මතකය
අපි හමුවුණා අහම්බෙන් ,
ඇත්තටම අහම්බෙන්මද ?
අපි ඒ ගහ යට බංකුවේ හිඳ,
හුඟක් කතා කළා,
අපේ හිසට ඉහළින් ,
නා දළු පවනට නැලවුණා,
අපි ඔහේ කතා කළා,
අහස ගැන,
පොළොව ගැන,
ඈත රටවල් ගැන,
කුරුල්ලෝ,සමනලයෝ ගැන ,
ඒ හවස් කාලය
හරිම ඉක්මණට ගෙවුණා ,
අපි වෙන්වුණා සදහටම,
ඔබ මගේ නම ඇහුවේ නෑ
මම කිව්වෙත් නෑ
මොන විදියකට ඔබට මා
මතක තියේවිද ?
කොහෝ කුරුල්ලෙකුගේ
මිහිරි නාදයක් වගේ ,
නැත්නම්, ගිරා මලිත්තෙකුගේ
තටුවක නිල කොළ පාට වගේ,
ඒත් නැත්නම් ,
සමනල තටුවක රටාවක් වගේ ,
සමහර විට මේ කිසිම කිසි දෙයක් නොවී
ඔබේ සිතෙන් මා
මේ කවිය අග මම තියන
නැවතීමේ ලකුණ තරම්
පුංචි තිතක්වත් නැතුව
මැකිලම යන්නත් පුළුවන් නේද ?
© 2021maliniganewatta
Thanks to Marc A. Sporys for the image on Unsplash
No comments:
Post a Comment