළුවන් යම් යම් පෝෂක නිපදවනවා. උදාහරණ විදියට ආහාර මාර්ගයේ බැක්ටීරියා බයෝටින්, විටමින් B 12, ෆෝලික් අම්ලය, තයමින් හා විටමින් K නිපදවනවා.

2) මේ ජීවීන් ඇතැම්  විට අපට හානි කරනවා. උදාහරණ විදියට දත් කුහර ඇති කිරීම, මුඛයේ තුවාල ඇති කිරීම හා වෙනත් රෝගී තත්වයන් ඇති කිරීම

3)  මේ සමහර ජීවීන්සහභෝජීන් විදියට ඒ කියන්නේ අපිට උදව්වක් හෝ හානි කිරීමක් නැතුව පවතිනවා.

කෙසේ නමුත් නිරෝගී පුද්ගලයන් ගේ මේ ජීවීන් සාමාන්‍යයෙන් රෝග ඇති කරන්නේ නැහැ. නමුත් පුද්ගලයා දුර්වල වූ විට රෝග ඇති කරනවා. උදාහරණ විදියට AIDS සෑදුනු කෙනෙකුට හෝ අවයව බද්ධයකින් පසු ප්‍රති ශක්තිය අඩු කිරීමට දෙන ඖෂධ ගන්නා කෙනෙකුට 


ඉතින් මේ ජීවීන් නැති ජීවාණුහරණය වූ ජීවීන් ඉන්නවා ද ?

ඔව් ...හිතන්න සිසේරියන් සැත්කමකින් දරුවෙක් ගත්ත කියල. ඒ දරුවාගේ ඇඟේ ඒ මොහොතේ මේ සාමාන්‍ය ජෛව සමුදාය නැහැ. හැබැයි ටික වෙලාවකින් ඒ දරුවා අතට ගන්නා හෙදිය හෝ වෛද්‍ය වරයා ගෙන් දරුවාට ජීවීන් ඇතුල් වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් උපන් හැටියේ සිඟිත්තා මවගේ සිරුරට ස්පර්ශ වෙන්න දෙන නිසා මවගේ ජීවීන් දරුවට ඇතුල් වෙනවා.  සාමාන්‍ය දරු උපතක දී මවගේ උපත් මාර්ගයේ හා මෞත්‍ර ලිංගික ප්‍රදේශ වල සිටින ජීවීන් මුලින්ම ඇතුල් වෙනවා.

මේ සාමාන්‍ය ජෛව සමුදාය ගැන වැඩි දුර තොරතුරු අනාවරණය වුණේ සතුන් සිසේරියන් සැත්කමකින් එළියට අරන් ජීවාණු  හරිත පරිසරයක හැදී වැඩෙන්න සැලැස්වීමෙන් පසුවයි. එහිදී අපුර්ව සොයාගැනීම් දෙකක් කරලා තියෙනවා.

1. එවැනි ජෛව සමුදාය රහිත සතුන් සාමාන්‍ය සතුන්ට වඩා දෙගුණයක් කල් ජීවත් වන බව
2. මේ කාණ්ඩ දෙකේ සතුන් ගේ මරණ ආකාර දෙකකින් සිදුවීම. ජෛව සමුදාය සහිත සාමාන්‍ය පරිසරයේ ඉන්න සතුන් ආසාදන නිසා මිය යන අතර ජෛව සමුදාය රහිත සතුන් බඩවැල් වල දුර්වලතා නිසා මිය යනවා.

මේ හැර මේ සත්ව කණ්ඩායම් දෙකේ සතුන්ගේ තවත් වෙනස් කම් රාශියක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම මිනිසුන්ගේත් සාමාන්‍ය ජෛව සමුදාය මගින් විශාල බලපෑම් ජීවිතයට ඇති වන බව සොයාගෙන තිබෙනවා.

Thanks for the photo- Photo by Nhia Moua on Unsplash
Ref. https://www.ncbi.nlm.nih.gov/books/NBK7617/

No comments:

Post a Comment