Tuesday, April 9, 2019

මානෙල් - Water Lily

මානෙල් - Water Lily 


                                                             Giant Water Lily

මානෙල් පැළයේ මලක් එනකම් ආසාවෙන් බලා හිටියේ. කලින් පැලේ  හොඳින් හැදිලා මල් එන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ Blacky කෙල්ල ඒකෙ ඔක්කොම කොළ කෑව. ඊට පස්සේ තිබ්බ තැන හෙවන නිසා පැලේ වැඩීම බාල වුණා. ඊට පස්සේ බඳුනත් මාරු කරලා බැල්කනියට අරන් ගියා. ඒත් කියන්න තරම් වෙනසක් වුනේ නැහැ. පස්සේ යෙහෙළියක් කිව්ව විදියට රසායනික පොහොර කැට යෙදුවා. මාළුන්ට හානි වෙයි කියලා පොහොර යොදන්න බයේ හිටියේ. දවස් කිහිපයයි ගියේ. ලොකු කොළ ඇවිත් පැළය සරුවට වැඩුනා. මල් මොට්ටුව ආවා. මල පිපෙන වෙලේ මං ගෙදර හිටියේ නැහැ. ඒ අරුමය දැකපු මිණිපිරියෝ දෙන්නා අමන්දානන්දයට පත් වෙලා තිබුණා. 'අම්මේ අද හරි ලස්සනට මල පිපිලා තිබුණා ' කියලා දැරියන්ගේ අම්මා මං රෑ ගෙදර ආවහම කිව්වා. මං බලන්න යනකොට මල හැකිළී තිබුණා. පසුදා නැවත පිපුණා. ඔහොම දවස් හතරක් විතර මල උදේට පිපුණා. හවසට ඇකිළුනා. දැන් නම් ඒක පරවෙලා.

                                                                           මගේ පැළය 

මානෙල්/ඕලු (Water Lily)   Nymphaeaceae කියන කුලයට අයිති මල් පිපෙන ජලජ ශාක වර්ගයක්. මෙයට අයත්   විශේෂ 58ක් පමණ ලෝකයේ නිවර්තන හා සෞම්‍ය කලාපයේ රටවල් වල දකින්න ලැබෙනවා. මේවා ගණ 6කට අයත් වෙනවා. මේ පැළෑටි වල කඳ තියෙන්නේ මඩේ ගිලිලා. සිහින් නම්‍ය ශීලී නටු වලින් කොළ වතුර මතුපිටට ගේනවා. වතුර මට්ටම අඩු වැඩි වෙන කොට නටු නැමෙමින් කොහොම හරි පත්‍ර වතුර මත තබා ගන්නවා. මේ පත්‍රවල මතුපිට දිලිසෙන සුළුයි. ඉටි තැන්පත් වෙලා තියෙනවා. වතුර පත්‍ර මත රැඳෙන්නේ නැහැ. මේ පත්‍රවල පුටිකා සිදුරු තියෙන්නේ උඩ පැත්තේ. වතුර රැඳෙන්නේ නැති නිසා පුටිකා සිදුරු අවහිර වීම වැළැක්වෙනවා. මේ සිදුරු වලින් ඇතුල්වෙන වාතය ගබඩා කර ගන්න පැළයේ කඳ, නටු,පත්‍ර වල ලොකු වා කුටීර තියෙනවා.

සැබවින්ම මානෙල් කියන ගණය වන්නේ Nymphaea  කියන එක. මෙහි විශේෂ 46ක් පමණ තිබෙනවා.    නිල්මානෙල් Nymphaea nauchali අපේ හා බංගලිදේශයේ ජාතික පුෂ්පය බව ඔබ දන්නවා ඇති.     North American White Water Lilly - Nymphaea odorata , Europian White Water Lily- Nymphaea alba,

                                                      පදනම් ආයතනයේ වවා තිබු පැළයක්


Victoria කියන ගණයට අයත් විශේෂ දෙකක් අයත්වන  නිවර්තන දකුණු ඇමෙරිකානු ශාක  Giant Lily ලෙස සැලකෙනවා.  Royal water lily-  Victoria amazonica   Santa Cruz Water Lilly- Victoria cruciana කියන මේ විශේෂ දෙකේ පත්‍ර හරි විශාලයි, 60-180 cm  පමණ විශ්කම්භයක් තියෙනවා. ඉතා ඝන නාරටි  හා උඩට හැරී නැමුණු පත්‍ර දාර දරනවා.  පෙති 50ක් පමණ දරණ 18-46 අතර විශාලත්වයක් ඇති යෝධ, සුවදවත් මල් මේවායේ පිපෙනවා.

මේ කුලයේ ශාක දෙමුහුම් කිරීම මගින් විශාල විවිධත්වයක් ඇති කර තිබෙන අතර අලංකාර ශාක ලෙස බොහෝ ගෙවතු හා උද්‍යාන අලංකරණයට යොදා ගෙන තිබෙනවා. අපට දවසින් දවස අලුත් මානෙල් වර්ග දක්නට ලැබෙන්නේ මේ නිසයි. මේවායේ ගෙඩි/ඵල බදරියක් (Berry)ලෙසයි හැදෙන්නේ.






Berries


මේවායේ ළපටි පත්‍ර, මල් මොට්ටු, කඳ ආහාරයට ගන්නවා. ඇටත් පෝෂ්‍ය දායි ආහාරයක්.  මේ ශාක ජලජ සත්වයින්ට ආහාර සපයන නමුත් අධිකව වැවීමෙන් ජල මාර්ග අවහිරවී ජලය බැස යාමට බාධා ඇති කරනවා. (Photos of  Giant Water Lily and Fruits from Internet)
  


No comments:

Post a Comment