Friday, April 26, 2019

ජීවිතයත් ෆැන්ටසියකි


ජීවිතයත් ෆැන්ටසියකි

'හඳ හාමි හැංගි හැංගි එබිල බලනවා
රන්තැටියට කිරියි පැණියි අපට ගේනවා '

මේ ගීය කියපු නැති සිංහල දරුවෙක් නැතුව ඇති. මේක බොරු දෙයක් නේද කියල මෙහෙම සිංදුවකුත් කලෙක ගැයුණා. 'රන් තැටියට කිරි පැණි පුරවාලා හඳ හාමි දූ බලන්න එනවලු .....හඳ හාමි කෙලෙසද මෙහි එන්නේ ' කියලා. ඒත් අපි මුල් කවිය ගයන එක නැවැත්තුව ද ? නෑ ... අපි ෆැන්ටසි වලට කැමතියි,ආදරෙයි,

අපි පොඩි කාලේ රුපවාහිනී, පරිගණක වගේ ඒවා තිබුණෙ නැහැනේ. පසු කාලයේ ගෙදරට රේඩියෝ එකක් ගෙනාව මතකයි. අපේ අම්මල ආත්තම්මල අපිට කතන්දර කියල දුන්නා. ගම කතා,ජන කතා, ජාතක කතා,උපමා කතා....මෙකී නොකී කතා වර්ග ඒ අතරේ තිබුණා. මේ කතා වල සත්තු කතා කරනවා. ඉතින් මම අම්මගෙන් ඇහුව ඇයි දැන් සත්තු කතා කරන්නැත්තේ කියලා. අම්මා කිව්වා, වෙස්සන්තර රජ්ජුරුවෝ දරුවන් දන් දුන්න වෙලාවේ ඉඳල සත්තුන්ට කතා කරන්න බැරුව ගියා කියල. ඔන්න ඔහොමයි මම ෆැන්ටසිය ප්‍රශ්න කළේ හා ඒකට අම්මා ෆැන්ටසියකින් ම දුන්න උත්තරේ

ඒත් අද බලාගෙන යනකොට ඊටත් වඩා මුළු ලෝකෙම ෆැන්ටසියට කැමතියි නේ.
කාටුන් වල අමුතු හිතළු චරිත ...ඒවා කතා කරනවා. සත්තු පුදුම විදියට කතා කරනවා. දරුවෝ ඒවා බලනවා,සතුටු වෙනවා. ඒ කාලේ  පොතකින් විතරනේ මේ වගේ දේවල් කියෙව්වේ. දැන් ඇස් පනා පිට මේ චරිත ජීවත් වෙනවා.එක්තරා කාලයක නව කතා, කෙටි කතා, කවි,චිත්‍රපටි,වේදිකා නාට්‍ය වගේ දේවල් යථාර්ථ ජීවිතය තමයි දැක්වුයේ. නමුත් අද වෙනකොට මේ හැම දෙයකමත් අන්තර්ගත වෙන්නේ විවිධ ෆැන්ටසි. තරුණ දරුවෝ මේ වගේ චිත්‍රපටි බලන්න හුගක් කැමතියි.

 ඉතින් සමහරු 'මේවා බලල දරුවෝ නරක් වේවි, අමුතු ලෝක වලයි මේවා බලන දරුවෝ ජීවත් වෙන්නේ' වගේ පඬි තර්ක ගේනවා. ඒ වුනාට මේ වැඩිහිටියෝ දන්නේ නෑ ඒ ගොල්ලොත් මේ ෆැන්ටසි ඇත්ත කියල විශ්වාස කරමින්ය ජීවත් වෙන්නේ කියලා. දැන් බලන්න, දෙවියෝ ඉන්නවය කියල එක එක පුද පූජා කරනවා. පල්ලි කෝවිල් වල වැඳ වැටෙනවා. යාඥා කරනවා. කොහේ ද මේ දෙවියෝ ඉන්නේ මුළුමනින්ම හිතළු නේද ? ඒවා වටා මොනතරම් සංස්ථා ගොඩනැගිල තියෙනවා ද ? කී දෙනෙක් මේවා තම ජීවන මාර්ගය බවට පත් කරගෙන තියෙනවා ද ? මේවා ප්‍රශ්න කරොත් දෙන උත්තරේ තමයි අපිට නොදැනෙන, විද්‍යාවෙන් සොයාගත්තේ නැති දේවල් මේ ලෝකේ තියෙනවාය කියන එක.

මේ ලෝකයේ තිබෙනවය කියල ඇත්තටම දන්නා දේවල් ටික හා ඒ ගැන ඉදිරියටත් සොයා ගන්න දේවල් මත පමණක් ජීවත් වෙන්න මිනිස්සු කැමති නැහැ. ඒ නිසා ෆැන්ටසි මවනවා. ඒවායින් විනෝද ආශ්වාදය ලබනවා. ඒක වරදක් නෙවේ. නමුත්  ෆැන්ටසිය ෆැන්ටසියක් ලෙස දකින්න බැරිව මිත්‍යාව පෝෂණය කරමින් එහි ගැලීම සමාව දෙන්න බැරි වරදක්.
බණ දේශනා වලදී කියන්නෙත් බොහෝ විට මේ වගේ ගොතපු කතා. ගැඹුරු ධර්ම කාරණාවක් ඇහෙන්නේ එහෙමත් කලාතුරකින්.  සමහර ජාතකකතා වලත් සත්තු කතා කරනවා. හඳේ හාවා අඳින කතා, සතුන් නායකයා තෝරන කතා අපි පුංචි කාලේ අසාවෙන් අහපු, කියවපු කතා.

මෙහෙම බලන් ගියහම ජීවිතයම ෆැන්ටසියක් නෙමෙයි ද?

No comments:

Post a Comment