Friday, February 10, 2023

නොස්ටැල්ජික් කතා 2 - මුත්තණ්ඩිගෙ බැංකුව

 




නොස්ටැල්ජික් කතා 2 - මුත්තණ්ඩිගෙ බැංකුව

අත්තම්මට දෑවැද්දට හම්බ වෙච්ච කළුවර ලීයෙන් කැටයම් දාපු තනි කොස් අල්මාරියෙ වරුණෙ කිව්වේ අත්තම්ම විතරක් නෙවේ, අම්මත් නිතර කිව්ව. ඒකෙ වටින බඩු දාන්න හොර ලාච්චුවක් එහෙම තියෙනව කියල හරි උජාරුවට කියනව. හැබැයි හොරුන්ට ගන්න බැරිවෙච්ච බඩු අස්සෙ මීයෙක් කූඩු හදල. ලාච්චුව කපන් තමයි ඌ ඇතුල් වෙලා තියෙන්නේ. ඒ වටින කියන අල්මාරිය අම්මට දෑවැද්දට දුන්නලු. ඒක තිබුණෙ තාත්තලගෙ ගෙදර.
තාත්තගෙ ගෙදර කියන්නේ මගෙ ගෙදර නෙවේද කියල ඔයගොල්ලෝ හිතයි. මට ඉතින් ගෙවල් දෙකයි උනාට උපන් දා ඉඳන් වැඩි හරිය හිටියෙ අම්මගෙ ගෙදරනෙ. උපන්දා සිට සරසවි යනකං පදිංචිය ඇහුවොත් ඒ අම්මගෙ ගෙදර. අත්තම්ම අම්මගෙ අම්ම. මුත්තණ්ඩි අම්මගෙ තාත්ත. ඉතින් ආල්මාරීයෙ කතාවට එමු.
ඉතින් ඊට පස්සේ ඉඳන් කාලයක් යනකම් අපේ ගෙදර අල්මාරියක් තිබුණෙ නෑ. පස්සෙ කාලෙකදි මාම අල්මාරියක් ගෙනාව බව ඇත්ත. නමුත් මුත්තණ්ඩි ගෙ වටින කියන දේවල් තිබුණෙ සයිඩ්බෝඩ් කියල කියපු ලස්සන පොඩි කබඩ් එකක. අත්තම්මාගෙ ඇඳුම් වගෙ දේවල් තිබුණෙ පෙට්ටගමක. ඒකත් බොහොම ගරු ගාම්භීර එකක්. තව අත්තම්මට තිබුණ ලිපි ලේඛන, මුදල් එහෙම දාන්න පොඩ් ලී පෙට්ටියක්. ඒකට කියන්නේ ගබෙත්තුව. ඒ ගැන පස්සෙ දවසක කියන්නම්.
අර සයිඩ්බෝඩ් එක ළඟ බිම වාඩිවෙලා රෑට රෑට මුත්තණ්ඩි මොනව හරි බොහොම පරිස්සමෙන් කරනව මං දැක්ක කීප දවසක්. අපි එබුණොත් හනික වහ ගන්නව.
"මොනවද මුත්තණ්ඩියෙ ඔය කරන්නේ?"
"පොඩි ළමයින්ට ඒව ඕන නෑ." මුත්තණ්ඩි ටිකක් සැර වෙනව. හැබැයි පොට වරද්ද ගන්නව. පොඩි ළමයින්ට ඕන නැති ඒ දේ ගැන මගෙ අර වටින කියන මොළයට මහ කුතුහලයක් එනව.
කවුරුවත් නැති වෙලාවක් බලල මං සයිඩ්බෝඩ් එක ඇරල අවුස්සල බැලුවා. මේ තියෙන්නේ මුත්තණ්ඩිගෙ බෑංකුව. රුපියලේ, සත පනහේ, විසිපහේ කාසි, රුපියල් දහයෙ විස්සෙ කොළ හිස් බිස්කට් ටින් එකක. . ඒ දවස්වල ඒව හරි වටිනවනෙ. අද රුපීයල බ... ලු වටින්නෑ උනාට. මං ඒක එහෙමම වහල ආයෙ තියල සේරම අස්කරල තිබුණ විදියට තිබ්බා.
ඒ බැංකුවෙන් ඉඳහිට රුපියලක් දෙකක් හර වෙන්න ඇති. ඒක මුත්තණ්ඩි දන්නෙ නෑ මයෙ හිතේ. මොකද බැංකු පොතක් තිබුණෙ නෑ නෙ හර බැර සටහන් කරන්න. හොරු අල්ලන්න සීසී ටීවීත් නෑනෙ ඒ දවස්වල. හර උන කාසිවල හැඩරුව කවුරුවත් දන්නෙ නෑ මෙයාලා. අපේ ඉස්කෝලෙ ඉස්සරහට දවල්ට ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එන අයිස්ක්රීම් මාමා විතරක් දන්නවා.
ඉතින් මෙයාලා මං අත්තම්ම එක්ක හැම පෝයටම සිල් ගන්න පන්සල් ගියා ඒ දවස්වල . දෙවෙනි සිල්පදෙත් නිතර කිව්වා. මුත්තණ්ඩි නම් ඉඳහිට තමයි සිල් ගත්තෙ. එදාට මට මුත්තණ්ඩි පෙනුණෙ අර සිල්ගත්ත ගමරාල වගෙ. හැබැයි උන්දැ හොඳ බෞද්ධයා.
පින්තුරවල තියෙන්නේ ඒ සයිඩ්බෝඩ් එකයි අත්තම්මගේ පෙට්ටගමයි. ඒවා තාම මල්ලි ළඟ සුරක්ෂිතව තියෙනවා

3 comments:

  1. විස්කෝතු පෙට්ටිවලින් සල්ලි දාන වැඩේනම්... පුංචි ඈයොන්ට මරු

    ReplyDelete