Sunday, March 23, 2025

වැඩ අතර නිදි කිරා වැටීම

 වැඩ අතර නිදි කිරා වැටීම



කාර්යාලයක කාන්තාවක් වැඩ කරන අතරේ නිදි මතේ හිස කඩා වැටෙන වීඩියෝ එකක් share වෙනවා. රජයේ සේවකයන් එක්ක තීයෙන ඇරියස් එකයි කාන්තාවන් රැකියා කිරීම ගැන තියෙන තරහයි ඔක්කොම එක්ක ඒ වීඩියෝ එක යටින් කමෙන්ට් වැටිලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන රජයේ සේවකයන් හුඟක් ගැටලු හදා ගන්නේ නිදා වැටීම නිසාම නෙවේ. සන්නිවේදන දුර්වලතා නිසා. තමාගෙන් සේවය ලබා ගන්නා එන අයට ප්රසන්නව කතා කිරීමෙන් වගේම සිනාවකින් සංග්රහ කිරීමෙන් ඇතැම් ගැටලු විසඳා ගන්න පුළුවන් වුණත් රජයේ සේවකයන් හුඟක් අයට නැත්තේම ඒ කුසලතාවය මයි. එයාලගේ මුහුණු කජු ලෙලි වගේ. සමහර රාජ්ය බැංකු වලක් මේ තත්ත්වය තියෙනවා. එයාලගේ සල්ලි අපි ගන්න ගිහින් වගේ හැසිරෙන්නේ.
ඉතින් අර කී වීඩියෝ එකේ ඇත්තටම ආසාවෙන් වුවමනාවෙන් ඈ නිදි කිරා වැටෙනවා වෙන්න බෑ. නිදිමත මානව අවශ්යතාවයක්. ඒත් කන්තෝරු ඇවිත් නිදාගන්න නම් බෑ. ඒක හරි.
නමුත් කාන්තාව මේ තත්ත්වයට මුහුණ දීම පිළිබඳව ඇත්ත තත්වය මෙහෙම වෙන්න පුළුවන්. ගෙවල්වල මෙහෙකරුවන් නැත්නම් රෑ තිස්සේ කලින් දවසේ දරුවන් ඇතුළු සැමගේ වැඩ ඉවර කරලා ආයේ උදේ පාන්දර නැගිටලා උයලා පිහලා තේ හදලා දරුවන්ට සැමියාට කෑම ගෙන යන ඒවා සකස් කරලා තමයි කාන්තාවන් හුඟක් අය වැඩට එන්නේ.
මටත් මේ අත්දැකීම තියෙනවා. කුදු මහත් වැඩ ඉවර වෙලා අන්තිම විනාඩි පහේ තමයි යාර හයකුත් පටලවාගෙන බස් එකට දුවන්නේ. හැබැයි අපට ගුරුවරු හැටියට මොන විදිහට වත් පාසලේදී නිදි කිරාවැටෙන්න නම් බෑ. ඒක වෙන්නෙම නෑ. අසනීප නම් ස්ටාෆ් රූම් ඇවිත් පොඩ්ඩක් ඔළුව ගහගෙන ඉන්න වෙලාවල් තියෙනවා.
හැබැයි මට එක වාසියක් තිබුණා. බස් එකෙ එන අතරේ ඉඳගෙන එන නිසා විනාඩි විස්සක් නිදාගන්න පුළුවන්. සමහර දාට බහින තැන පහුවෙලත් තියෙනවා.
තව එක අමාරුම අවස්ථාවක් තමයි උත්තර පත්ර බැලීමේ දී එන නිදිමත. එක දිගට කියවන කොට ඒ නිදිමත ආවම මං නම් ඇත්තටම පොඩි වෙලාවක් නිදාගන්නවා. ඊට පස්සේ ආයේ වැඩ කරනවා. මොකද ළමයෙකුගේ ජීවිතය නේ පිළිතුරු පත්ර කියන්නේ. ඒවා හරියටම බලන්න ඕන. අපේ අතින් වැරදි වෙන්න බෑ.
තව දෙයක් තමයි තමන්ට අසාමාන්ය විදිහට නිදිමත එනවා නම් හෝමෝන අසමතුලිත තා වෙන්න පුළුවන්. ඒ ගැනත් මේ වගේ නින්ද යන අය සැළකිලිමත් වෙන්න ඕන.

Monday, March 3, 2025

ආඝාතය /Strokes

ආඝාතය /Strokes






සුගිය කාලයේ මේ කියන්නේ මීට මාස අටකට විතර කලින් ඇමරිකාවේදී මා අසනීප වුණා. මගේ සමහර යහළු යෙහෙළියන් හා රසික රසිකාවියන් යන් ඒ ගැන දන්නවා. ඒත් සිදු වූයේ කුමක්ද යන්න මේ වනතුරු ඔබට පැහැදිලි කිරීමට මට නොහැකි වුණා. මම දැන් සුවයෙන් සිටින අතර මට සිදු වූයේ කුමක් ද යන්න අද ලියන්න හිතුණේ තවත් කෙනෙකුට ඉන් ප්රයෝජනයක් ඇතැයි සිතුණු නිසයි.

මට ඇතිවූ තත්ත්වය Mini stroke නැත්නම් Transient Ischemic Attack කියලා හඳුන්වන තත්ත්වයක්. ඒ කුමක්ද යන්න ඔබට පැහැදිලි කරන්නම්
ඔබ ආඝාතය /stroke කියන එක අහලා ඇති.
ආඝාත වර්ග දෙකක් තියෙනවා.
1. Ischemic Stroke
මෙහිදී වෙන්නේ මොළයේ රුධිර නාලිකාවක ලේ කැටියක් හිර වීම. එසේ වූ විට එයින් රුධිරය සැපයෙන මොළයේ පටකවලට ඔක්සිජන් හා පෝෂණය නොලැබී යනවා. එවිට මිනිත්තු ගණනකදී මොළයේ එම පටක මිය යන්නට පටන් ගන්නවා.
2. Hemorrhagic Stroke
මෙහිදී වන්නේ මොළයේ රුධිර වාහිනියක ලීක් එකක් හෝ පුපුරා යාමක් නිසා මොළය ඇතුළට රුධිරය ගලනවා. එවිට ඇතිවන පීඩනය නිසා මොළයේ සෛල මිය යනවා.
එසේ මොළයේ සෛල මියයාම නිසා මිය යාම හෝ එක් අංශයක සදාකාලික අප්රාණික බව ඇති වෙන්නට ඉඩ තියෙනවා. එසේම පුද්ගලයා වැටීම නිසා තුවාල වී හානි වෙන්නත් පුළුවන්.
ඒ නිසා ඉහත දැක්වූ තත්වයන් දෙකම Medical Emergency. ඒ කියන්නේ වහාම වෙෙද්ය ප්රතිකාර අවශ්ය තත්ත්වයන්. සිදුවී පැය හයක් යන්නට මත්තෙන් ප්රතිකාරවලට යොමු විය යුතුයි. එවිට මොළයට සිදුවන හානි අවම කරගන්න පුළුවන්.
රෝග ලක්ෂණ මොනවාද?
1. කථනයේ දුර්වලතා/කථනය අපැහැදිලි වීම මෙන්ම අන් අය කියන දේ නොවැටහීම
2. මුහුණ, අත් හෝ කකුල්වල පණ නැතිවීම
3.ඇස් එකක හෝ දෙකේම හෝ පෙනුම බොඳ වීම හෝ වස්තූන් දෙකක් සේ පෙනීමට පටන් ගැනීම
4. හදිසියේ ඇතිවන තදබල හිසරදය, වමනය හා කරකැවිල්ල
5.ඇවිදීම අපහසු වීම හෝ සමතුලිතතාවය නැති වීම.
කළ යුත්තේ කුමක්ද?
මෙහිදී පහත දැක්වෙන විදිහට 'FAST' ලෙස කටයුතු කළ යුතුයි
Face - පුද්ගලයාට සිනාවීමට පුළුවන් ද බැලීම
Arms - අත් දෙකම උඩට ඔසවන්නට පුළුවන් ද බැලීම
Speech - පුද්ගලයාට වචන එකක් හෝ කීමට හැකිද බැලීම. නැතිනම් වචන අපැහැදිලි ද බැලීම
Time - ඉහත එකක් හෝ ඇත්නම් වහාම අදාල හදිසි වෙෙද්ය සේවා කැඳවීම. (ලංකාවේ නම් 1990)
මට ඇතිවූයේ මෙයින් ඉහත සඳහන් Ischemic Attack එකක සුළු අවස්ථාවක්. ඒ කියන්නේ ඒ රෝග ලක්ෂණ පැය 24 කට වඩා අඩුව පැවතීම.
මට ඇත්තටම වුණේ මේකයි. මං දත් මදිමින් ඉන්න විට අත පණ නැතිවී දත් බුරුසුව සෝදන බේසමට වැටීම. මම වමට හැරෙන්නට තැත් කළ විට දණිසෙන් නැවී යාම. ඒ කියන්නේ දකුණු පැත්තේ අප්රාණික වීමක්. එය තත්පර දහයකදී පමණ යථා තත්ත්වයට ආවා. මේ තත්ත්වය Medical Emergency එකක් බව වෙද්යවරයෙකු වූ මගේ ලොකු පුතා කීවා.
ඒ නිසා ඔහුගේ උපදෙස් මත මගේ දියණිය වහාම වෙද්යවරයෙකුට කතා කළා. ඔහු පැවසූ පරිදි දියණිය මා Urgent care එකට ගෙන ගියා. එහිදී වෙෙද්ය පරීක්ෂණ කීපයක් කර මොළයට හානි වීද බැලුවා. එවැන්නක් වී නැති බවයි පෙනී ගියේ. මේ තත්ත්වය තමයි Mini stroke නැත්නම් Transient Ischemic Attack කියලා හඳුන්වන්නේ. වඩාත් පැහැදිලිව කිවහොත් මෙය ඉදිරියේදී වඩා බැරෑරුම් තත්ත්වයක් ඇතිවීමේ පෙර නිමිත්තක්. ප්රතිකාර මගින් අවදානම අඩු කරනවා. ප්රතිකාර එනම් ලබාදෙන බෙහෙත් මෙහි සඳහන් කිරීම නුසුදුසු යයි හිතනවා. ඒ වගේම ව්යායාමය හා පෝෂණය හරිහැටි ලැබීමත් වැදගත් වෙනවා.
හදිසි ප්‍රතිකාර වලින් සතියකට විතර පස්සේ අප වෛද්‍ය සැපයුම් ආයතනය විසින් මා ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරයෙකු (Neurologist) වෙත යොමු කළා. අසනීපයට කලින් අපි දිග චාරිකාවක් ගිය නිසා එය මේ අසනීප තත්වයට හේතු විය හැකිද යන්න මම ඒ වෛද්‍යවරයාගෙන් විමසුවා. ඔහු කීවා එසේ නොවන බව ඒ වගේම මේ තත්වය ඇති වීමට හේතුත් ඔහු මට පැහැදිලි කළා.
මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු මොනවාද?
1. වයස
2.කාලයක් අධිරුධිර පීඩනය තිබීම
3.හෘදයේ විශේෂ තත්ත්වයක් (Atrial Fibrillation)

සාමාන්යයෙන් ඇමරිකාවේ සෑම තත්පර 40 කටම එක් පුද්ගලයෙකු මේ රෝගයට ගොදුරු වන බව CDC වාර්තා කරනවා.