මල් පරවී ගියා
සීතල
හිම දියවී යද්දී
කාලය
ඔහේ පියා සැලුවා
වසන්තයේ
තිඹිරි ගෙයි සිට
මා දෑස් දල්වා මග
බලා සිටියා
බලපොරොත්තුවේ පහන්
සිල
බඳුනේ
අවසන් තෙල් බිංදුව උරාගෙන
වෙව්ලමින්
මද සුළගේ පොර බදමින්
නිවෙන්නට
යන මොහොතේ
වසන්තයේ අග ඈ ආවා
ඈ ඇගේ උණුසුම් පපුවට
තුරුළු කරගෙන
ගෙන
ආ මල් පොකුර මා
වෙත පිදුවා
ඇගේ
රන් වළලු ලූ සිහින්
දිගු දෑත්
මගේ
ගෙලවට මොහොතකට වෙලුණා
අවසන්
චුම්බනය මා ඇගේ නළලත
තැබුවා.
ඈ මගෙන් සමුගෙන යන්න ගියා
ඇගේ
නිවහල් ලොව කරා යන්නම
යන්න ගියා
ඕනෑවට
එපාවට මා අතට ගත්
ඒ මල්
මගේ මේසය
මත කඳුළු සලමින් හිටියා.
මල්
එකින් එක අතට ගන්නට
මට සිතුණා
අරන්
ඒවායේ සොඳුරු බව සෙව්වා
රතු
රෝස වල ඩේලියා වල
වෙන වෙනම
අමුතු
වෙනදා නොදුටු සුන්දරත්වයක් තිබුණා
ඒත්
ඒ වනවිට කාලය ආලෝකයේ වේගයෙන්
අතීතයට
ඈතට ඈතට ගිහින් ඉවර
වී තිබුණා
මල්
එකින් එක පරවී ගියා
හද කවුළු පියන්පත් හැරපියා
මං බලන් හිටියා බලන්
හිටියා
ඈ මට දුන් මල්වල
සොඳුරු බව
ඈ හා සැනසිල්ලේ දොඩන්නට
ඒත්
කවදාවත් ඒ දවස ආවේ
නෑ!!!
Photo by Taisiia Shestopal on Unsplash