Wednesday, March 8, 2023

නොස්ටැල්ජික් කතා 4 - ඇඳුම්/සීතාම්බර පට

නොස්ටැල්ජික් කතා 4 - ඇඳුම්/සීතාම්බර පට






ඇඳුම් ගැන කතාවක් සැරටම යනවා. අපි නවසිය පණස් ගණන් වල ඉපදුනු අය. කල් ඉකුත් වූ පිරිසක් කියලත් සමහරු අපට පරිභව කරනවා. මං කාටවත්ම කියන්නෙ නෑ අපි හිටපු ඒ අතීතයට යන්න කියලා. මං වුණත් දැන් මේ ජීවත් වෙන්නේ වර්තමානයේ. අතීතය සැබෑවක් බවත් අනාගතය මායාවක් බවත් කවුද කියල තිබුන මතකයි. වර්තමානය තමයි යථාර්ථය.
හැබැයි ඒ අතීතය ගැන සටහනක් තියන්න කාගෙවත් වගක් මට ඕන නෑ. අද අපේ කතාව ඇඳුම්. අපි ඒ කාලේ ඇඳුම් ඇන්දද? ඔව්. පොඩි ගෑනු ළමයි ඇන්දේ ගවුම් පොඩි. පිරිමි ළමයි කලිසම් කමිස පොඩි. අපේ ලොකු නංගී ගැහැනු ළමයෙක් වුණත් කලිසම් පොඩි කමිස පොඩි වලට ආසා වුණා. ඊටත් ඉස්සර කාලේ පොඩි පිරිමි ළමයි ඇන්දේ දිග කමිසයක් විතරයිලු. ඒක පිටිපස්සෙන් පලල පටියක් ගැට ගහල තිබුණලු.
අපි තුන්දෙනාට එකම මෝස්තරයේ රෙද්දෙන් ගවුම් පොඩි මැහුවේ අපේ අම්මා. කරට මන්තය එහෙම දාල, රැළි තියල හරිම ලස්සනට ඒ ගවුම් මැහුවා. සමාන්ය ගමන්බිමන් වලට, ගෙදරට අඳින්න මැහුවේ ජම්පින් ෆිෂ් කියල මාළුවෙක් ගෙ පින්තූරෙ සහිත සීල් එකක් ගහල තිබුණ රෙදි වර්ගයකින්. ඒ රෙදි යාරයක් රුපියල් හතරක් වගේ ගණනක් බව මතකයි. හැබැයි අපට ගවුම් තුන හතරකට වඩා නම් තිබුණෙ නෑ.
උත්සව වලට නම් ටැෆටා, ඕගන්ඩි වගේ වටින රෙදිවලින් ගවුම් මැහුවා. ඒ ගවුම් පිම්බිලා තියෙන්න යටට කැන් කැන් කියලා දැල් වගේ රෙද්දකින් මහපු සායක් ඇන්දා. නැත්නම් ඒ සාය ගවුමටම අල්ලල මහල තිබුණා. අනුරාධපුරයේ නැන්දා මට ඒ වගේ ලස්සන ඇඳුම් මහල දුන්නා. ඈ එම්බ්රොයිඩර් වැඩවලට හරීම දක්ෂයි.
අපේ තාත්ත නැතිවෙලා අපට ආර්ථික අමාරුකම් ආවහම ඇතැම් ළඟ නෑදෑයන්ගේ අක්කලගෙ ඇඳුම් ඉඳහිට අපට ලැබුණා. මං පොඩි කාලෙම අතින් හා මහන මැසිමෙන් මහන්න ඉගෙන ගත්තා. අම්මගෙන් තමයි ඒ ගුරුහරුකම් ලැබුණෙ. මාමලගෙ පරණ කමිස කපල බ්ලවුස් මැහුවා. ඒවයෙ මූට්ටු නොපෙනෙන විදියට මල් මැහුවා. අත්තම්මාගෙ දිග සායවල් තිබුණා. ඒවා කපල ගවුම් මැහුවා. පොඩි කාලේ සුදු ඇඳුම් අඳින්න ඕන වුණ වෙලාවට පාසල් ඇඳුමම ඇන්දා.
මෙන්න මේ වගෙ බොහොම අල්පේච්ඡ ජීවිත කාලයක් ගෙවිලා අපි ලොකූ වුණා. සරසවියෙදි පවා මං මමම මහපු ඇඳුම් තමයි ඇන්දේ. ඒවා වර්ණනාවට ලක් වුණා. ලස්සනට ගැලපෙන වර්ණ සංකලන ඒවායේ තියෙනවා කියලා. පාසල් කාලේ අන්තිම හරියෙදි පතරොම් තියල මහන්න පොඩ්ඩක් ඉගෙන ගත්තේ මගෙ මිතුරියගෙ සොයුරිය වසන්ති අක්කගෙන්. හුඟක් පස්සෙ කාලෙදි සිංගර් එකේ මැහුම් පාඨමාලාව බාගෙට කළා.
ඒ කාලේ ඇඳුම් මැහීමේ ව්යාපාරය ආරම්භ වෙමින් තිබුණා. ඇඟලුම් කම්හල් ඇති වුණා. ඇඳුම් සාප්පු විවෘත වෙන්න පටන් ගත්තා. ඒත් ඒ වෙනකොටත් 1980 ගණන්වලදිත් මං පවුලෙ හැමෝගෙම ඇඳුම් මැහුවා. පිරිමි කමිස පවා මැහුවා. පාසල් නිල ඇඳුම් මැහුවා.
ටිකෙන් ටික ජනතාව අර ඇඳුම් සාප්පුවලට ඇදෙන්න පටන් ගත්තා. ඇඳුම් සුලබ වුණා. ටිකක් කල් ඇඳලා ඇඳුම් පැත්තකට කරන්න, විසි කරන්න පෙළඹුණ. මහරගම ඇඳුම් පුරවරයක් වුණා. අපි ජීවත්වූ ප්රදේශයේ හුඟක් කාන්තාවන් ඇඳුම් මසා කඩවලට දැමීමෙන් සිය ජීවිකාව සරි කර ගත්තා.
අලුත් පරපුරේ අය තුළින් ඇඳුම් මැසීමේ ආසාව, උවමනාව අයින් වෙලා ගියා.
උත්සව කාලවලට අර ඇඳුම් සාප්පු පිරී ඉතිරී ගියා. ඒත් මං හුඟක් වෙලාවට ඇඳුම් තව දුරටත් මහගෙන තමයි ඇන්දේ.
ඇඳුම් හුවමාරු කිරීම කියන්නේ අමුතු දෙයක් නෙවේ. ඉඳහිට මිතුරියන් ගෙ ඇඳුම් ඉල්ලගෙන ඇඳල තියෙනවා. සේවයට යන්න පටන් ගනිද්දී සාරි දෙකයි තිබූණේ. අන්තිමට සේවයෙන් විශ්රාම යද්දී සාරි සිය ගණනක් තිබුණා. හැමදාම සාරි හැට්ට, යට සාය මැහුවෙත් මම. ඒ සාරි සේරම හිතවතුන්ට නෑදෑයන්ට පරිත්යාග කළා. පිරිමි ඇඳුම් හා දරුවන්ගේ ඇඳුම් හුඟක් තිබුණා. ඒවා සුබ සාධන අංශවලට පරිත්යාග කළා. දැන් සාරි ඇඳීමක් නෑ. බොහොම සරල ඇඳුම් කීපයක් පමණයි දැන් තියෙන්නේ. මේ රටේ නම් ඒ ඒ
සෘතුව ළඟාවෙන කොට ඒකට ගැලපෙන ඇඳුම් ආයිත්තම් වලින් වෙළඳපොළ පිරී ඉතිරී යනවා. අධි පරිභෝජනය මෙහෙ ජීවන රටාවේ විදිය.
ඔන්න ඔහොම තමයි අවුරුදු හැට ගණනක අපේ ඇඳුම් කතාව. කවදත් ඇඳුම ලංකාවේ ජනතාව රවටන එකක්. යුරෝපීය ඇඳුම ගලවල රෙද්ද බැනියම අඳින්න ගත්තේ ඒ රැවටිල්ල සඳහා තමයි. ඒ සුදු පට පිළි යට තු.. වක්කු පි.. ස්තෝල ඉන බැඳන් ඉන්න බව හුඟක් අයට පෙනුණෙ නෑ. ඉතින් ඇඳුම් අඳින විදිය දේශපාලන සටන් පාඨයක් වීම අමුතු දෙයක් නෙවේ. ඇඳුම් වලට විතරක් නෙවෙයි හුස්ම ගැනීමටත් දේශපාලනය බලපාන බව ඇත්ත.
ඒත් ඒ සමහරු ඇඳන් ඉන්නේ සීතාම්බර පට. සේරම එළියේ වුණත් ඒවා පේන්නේ මෝ.. ඩයන්ට විතරයි කියලයි කියන්නේ. කවුරුවත් මෝ.. ඩ බව පෙන්නන්න කැමති නැති පාටයි. අපි මෝ... ඩයෝ. අපට පේනවා.
Image from Unsplash free images

No comments:

Post a Comment