Wednesday, April 3, 2019

දඬුවම් ......


දඬුවම් ...... 

මේ දිනවල දණගැසීමේ දඬුවම ගැන කතා වෙන නිසා මේ අත්දැකීම් ලියන්න හිතුණා.

ඔව් මාත් දණගසා ගෙන ඉඳල තියෙනවා. මාත් මගේ මිතුරියත් පන්තිය ඉස්සරහ හිටගෙන කතා කරමින් හිටිය කියලා විදහල්පතිතුමිය අපිට දඬුවම් කළා . අපි දෙන්නා කාර්යාලය ඉදිරිපිට පැය ගණනක් දණගහල හිටියා. 

තව වතාවක් සිංහල විෂයට ඒ කාලඡේදයේ වැඩ ආවරණය කළ (Relief) ගුරු තුමිය, ගුරුතුමියක්  විශ්‍රාම යන අවස්ථාවට සුදුසු  සුබ පැතුම් පතක් හදන්න කිව්වා. මම ඒ ගුරු තුමියගේ නම දාල නිර්මාණ ශීලී විදියට ඒක හැදුවා. ඒකට ඇයට තරහ ගියා. 'මාව විශ්‍රාම යවන්නද හදන්නේ ' කියා මා දණ ගැස්සුවා පන්තිය ඉදිරිපිට.  

මේ අවස්ථා දෙකේම ඒ වයසේ දී හුඟාක් ලැජ්ජාවට පත්වෙලා දුක් වුණා. ඒ නිසා මම මගේ ගුරු ජීවිතයේදී දරුවන් දන ගස්සවා නැහැ. හිටගෙන ටිකක් වෙලා ඉන්න කියන එක පමණයි  කළේ.

තව අපේ පාසලේදී පුටු උඩ නග්ගවා තැබීමේ දඬුවම බොහෝසේ ක්‍රියාත්මක වුණා. ඉස්සර  පෙළ පොත් අපි මිලදී ගන්න ඕන. අද වගේ ඒවා නොමිලේ ලැබුණේ නැහැ. ආර්ථික ප්‍රශ්න නිසා ඇතැම් අවස්ථා තිබුණා ඒවා ගන්න බැරිවෙන. ඒ ගැන විමසීමක් නොකර, පොත ගෙනාවේ නැතැයි කියා  පුටු උඩ හිටගෙන ඉන්න සැලැස්සු වාර බොහෝයි . ඒවා ඉතා අප්‍රසන්න අවස්ථා.  

අනික පොත ගුරුතුමිය විසින් පන්තියෙන් ඈතට විසි කිරීම. මගේ මැහුම් කොතෙක් හොඳට කළත් ඒ ගුරුතුමිය ඒවා ඇදල ලිහල පන්තියෙන් එළියට විසිකරනවා. ඒ කාලයේ දඬුවම් ඔන්න ඔය විදියට තමයි ලැබුණේ.  පොඩි දරුවෙක් විදියට දුක හිතුණා ඒ වෙලාවල්වල. 

මගේ ගුරු ජීවිතයේදී දරුවන්ට පාරක් නොගැහුවා කියල කියන්නේ නැහැ. නමුත් ඉතාමත් අඩුයි එවැනි අවස්ථා. ඒත්  උසස් පෙළ දඬු කොල්ලන්ට විතරයි. නමුත් ජීව විද්‍යා ගුරුවරියක් විදියටත් හා විද්‍යා අංශ ප්‍රධාන විදියටත් බොහෝ අවස්ථාවල ඔවුන් හික්මවීමට වෙනත් උපක්‍රම යොදා ගත්තා.


No comments:

Post a Comment