Saturday, May 25, 2019

ආගමික ඉගැන්වීම් වලින් තොරව මිනිසා හික්මවන්න බැරිද ?

ආගමික ඉගැන්වීම් වලින් තොරව මිනිසා හික්මවන්න බැරිද ?

ආගම් නිසා ලෝකයට වෙලා තියෙන්නේ හොඳට වඩා නරක කියලයි මට කලක පටන්ම  හිතුනේ. ඒ සිතුවිල්ල පසුගිය සිදුවීම් වලින් තවත් තහවුරු වෙනවා. නිදහස්ව පළමු හුස්ම අරන් උපදින මිනිස් ප්‍රාණියා ආගමක සදාකාලික හිරකාරයෙක් කරන්නේ ඇයි ? එය ඇත්තෙන්ම උපතත් එක්ක ජීවිතාන්තය දක්වා  දඬුවමක් දුන්නා වගේ වැඩක්.

ආගමක් කියන්නේ මොකක්ද ? Oxford Dictionary defines religion as the belief in and worship of a superhuman controlling power, especially a personal God or gods. මිනිසා අභිබවා ගිය පාලන බලයක් ඇති දෙවියෙක් /දෙවියන් පිලිබඳ විශ්වාසය හා නමස්කාර කිරීම ලෙස ආගම යන්න අර්ථ ගැන්වෙනවා. සැබවින්ම ලෝකයේ එවන් දෙවි කෙනෙක් හෝ ලොව පාලනය කරන බලවේගයක් තියෙනවා ද ?

ශාස්තෘ වරයෙක් යම් දෙයක් දේශනා කලාට පස්සේ ඒක කැමති පරිදි වෙනස් කරලා වහළයට දාගෙන ආගම කියන කණු මත තියල තම තමන් යැපෙන්න පූජකයන් හදාගත් සංස්ථාවක්ය ආගම කියන්නේ කියල මං කියවල තියෙන බව මතකයි.

බුද්ධාගම ලෙස ආගමක් ගැන කියවුණත් මේ අර්ථ දැක්වීම අනුව බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් ගැලපෙන්නේ නැත්තේ එහි මැවුම්කාර දෙවියෙක් පිළිගන්නේ නැති නිසා. එහි නිර්මාතෘ වන බුදුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා. 'මහණෙනි, මා උගන්වන්නේ කරුණු දෙකක් පමණයි. එනම් විඳීම් වල ස්වභාවය හා විඳීම් නැති කිරීම ගැනයි.' වෙනත් විදියකට කිව්වොත් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
මේ දර්ශනය තුළ යමක් ඇතිවීමේ හා නැති වීමේ හේතු ඵල ධර්මය පැහැදිළි කර තිබෙනවා. මේ තත්වයන් සත්‍ය වන්නේ පුනර්භවය සත්‍ය කාරණයක් බව පිළි ගැනීම තුලයි. විඳීමේ විපාක අපි ජීවිතය තුළ අත්දකින නමුත් මරණින් මතු ජීවිතය ගැන අත්දැකීම් අපි කිසිවෙකුට ලබන්න බැහැ. මේ ගැන බොහෝ පර්යේෂණ අධ්‍යන බටහිර පවා කර ඇති නමුත් අවසන් නිගමනයක් කෙදිනක ලැබේදැයි කියන්න පුළුවන් කමක් නැහැ.

සෑම ආගමක්ම හැදෙන්න හේතුව, මිනිස් සන්තානය තුළ ලැගුම් ගත් මරණය හා දුක් විඳීමට ඇති බිය මත ආදී කල්පික ගෝත්‍රික මිනිසා තුළ ගැබ්වූ සිතුවිලි මත පදනම්වූ ඇදහිලි පසුබිම් වෙලා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම කල්පනා කරන්න, හිතන්න, ලියන්න ඉඩ කඩ තියෙන්න ඇත්තේ කෑම,බීම ,ඉඳුම් හිටුම් වැනි මුලික අවශ්‍යතා සොයන්න පරසරය හා ඔට්ටු වෙමින් කටුක ජීවිතයක් ගත කල සාමාන්‍ය ජනතාව වෙන්න බැහැ. ඒවායින් සංතෘප්ත වූ ඉහළින් වැජඹුණු ජන කොටසක්. ඔවුන් තමන් විඳින සැප සම්පත් මේ ජීවිතයට සීමා වෙනවට කැමති වුණේ නැහැ.

ඒ නිසා දෙවියන්ගේ තුරුළට ගොස් වඩා හොඳ ජීවිතයක් ගත කරන්න හෝ දෙව් ලොව ඉපදී හෝ වෙනත් හොඳ ආත්මයක ඉපදී සැප සම්පත් තවත් දීර්ඝ කාලයක් භුක්ති විඳින්න හිතන්න ඇති. ඒ වගේම තමන්ට අවශ්‍ය සම්පත් ලබාගන්න පොදු ජනතාව රැවටීමේ උපක්‍රමයක් ලෙසත් මේ මරණින් මතු ලැබෙන  සැපවත් ලොව පිලිබඳ සංකල්පය යොදා ගත්තා. ඒ තමයි එදා සිට අද දක්වා කෙරෙන ආගම දේශපාලනය සඳහා යොදා ගැනීම.  පාලකයන් ඇතුළු හොඳින් හෝ නරකින් වස්තුව උපයා ගත් වරප්‍රසාද ලත් පිරිසක් තමන්ට  යටත්ව ඉන්නා පීඩිත ජනතාවට ඔවුන් දුප්පත්ව මේ ලෝකයේ ඉපදී ඇත්තේ පෙර කරන ලද අකුසල කර්ම නිසා බව ඒත්තු ගන්වමින් ඔවුන්ට ලබන ආත්මයේ ධනවත්ව ඉපදී සැප විඳීමට අවශ්‍ය නම් දාන මාන ආදී  කුසල් වඩ වඩාත් රැස් කරන්න ඕනෑ බව කියනවා. එක යතිවරයෙක් දේශනා කර තිබුණා තම සැමියා බිරිඳට ගහනවා නම් අඩන්තේට්ටම් කරනවා නම් ඒ තමන් ලබා උපන් හැටි බව සිතා ඒ සියල්ල ඉවසා සිටිය යුතු බව.

බෞද්ධයා කෙලෙස් දුරු කර, නැවත ඉපදීම නැතිකරන අජරාමර නිවන අවසාන අරමුණ ලෙස ගත්තත් බොහෝ නාමික බෞද්ධයන් ඇත්තටම එය තේරුම් අරන් ඉන්නවා කියල මං හිතන්නේ නැහැ. පුනර්භවයේ දී ඇතිවන පුද්ගලයා මේ භවයේ සිටි පුද්ගලයා වත් වෙන කෙනෙකු වත් නොවන බව හා අනාත්ම බව පැහැදිළි කර තිබුණත් එකම නූලක් වගේ තමන්ම භවයේ ගමන් කරන බව තමයි මිනිස්සු හිතන්නේ. ඒ නිසානේ එන ආත්මයේ කුඩල්ලකු වුනත් කොට්ටයක් පතන්නේ. එය හින්දු ධර්මයේ එන සදාකාලික ආත්මය පිළිගැනීමට සමාන තත්වයකි. ස්ථිර සාර 'මම' යන්නක් නැති බවත් එය මොහොතක් පාසා වෙනස් වෙන බවත් පැහැදිලිවම බෞද්ධ දර්ශනයේ තිබියදීත් මේ නාමික බෞද්ධයෝ 'මම' බදා ගනිමින් එහිම ගිලී ජීවත් වෙනවා.

ඉතින් ආගම් ගැන කිව්වා ඇති. මේ හැම එකකම යම් භීතියක් පදනම් කර ගෙන තමයි මිනිහා යහමගට ගන්න බලන්නේ. පව් කළොත් අපායේ දුක් විඳින්න වෙනවා කියන එක. 'පව්' කියන එක ආගම අනුව වෙනස් වෙනවා. ඇතැම් ආගම් වලට අනුව සතුන් මවල තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න. ඒ නිසා සතුන් මැරීම පවක් වෙන්නේ නැහැ.

උඩඟු බව,කෑදරකම, ඊර්ෂ්‍යාව, උදහස,වගේ දේවල් බයිබලයේ පව් ලෙස සැලකෙනවා. ඉස්ලාමයේත් පව් ගණනාවක් දක්වා තිබෙනවා . දෙමාපියන්ට ගරු නොකිරීම හා අකීකරු වීම, අනාථයන්ගේ දේ පර්භෝජනයට ගැනීම, හේතුවක් නැතිව මිනී මැරීම, අල්ලා හෝ  ඔහුගේ පණිවිඩකරුවන් ගැන බොරු කීම, දිනපතා යාඥාවන් නොකිරීම එයින් කිහිපයකි.

සෑම ආගමක් තුලම විශ්වාස කල නොහැකි පාරභෞතික දේ උගන්වනවා. මේවා යථාර්තයෙන් හුඟාක් ඈත් වූ දේවල්. මේවා කතන්දර වශයෙන් හොඳයි. වින්දනයක් ලබන්න පුළුවන්. නමුත් සැබෑ ජීවිතයට ඇති වැඩක් නැහැ.

ඒ ඒ ආගම් වලට අනුව පව් කිරීමෙන් දෙවියන් වහන්සේ වෙත යන්න බැරිවෙනවා. රහසින් කරන දෙයක් වුනත් දෙවියන් වහන්සේ දකිනවා යනුවෙන් භීතිය ඇති කරනවා. බෞද්ධයාට අනුව පව් කිරීමෙන් නරක කර්ම සිදුවී, මේ අත්භවය තුළ හෝ මතු අත්භවයක දී ඒවා පළ දෙනවා. මේ විදියට යම් භීතියක් මරණින් මතු තත්වය ගැන ඇති කිරීම නිසා මිනිසා යහ මගට පැමිණවීමට බලනවා. දරුවන් බයට පත් කරනවා 'ඔයා  ඔය වැඩේ කළොත් අපායේ යාවි ' කියලා. සතෙක් මරන්න හදන දරුවෙකුට අපි එහෙම කියනවා.

ඉතින් මේකට වෙන ක්‍රමයක් නැද්ද ? තියෙනවා.

ආගමක් මත දරුවෙක් හික්මවන්න මවක් හෝ පියෙක්  මෙහෙම කියනවා ' මේ විදියට නරකට ඔයා හැසිරෙයි කියල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ.' ඊට වඩා නරකද ඒ දෙමව්පියන් මෙහෙම කියන එක ' ' මේ විදියට නරකට ඔයා හැසිරෙයි කියල අපි බලාපොරොත්තු වෙන්නේ  නැහැ.' දරුවා තුළ දෙමව්පිය ගුරුවරු කෙරෙහි විශ්වාසය ඇති කිරීමෙන් නොපෙනෙන බලවේගයකට දරුවා හික්මවීම බාර නොදීමෙන් දරුවාගේ පෞරුෂ වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කෙරෙනවා. 

සතුන් මැරීම හා ඔවුන්ට හිංසා කිරීම වැළැක්වීම ගැන ඉහත නිදසුනම ගත්තොත් , සෑම ජීවිතයක්ම වටින බව කියා දීමෙන්, තමන්ට රිදෙන විදියට අනිත් සතාට හෝ පුද්ගලයාටත් රිදෙන බව තේරුම් කර දීමෙන්   දරුවා තුළ සංවේදීබව(Empathy) වර්ධනය කරන්න පුළුවන්. .

ඇත්තෙන්ම මෙයම මේ විදියට බෞද්ධ ඉගැන්වීම් වලත් තියෙනවා.

සබ්බේ තසන්ති දණ්‌ඩස්‌ස...
සබ්බේසං ජීවිතං පියං...
අත්තානං උපමං කත්වා...
න හනෙය්‍ය න ඝාතයේ...
සියල්ලෝම දඩුවමට බියවෙති.සියලු දෙනාම තම ජීවිත වලට ආසා වෙති.එම නිසා අනුන්ද තමා මෙන් සිතා අනුනට හිංසා නොකළ යුතුය.නොකර විය යුතුය.
...ධම්ම පදය...
...දණ්‌ඩ වර්ගය..

තව මෛත්‍රී භාවනාව තුළ සියළු සතුන්ට ආදරය කිරීම, යහපතක් වේවා කියා ඉගැන්වීම තිබෙනවා. වෙනත් සුත්‍ර දේශනා වලත් සමාජයේ යහපත් පැවැත්ම සඳහා පුද්ගලයා පමණක් නොව පාලකයා ද පැවතිය යුතු ආකාරය පැහැදිළි කර තිබෙනවා. අනිකුත් ආගමික ධර්ම තුළත් මෙවැනි වැදගත් කරුණු තිබෙනවා. 

බය කිරීමෙන් තොරව මේ දේවල් වල ආභාෂය අරන් හොඳ යයි සම්මත පුරුදු පුහුණු කරන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට. ඒකට ආගමක් කියා දෙයක් තුළ හිර කිරීම අවශ්‍ය නැහැ. පසු කලෙක ලෞකික ජීවිතයෙන් මිදෙන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ ගැන හැදෑරීම් කරලා ධර්ම මාර්ගයටම යොමුවෙන්න මෙයින් බාධාවක් වන්නේ නැහැ. 

මේ තත්වයන් ඒ ඒ පරිසර අනුව තෝරා බේරා ගන්න වෙනවා. ආහාරය සඳහා මසුන් ඇල්ලීම යම් ප්‍රදේශයක ජනතාවගේ එකම අදායම් මාර්ගය වෙන්න පුළුවන්. එහිදී කල්පනාකාරීව එවැනි අවස්ථාවකදී වුනත් වැරදි විදියට සතුන් මැරීම කියන්නේ කුමක් ද කියන එක පහදා දීම අවශ්‍ය වෙනවා. මේ වගේ අනිකුත් සමාජයට අහිතකර විවිධ දේ අවබෝධ කර දීමෙන් ඒ ඒ රටවලට ගැළපෙන හොඳ පුරුදු දරුවන්ට කාවද්දන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා සංගීතය, වෙනත් කලාවන්, සාහිත්‍ය යොදා ගන්න පුළුවන්. 

දරුවන් කවදත් හොඳයි. මේ ලෝකෙ නරක දරුවන් නැහැ.  වැඩිහිටියන්  කරන නරක තමයි ඔවුන් දකින්නේ. ඔවුන් ආදර්ශයට ගන්නේ. නැත්නම් වරදක් ද නොදැන වරදක් යයි සම්මත දෙයක්  කරන්න පුළුවන්. යාළුවගේ අලුත් පැන්සලය ආසාවට අරගෙන ගෙදර ගේන්න පුළුවන්. එය දැකපු පළමු වතාවෙම දෙමව්පියන් දරුවාගෙන් ඒ ගැන විමසන්න ඕන. එය නැවත යාළුවාට ගිහින් දී සමාව ගන්න පොළඹවා යහමගට ගන්න ඕන. මේකට දරුවා බය කරන්න අවශ්‍ය නැහැ. 

යම් හොඳ පුරුද්දක් සමාජ ගත වුණහම ඒක කඩන්න මිනිස්සු බය වෙනවා. අපායේ යයි කියන බය නෙමේ ඒක. තමන් සමාජ විරෝධියෙක් කියා මහා සමාජය සිතාවි,තමා සමාජයෙන් ප්‍රතික්ෂේප වේවි කියන බය. උදාහරණයක් විදියට මාර්ග නීති පිළිපැදීම ගන්න පුළුවන්. අපේ සමාජය තාමත් බොහෝ දුරට මාර්ග නීති පිළිපදින්නේ පොලිසිය පේන්න ඉන්නවනම් විතරයි. දඩ ගහනවට බයට, නඩු පැටලෙනවට බයට. තාම ඒක සමාජ වගකීමක් ලෙස හිතන්න පුරුදු වෙලා නැහැ. ආගම් කීයක් තියෙන රටක් ද ? නමුත් ආගමකට මුල් තැනක් නොදෙන රටවල් තියෙනවා මේ නීති අකුරට පිළිපදින. නීති ගරුක බව කුඩා කල පටන්ම සිතට කාවද්දන්න අවශ්‍යයි. නමුත් වෙන්නේ මොකක්ද ?ආගම කර තියන් හිටියත්, බොරු කීමෙන් වෙන්වීමේ ශික්ෂා පදය ඉගැන්වූ දරුවාටම මුලින්ම පාසලට ඇතුලත් කරන සම්මුඛ පරීක්ෂනයෙදී කියන්න  බොරු උගන්වනවා.  

සමාජයක සැමට එකසේ බලපාන  නීති පද්ධතියක් තිබෙන්න ඕන. දැන් අපේ රටේ කොතරම් ආගමික අනුශාසනා  තිබුනත් සැමට බලපාන පොදු නීති පද්ධතියක් ඇති කරගන්න බැරිවෙලා තියෙනවා නේ? නීතිය බලවතා ළඟ නැමෙනවා නේ? පරම්පරාවෙන් පරම්පරාවට දරුවන් දකින්නෙත් මේ අවුලම නේ? ඉතින් කවදා පායයි ද දිනිසුරු අප රටට ? කියලා අහන්න වෙනවා. 

මේ සැමට පෙර අමතක නොකළ යුතු කාරණය නම් කුමන යහපත් ගතිගුණයක් වුව රෝපණය වන්නේ මුලික අවම ආර්ථික අවශ්‍යතාවත් සම්පුර්ණ වුණ සාධාරණ සමාජයක් තුළ පමණක් බව. එසේ නොවන නිසරු බිමක වවන්න යන හොඳ ගතිගුණ කියන පැළය නිසි පෝෂණය නොලැබී මිය යනවා..එවැනි සාධාරණ  සමාජයකට පසුබිම සකසන එකත් සබුද්ධික ජනතාවගේම වගකීමක්.  

හොඳ නරක තේරුම් ගත්, වගකීම, යුතුකම්, වගවීම් හඳුනන ආගම් නැති ලොවක් මගේ එකම පැතුමයි. එය කෙදිනක හෝ ඉටුවනු ඇතිබව තරයේ විශ්වාස කරමි. මා මෙන් සිතන පතන තවත් අය මේ ලොව ඇති. එන්න මිතුර, අපි යහපත් ලොවකට පිය මනිමු. 


John Lennon

Imagine there's no heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today... Aha-ah...

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion, too
Imagine all the people
Living life in peace... You...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world... You...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one

Wednesday, May 15, 2019

ගිණි ගෙන දැවූණි මව්බිම

 
ගිණි ගෙන දැවූණි මව්බිම 


බක් මහ අසිරියෙන් ලද
උණුසුම් සතුට විඳ විඳ
සිටි ඒ මොහොත සිඳ බිඳ
පිපිරුණා අකුණක් හිසේ මැද

ගිණි ගෙන දැවූණි මව්බිම
අළු වුණි ඇන්ද සිතුවම
සැම නෙත කදුළු බිඳුවම
ගලාගෙන ගොස්  ගඟකි කඳුළුම

දින සති වලට පෙරළී
කාලය ගලයි නොසැළී
සිත්වල නැගුණු පෙරළී
ඒත් තාමත් නොමැත පෙරළී

නැග විත්  පෙරඹරින් අර 
විහිදා  සිහිල් රැස් කඳ 
මේ දුක් අදෝනා මැද
කුමට නැගුණි ද මේ වෙසක් සඳ

අතු අග එබී බල බල
විළිබර පෙති විදා හැර
බඹරිදු එතැයි සිත සිත
කුමට පිපුනිද මේ වෙසක් මල

සැම දෙස දොරින් දොර මැද
නැත මෙහි සිනා මල් අද
වැතිරී තැවෙමි හිත හිත
කිමද මෙතරම් කටු යහන මත

Tuesday, May 7, 2019

ලෝකයේ මැදට ගියෙමි.

ලෝකයේ මැදට ගියෙමි. 

ඔබ සිටින තැන වටේට ලෝකයම පෙනේ නම් එතැන ලෝකයේ මැද වෙන්න ඕනෙ නේද ? අපි පුංචි කාලෙ හිතුවේ එහෙමයි. මේ වගේ තැනකට ගියහම ඒ සිතුවිලි අලුත් වුණා. කොහෙද මේ ? ඒ තමයි සඳ තැන්න/ සඳමිණි තැන්න නැත්නම් හැමෝම කියන Moon Plains .

ඇත්තටම ලෝකේ ලස්සන අතගාල බලන්නවත්, අහන්න වත් තියෙන දෙයක් නෙමේ කියන එක තේරුම් ගියේ ලංකාවෙත් ලෝකෙත් සංචාරය කරන්න පටන් ගත්තට පස්සේ. ඒ ලස්සන තියෙන්නේ ඒ තැන්වලට ගිහින් ඇසින් දැක බලා විඳගන්න.

මේ සුන්දර තැන පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගර මධ්‍යයේ ඉඳල 5.8km දුරින් රන්හවඩී ගම පාරේ. ඇතුල් වෙන ස්ථානයට තියෙන්නේ නගරයේ ඉඳල 2.5 km විතර. ඒ සීතාඑළිය කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට අයත් බීජ අර්තාපල් ගොවිපොළෙන්. ගොවිපොළට ඇතුල්වෙන තැන වාහන වතුර වළක් තුළින් ගිහින් තමයි ඇතුල්වෙන්නේ. ඒ වාහන රෝද සේදීමක් කරන්න. ඒ වතුරේ විෂබීජ නාශක දාල තිබෙන බව අපේ ගයිඩ් කිව්වා. ගොවිපොළට පිටින් අපිරිසිදු දේ ඇතුල් වීම වැළැක්වීමටයි එහෙම කරන්නේ.

එතැනින් ප්‍රවේශ පත්‍ර අරන්, සෆාරි ජීප් එකකට රු 2000ක් ගෙවල යන්න ඕන. එහි යන රියදුරු මහතා මගපෙන්වන්නාගේ කාර්යත් ඉටු කරනවා. භුමිය පාලනය කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අලි වැටක් ගොවිපොළ වටේ තියෙනවා දැකල කුකුසක් ඇති වුණා අලි නැතුව අලි වැටක් මොකටද කියල. ඒකට හේතුව අපේ ගයිඩ් කියල දුන්නා. ගොවිතැන් සඳහා වෙන් කර ගන්න ප්‍රදේශය ගෝනුන්, මුවන්,ඉත්තෑවුන් ගෙන් බේර ගන්නයි වැට දාල තියෙන්නේ. සතුන් නිදහසේ ඉතිරි ප්‍රදේශවල ඉන්නවා. වසර 5ක් එක භුමි ප්‍රදේශයක් වගා ඊළඟ කන්නයේ දී වෙනත් කොටසක වගා කරලා මේ යොදාගත් කොටසට සතුන්ට එන්න අරිනවා. 472 හෙක්ටයාර් පමණ වන මුළු භුමි ප්‍රදේශයෙන් 20 හෙක්ටයාර් තමයි වගාවට යොදා ගන්නේ.

මේ භුමිය කලින් කසළ ගොඩ ගැසූ තැනක් විදියට තිබිල තියෙන්නේ. මේ තත්වයෙන් සංචාරක ආකර්ෂණය ඇති කරන පෙදෙසක් බවට පත් කරලා තියෙන්නේ 2014 වසරේ. තැන්නට යන පාර නම් සෝදා පාළුවට ලක් වූ එකක්. වාහනයේ යද්දී මුළු ශරීරයම ඇඹරිලා යනවා. පරිස්සමට නොගියොත් කොන්ද ඉවරයි. හැබැයි තැන්නට ගියහම වටේම අංශක 360 පේනවා.හරිම මනස්කාන්ත  දසුනක්. තැන්නෙන් පහළ පෙනෙන ප්‍රපාතය  'පුංචි ලෝකන්තයක්' පෙන්වනවා. තැන්නේ සිට දසුන් හොඳින් විඳ ගැනීමට වේදිකාවක් හදල තියෙනවා.    සමහර කාලගුණික තත්ත්ව යටතේ මිහිදුමින් වැහිලා දසුන නොපෙනී යන බව අපේ ගයිඩ් කිව්වා.

මේ තැන්නට ශ්‍රී ලංකාවේ උසම කඳු දහයෙන් 9ක් ම පේනවා. ශ්‍රී පාද කන්ද විතරයි පෙන්නේ නැත්තේ
වටේ පේන කඳු වැටී තමයි, කිකිළියමාන කන්ද, (අඩි 7339 ), Single Tree Mountain (අඩි 6890 ), Great Western Mountain (අඩි 7257 ), Conical Hill Mountain( අඩි7106), කිරිගල්පොත්ත කන්ද  (7835 අඩි ), තොටුපළ කන්ද  (අඩි 7737 ), හක්ගල කන්ද  (අඩි 7110 ), නමුණුකුල කන්ද  (අඩි 6667 ) සහ පිදුරුතලාගල කන්ද  Pidurutalagala Mountain (අඩි 8281 ).