Tuesday, May 7, 2019

ලෝකයේ මැදට ගියෙමි.

ලෝකයේ මැදට ගියෙමි. 

ඔබ සිටින තැන වටේට ලෝකයම පෙනේ නම් එතැන ලෝකයේ මැද වෙන්න ඕනෙ නේද ? අපි පුංචි කාලෙ හිතුවේ එහෙමයි. මේ වගේ තැනකට ගියහම ඒ සිතුවිලි අලුත් වුණා. කොහෙද මේ ? ඒ තමයි සඳ තැන්න/ සඳමිණි තැන්න නැත්නම් හැමෝම කියන Moon Plains .

ඇත්තටම ලෝකේ ලස්සන අතගාල බලන්නවත්, අහන්න වත් තියෙන දෙයක් නෙමේ කියන එක තේරුම් ගියේ ලංකාවෙත් ලෝකෙත් සංචාරය කරන්න පටන් ගත්තට පස්සේ. ඒ ලස්සන තියෙන්නේ ඒ තැන්වලට ගිහින් ඇසින් දැක බලා විඳගන්න.

මේ සුන්දර තැන පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගර මධ්‍යයේ ඉඳල 5.8km දුරින් රන්හවඩී ගම පාරේ. ඇතුල් වෙන ස්ථානයට තියෙන්නේ නගරයේ ඉඳල 2.5 km විතර. ඒ සීතාඑළිය කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට අයත් බීජ අර්තාපල් ගොවිපොළෙන්. ගොවිපොළට ඇතුල්වෙන තැන වාහන වතුර වළක් තුළින් ගිහින් තමයි ඇතුල්වෙන්නේ. ඒ වාහන රෝද සේදීමක් කරන්න. ඒ වතුරේ විෂබීජ නාශක දාල තිබෙන බව අපේ ගයිඩ් කිව්වා. ගොවිපොළට පිටින් අපිරිසිදු දේ ඇතුල් වීම වැළැක්වීමටයි එහෙම කරන්නේ.

එතැනින් ප්‍රවේශ පත්‍ර අරන්, සෆාරි ජීප් එකකට රු 2000ක් ගෙවල යන්න ඕන. එහි යන රියදුරු මහතා මගපෙන්වන්නාගේ කාර්යත් ඉටු කරනවා. භුමිය පාලනය කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අලි වැටක් ගොවිපොළ වටේ තියෙනවා දැකල කුකුසක් ඇති වුණා අලි නැතුව අලි වැටක් මොකටද කියල. ඒකට හේතුව අපේ ගයිඩ් කියල දුන්නා. ගොවිතැන් සඳහා වෙන් කර ගන්න ප්‍රදේශය ගෝනුන්, මුවන්,ඉත්තෑවුන් ගෙන් බේර ගන්නයි වැට දාල තියෙන්නේ. සතුන් නිදහසේ ඉතිරි ප්‍රදේශවල ඉන්නවා. වසර 5ක් එක භුමි ප්‍රදේශයක් වගා ඊළඟ කන්නයේ දී වෙනත් කොටසක වගා කරලා මේ යොදාගත් කොටසට සතුන්ට එන්න අරිනවා. 472 හෙක්ටයාර් පමණ වන මුළු භුමි ප්‍රදේශයෙන් 20 හෙක්ටයාර් තමයි වගාවට යොදා ගන්නේ.

මේ භුමිය කලින් කසළ ගොඩ ගැසූ තැනක් විදියට තිබිල තියෙන්නේ. මේ තත්වයෙන් සංචාරක ආකර්ෂණය ඇති කරන පෙදෙසක් බවට පත් කරලා තියෙන්නේ 2014 වසරේ. තැන්නට යන පාර නම් සෝදා පාළුවට ලක් වූ එකක්. වාහනයේ යද්දී මුළු ශරීරයම ඇඹරිලා යනවා. පරිස්සමට නොගියොත් කොන්ද ඉවරයි. හැබැයි තැන්නට ගියහම වටේම අංශක 360 පේනවා.හරිම මනස්කාන්ත  දසුනක්. තැන්නෙන් පහළ පෙනෙන ප්‍රපාතය  'පුංචි ලෝකන්තයක්' පෙන්වනවා. තැන්නේ සිට දසුන් හොඳින් විඳ ගැනීමට වේදිකාවක් හදල තියෙනවා.    සමහර කාලගුණික තත්ත්ව යටතේ මිහිදුමින් වැහිලා දසුන නොපෙනී යන බව අපේ ගයිඩ් කිව්වා.

මේ තැන්නට ශ්‍රී ලංකාවේ උසම කඳු දහයෙන් 9ක් ම පේනවා. ශ්‍රී පාද කන්ද විතරයි පෙන්නේ නැත්තේ
වටේ පේන කඳු වැටී තමයි, කිකිළියමාන කන්ද, (අඩි 7339 ), Single Tree Mountain (අඩි 6890 ), Great Western Mountain (අඩි 7257 ), Conical Hill Mountain( අඩි7106), කිරිගල්පොත්ත කන්ද  (7835 අඩි ), තොටුපළ කන්ද  (අඩි 7737 ), හක්ගල කන්ද  (අඩි 7110 ), නමුණුකුල කන්ද  (අඩි 6667 ) සහ පිදුරුතලාගල කන්ද  Pidurutalagala Mountain (අඩි 8281 ).

2 comments:

  1. බීජ අර්තාපල් ගොවිපොළ ගැන අසා තිබුනත් මෙතරම් විස්තරයක් දැනගෙන හිටියේ නැහැ.

    මේ සංචාරක ආකර්ෂණ කටයුතු මෑතදී කර ඇති බවයි පෙනෙන්නේ.විශේෂයෙන්ම අලි වැටක් මගින් අනිකුත් සතුන්ගෙන්ද වන හානි වලක්වා ගැනීම, වසර පහෙන් පහට වගා භුමිය වෙනස් කර නැවත වල් බිහිවීමට ඉඩ හැරීම වගේ දේවල් සහ එක තැනක සිට කඳුකරයේ ඇති උසම කඳු නවයක්ම හඳුනා ගැනීම වගේ දේවල් අධ්‍යාපනික වශයෙන් හරිම වැදගත්. මේ වගේ තැන් සඳහා දැනට වඩා ප්‍රචාරයක් දීම සහ ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට මේ අදහස් දැක්වීමට. 1958 දී තමයි මේ බීජ අර්තාපල් ගොවිපොළ ආරම්භ කරලා තියෙන්නේ. මට කණගාටු හිතුනේ තැන්නට යන පාරේ සෝදා පාළුව ගැන. ඒ ගැන පියවරක් ගැනීම ඉතා අවශ්‍යයි ,සංචාරක පැමිණීම වැඩි වීමත් එක්ක. මේ දිනවල නම් සංචාරකයන් ඉතා අඩුයි.

      Delete