Saturday, February 25, 2023

නොස්ටැල්ජික් කතා 3 - වැල් ඇඳ ගමනක් යාම

 








නොස්ටැල්ජික් කතා 3 - වැල් ඇඳ ගමනක් යාම


ලණු වලින් වියපු වැල් ඇඳක් ඉස්සර ගෙවල්වල පිළේ ඒ කියන්නේ ඉස්තෝප්පුවේ තියෙනවා. මේ ඇඳට ඇඳ ඇතිරිලි එළන්නේ නෑ. තුන් ඉරියා පන් පැදුරක් දාල ඇඳ ඉහත්තේ කොට්ටයක් තියනවා.
මෙහෙම ඇඳක් අපෙ ගෙවල් දෙකේම තිබුණ.
මෙහෙම ඇඳක් තියෙන්නේ ඇයි කියල සකියනි ඔයාල හිතුවද? මං හිතන්නේ එකක් තමයි වත්තේ පිටියේ වැඩ කර කර ඉඳල ඇවිත් අපේ මුත්තණ්ඩිලාට ලොකු තාත්තාලාට පිට දිග ඇරගන්න.
මුත්තණ්ඩිගෙ දේවල් තමයි මට වැඩියෙන් මතක. මුත්තණ්ඩි තනියම හාන්සි වෙලා ඉන්නවට අමතරව තව එකක් මේ ඇඳෙන් ඉටු වෙනවා. ඒ තමයි මුත්තණ්ඩිගෙ සගයො ආවම බුලත් වංගෙඩියෙන් විටක් එහෙම කොටලා ඒක බෙදාගෙන හප හප අතීත පූචානම් කියවන්න. ලෝක යුද්දෙ කාලෙ කතා, බෝම්බ දාපු හැටි, හැංගිලා හිටපු හැටි වගෙ කතා අහන්න මාත් ආසයි.
මේ ඇඳේ තවත් රාජකාරියක් තමයි දුර බැහැර ඉඳන් ආව ආගන්තුකයෙකුට රෑ නවාතැන් දෙන එක.
කවුරුවත් වැඩිය නැති වෙලාවට ඇඳ උඩ නැගල උඩ පනින එක තමයි අපේ වැඩේ. ඒක හරියට අද නම් ට්රැම්පොලින් එකක පනිනවා වගේ. හැබැයි ඇඳේ වැල් ටික ඇදිලා මැද බොක්කක් හැදෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. එහෙම වුණහම ආයෙ ඇඳ ලණු වලින් වියන්න ඕන. ඒකත් මුත්තණ්ඩීම කළා.
මේ කතාව මං ඉපදෙන්න ඉස්සර එකක්. මට අපේ මව් තුමී තමයි කිව්වේ. ඔන්න එක දවසක් උදේ නැගිටලා බලනකොට ඉස්තෝප්පුවේ තිබුණ ඇඳ නෑලු. මුත්තණ්ඩිට යකා වැහිලා. කවුරුවත් එහෙම හොරකමක් මේ සම්ම ජාතියෙදි කරල නෑලු.
"කවුද මට මේ නොසන්ඩාල වැඩේ කොරපු එකා. මං ඕක ඉතුරු කරන්නේ නෑ" මුත්තණ්ඩි ගිගිරුවලු.
මුත්තණ්ඩි හනි හනිකට මූණ එහෙම හෝදගෙන කෝට් බෑය එහෙම දාගෙන එළියට බැහැලා යන්න ගිහින්. අත්තම්මයි අම්මලයි මාමලයි තබ්බීරි වෙලා ඉන්නවලු.
පැය දෙකකට විතර පස්සේ ඇඳක් කරේ තියා ගත්ත එකෙක් ඉස්සර කරගෙන මුත්තණ්ඩි එනවලු. අර මිනිහ දෙකට නැවීගෙන එනවලු.
ඇවිත් කරේ තිබුණ ඇඳ පිළේ නිසි තැන තියල
"අනේ අප්පුහාමි මට ගහන්න නම් එපා!" කියලා වැඳ වැටිලා.
ඔන්න ඔහොමයි හොරාටම කියල හොරකම් කරපු ඇඳ ආපහු ගෙදරට ගෙනත් තියෙන්නේ.
"හාමිනේ ඔන්න ඕක බඩගින්නේ ඉන්නෙ. හීල්බත් ටිකක් දීල ඒක කාල යන්න කියන්න." කියල හොරාට සලකල තියෙනවා. ඒකා අහල ගමක මිනිහෙක්ලු.
පින්තූරය අන්තර්ජාලයෙන්. මුල් හිමිකරුට තුති!

2 comments: