"නිළුපුල් ඔයා?"
විමතියේ රේඛා වතේ ඇඳුනා
මන බැන්ද ඩිම්පල් මතුවුණා
මගේ ඇස් දෙකටම එබුණා
එතකොටයි මං දැක්කෙ
ඔයාගෙ ඇස් වල
මගේ රූපය ඇඳුනා
ඒ මමම ද මට හිතුණා
මම මට නැතිවුණා
දැන් බොහෝ කල් ගෙවුණා
ඔයා නම් ඒ වගේමයි
එදා මා දුටු ඔයාමයි
හැබැයි චුට්ටක් මහත්වී
විඩෝස්පීක් එකේ
නර කෙසක් දෙකක් මතුවී
ඇස් කොනින් යාන්තමට
රැළි දෙකක් ඇඳී
එච්චරම තමයි
නෑ හුඟක් වෙනස් වී
මැයි ගහ යටදි සිරි පොද වැටුණූ
සැඳෑ කළුවර සළුව දිග හැරුණූ
අප වෙලාගත් නිමේෂයෙ සොඳුරූ
කුළුඳුල් හාදු වැස්සක් තැවරූ
නා දළු දෙතොල් ඒ වගේමයි අංජනා
තරමක කෙලි පැටව් දෙන්නෙක්
ඒ ළඟ ආසනේ
කෙළිදෙලෙන් පසු වුණේ
"ඔයාගෙ ද?"
මං ඇහුවෙ නෑ
ඉබේටම මට කියවුණා.
"ඔව්"
මට ඒ සුපුරුදු කටහඞ
ඈත ලොවකින් වගේ ඇහුණා.
"ඔයා බැන්දෙ නැද්ද?"
ආයෙත් ඒ කටහඞ ඇහුණා
"මොන බැඳිලිද අංජනා
මේ ලොවේ මං තනි වුණා
අම්මත් නැතිවුණා
මේ මාසෙ මට පණහ පිරුණා"
කියන්නට මට ඕන වුණා
මගේ කටහඞ අගුළු වැටුණා.
මං ඔළුව දෙපැත්තට වනා
මගේ අදහස ඈට දුන්නා.
ඊළඟට අපි දෙන්නා
මොන මොනවද කතා වුණා
ඉතින් මගෙ අංජනා
මං අතීතෙට ඇදුනා
දවල් හීනයක් පෙනුණා
අපේ පොඩි ගෙය හීනෙ ඇඳුනා
ඔයා කිව් දරුවො දෙන්නා
කෙළිදෙලෙන් එහි උන්නා
" අන්න තාත්ති එනෝ"
පොඩි දැරිය කියනු ඇසුණා
දරුවන් මගෙ නොවන වග
ඒ හඞ මතක් කර දුන්නා
ඉතින් මගෙ අංජනා
හීනෙන් මං ඇහැරුණා
ඈතින් රුවක් ඇදුනා
අප සිටි තැන නතර වුණා.
"දන්නවද ඔයා ඉඳුනිල් ?
මේ පන්ති සගයෙක් නිළුපුල්"
"පන්ති සගයෙක් විතරමද?
කමක් නෑ ඒකට අංජනා"
සිනා කැන් ඇදුනා
අතට අත දුන්නා
ආගිය තොරතුරු විමසුණා
හමුවීම අහවර වුණා
ඒ දරු පවුල තුටිනා
මට සමුදී පිටවුණා
"මොන බැඳිලිද අංජනා
මේ ලොවේ මං තනිවුණා"
Thank you Jessica Rockowitz for the image on Unsplash
No comments:
Post a Comment