Friday, February 7, 2020

සිහිනය






ඈ මට ඉදිරියෙන් අසුන් ගෙන
ඉදිරිපස පෙළක සුකොමලව
මා ඈට පිටුපසින් ඇස් රැහැන් බැඳ
පිටුපස පෙළක කලබලව

මේසය මත ඇගේ වමතේ
රන්වන් සිහින් අතැඟිලි ලතාවකට
මසිත මිහිරෙන් කිතිකවමින්
ගෙනගියා මා සිහින ලොවකට

ඈ ගැඹුරු කල්පනාවෙන් බරව
පාඩමට සිත නාභි ගත කර
වර්තමානෙන් අනාගතයට
තැනුවා පාලමක් හෙමිහිට

තැලී පොඩිවී ඉරී ගිය
දුර්වර්ණ ජීවිත කඩදාසිය මත
නැවුම් සිතුවමක් අඳින්නට
වෙර දැරුවා ඈ සෑම මොහොතකම

මා මගේ සිහින ලොව තුළ
ඉබාගාතේ සැරිසරන කළ
සිහින මැව්වේ ඇගේ අතැඟිලි
හිමිකර ගන්න විතරමයි මතු දින

ඈ ඇගේ ඒ සොඳුරු සිතුවම
අවසන්  කර තිබුණා මා නොදැනම
මා මගේ සිහින ලෝකෙන් මිදී
වැටුණා විසල් පොළෝ තලයට

අවදිවී විස්මයෙන්  අවට බලන කළ
ඇගේ වමතේ වෙද ඇඟිල්ලට
දිළෙන ලස්සන රන් මුදුවක්
වැටී තිබුණා දුටිමි වටකුරුවට

 Photo by Alvin Mahmudov on Unsplash

2 comments:

  1. සිහින ලොවක පැටලෙන විට
    මිහිරියාවකි සතර දිගන්තෙම
    පියවි ලොවට පිවිසුනවිට
    ඇඳෙන් බිමට වැටුනා මෙනි.

    ReplyDelete