අවුරුදු 35ක ගුරු ජීවිතයේදී මම තරම් සිසුන් අධ්යාපන චාරිකා අරන් ගිය ගුරුවරියක් නැතුව ඇති කියලත් හිතෙනවා. මගේ විෂය වුණු ජීවවිද්යාව අනුවත් මා යෙදුණු පරිසර නියමු වැඩ සටහන අනුවත්, විද්යා ගණිත අධ්යාපන සංගමයේ ක්රියාකාරිණියක් හැටියටත් , ගමේ ළමා සමාජය මෙහෙයවූ අනුශාසක හැටියටත් ඒ ගමන් අනිවාර්යයෙන් කළ යුතු ලෙස මා සැලකුවා. මුල් කාලවල අපි විදුහල් පති තුමාට විතරයි චාරිකාව යන බව කියන්නේ. එතුමා අවසර දුන්න නම් ඉන් එහා කිසි දෙයක් අපිට කරන්න තිබුණෙ නැහැ. පස්සේ නීති රීති වැඩි වුණා. පාසල් චාරිකා අනුමත කර ගන්න ග්රීන් පාත් කාර්යාලයට ගිය වාර අනන්තයි. වෙන කෙනෙක් යවල සමහර චාරිකා අනුමත කර ගන්න පුළුවන් වුණේ නැහැ. කොයි දේටත් කට පාවිච්චි කරන ක්රමයක්, කලාවක් තියෙනවනේ? හෝර්ටන් , සිංහරාජය, කන්නෙලිය, නකල්ස්, නුවර, නුවර එළිය ,රිටිගල, හම්බන්තොට, උඩවලව මොනතරම් චාරිකා ගිය ද ? සමහර චාරිකා දින දෙක තුන ඒවා. මාත් එක්ක හැමදාම වගේ චාරිකා සගයන් ලෙස අත්වැල් බැඳන් හිටිය ඒකනායක සර්, පසුව චමලි,සාගරිකා, ඒ වගේම ඒ ඒ කාලවල සම්බන්ධ වුණු දෙමව්පියෝ මතක් නොකර බැහැ. විශේෂයෙන් මව්වරුන්ගේ සහය අගය කරන්න ඕන. ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව ඒ අය තමයි බාර ගත්තේ.
එක සැරයක් කන්නෙලියේ ගිහින් එද්දී පාසල් බස් රථය පළමු වතාවට දක්ෂිණ අධි වේගී මාර්ගයට දැම්ම වෙලාවේ සිසුන්, රියදුරු මහතා ඇතුළු අපි කවුරුත් ප්රහර්ෂයෙන් කෑගහන්න පටන් ගත්ත. ඒ මාර්ගය විවෘත කරලා නොබෝ කලකින්. පස්සේ කාලේදී පාසල් බස් රථයේ සීට් බෙල්ට් නැහැ කියල ග්රීන් පාත් එකෙන් දක්ෂිණ අධි වේගේ එන්න තහංචිත් දැම්ම. ඒත් අපි නොගියෙමත් නැහැ.
චාරිකාව අනුමත ලිපියේ තියෙනවා සිසුන් ජලාශ වලට බැස්ස වීම තහනම් බව. ඒත් අපි හැම වසරකම වගේ මොරගල්ල කොරල් පරයේ මුහුදු පැළෑටි හා මුහුදු ජීවීන් අධ්යන චාරිකාවේ නිරත වුණා. 'ඇල්ගී නිරීක්ෂණය කරන්නේ ගොඩ ඉඳල ද?' කියල මං චාරිකා භාරව කටයුතු කරන නිලධාරියාගෙන් ඇහුවා. කොරල් පරයට ගොඩවෙන්නේ උදේ පාන්දරම. එතකොට ජල මට්ටම දන හිසට තියෙන්නේ. ආපසු එන කොට ජල මට්ටම පපුව හරියට. එකිනෙකා දම්වැල වගේ අත් අල්ල ගෙන එනවා.
කිසිම චාරිකාවක ලොකු අනතුරක් වුණේ නැහැ. එක වරක් කන්නෙලියේ දී සිසුවියකගේ දතක් කැඩුණා, දිය ඇල්ල ළඟ ගලක් උඩ වැටිලා. තව සැරයක් හෝර්ටන් තැන්නේදී නාල දරුවෙකුට සීතල හැදුණා. රිවෙර්ස්ටන් ගිහිල්ලා 'අලි පුසුඹ ආවා' 'දැන් දැන් අලියා ගිහින්' කියපු වෙලේ තරමක බයක් දැනුණා. මට වඩා ගොඩක් බයවුණේ කාංචනාගේ අම්ම.
ඉදිරි අනතුර ඉවකින් වගේ දැනෙන ගතියක් තිබුණා. එක සැරයක් හම්බන්තොට ගිහින් එද්දී ඇඹිලිපිටියේදී ළමයි චන්ද්රිකා වැවේ නාන්න එක පොරේ. මගේ සැර දැක්කේ එදා කියල ඒකනායක සර් කිව්වා. මොන විදියටවත් වැවට බැස්සුවේ නැහැ. අතර මග පොඩි වතුර පාරක බස්සලා ඒ
ළමයින්ගේ නෑමේ දොළ දුක සංසිදෙව්වා.
මේ කොහොම ගියත් ගමන ආරම්භයේදී මගෙත් අනික් සහායක ගුරුවරුන්ගෙත් පපුවේ තැම්බෙන බිත්තර නිවෙන්නේ චාරිකාව නිමවෙලා පාසලට ඇවිත් හැම දරුවම දෙමව්පියන්ට බාර දුන්නට පස්සේ. දරුවෙකුට අනතුරක් වුණොත් ඊළඟ වෘත්තීය මෙන්ම පුද්ගලික ජීවිතයම ඉවරයි කියන හැඟීම හැමදාම පපුවේ කොටලා තිබුණා. චාරිකා නීති රීති අනුව ගියහම අනතුරක් වුණත් අපේ රැකියාවට ප්රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ගමනකදී දරුවෙකුගේ ජීවිතයට හානියක් වුණොත් අපිට ජීවත් වෙලා වැඩක් තියෙනවා ද ? කියන හැඟීම හැමදාම පපුවේ විදුලි කෙටුවා.
ඒත් හැම චාරිකාවක් ම
පසුව මතක් කරන කොට එය පුදුම ප්රීති ප්රමෝදයක් සිතට ගෙන එනවා. සමහර වෙලාවට චක්ර ලේඛයටම වැඩ කළේ නැහැ. කොහොම වුණත් ස්ථානෝචිත ප්රඥාව පහළ වීමෙන් වැඩ කටයුතු කරදරයෙන් තොරව කර ගත්ත. කඳු නැගීමේදී දරුවෝ අපිට උදව් වුණා. මං මගේ අත දරුවොත් අරගෙන මේ චාරිකා ගිහින් තියෙනවා. එහිදී මගේ ආදරණීය සිසු දරුවෝ ඔවුන් වඩාගෙනත් ගියා. ඒ අය්යලා අක්කලා කවදාවත් අපේ දරුවන්ගේ මතකයෙන් කවදාවත් ඈත් වුණේ නැහැ. හරිම ආදරණීයයි ඒ කාලය. කුමන චාරිකාව ගියත් අප ගැන විශ්වාසය තැබූ විදුහල් පතිවරුන්, දෙමව්පියන් චාරිකාවට සම්බන්ධවූ අනිකුත් ගුරුවරුන්, දෙමව්පියන් ,පාසල් බසයේ රියදුරන්, අනිකුත් උදව්වට හිටිය සැමගේ සහායෙන් සියල්ල සාර්ථක වුණා. ඒ සැමට මං ස්තුතිවන්ත වෙනවා.