දයාබර සුදු
දුව ( කෙටි නවකතාව) - දෙවන දිග
හැරුම
අවුරුදු
තුන පහුවෙන්න කලින් ඔයාට අකුරු කියවීමේ
උත්සවය තිබ්බා. අකුරු
කියෙව්වේ ලොකු මාමා. එදායින්
පස්සේ ඔයා දවසට දෙකට පොත් පත්
වල තියෙන දේවල් අඳුර ගන්න දක්ෂ
වුණේ අපි පුදුමයට පත්
කරමින්. ආච්චි කියන ගාථා එක
සැරයක් දෙසැරයක් ඇහුවහම ඔයාට කට පාඩම්
වුණා. අවුරුදු හතර වෙද්දී තුන්
සුත්රය, නරසීහ ගාථා,
ජයමංගල ගාථා ඔයා ගායනා
කළේ අහන් ඉන්න ආස
හිතෙන විදියට. අවුරුදු හතරයි මාස පහක් වෙද්දී
ඔයා ඉස්කෝලෙකට දාන්න තාත්තට ලොකු උනන්දුවක් තිබුණා. නගරයේ
කන්යාරාමය, සවුත්ලන්ඩ් බාලිකාව හා සංඝමිත්තාව කියන
තුනටම ඔයාව දාන්න පුළුවන්
කම තිබුණ කියල තාත්ත කිව්වා.
අන්තිමේ තාත්තගේ හිත ගියේ සංඝමිත්තාවට.
ඉතින් ඔයා ඒකට ඇතුල්
කළා. පහළ බලාංශයට තමයි
මුලින් ඇතුල් කළේ. මුල් දවස්වල
මාත් ඔයා එක්ක පාසලට
ගියා. උඩ පන්තිවල ළමයි
විවේක කාලෙට ඔයාගේ පන්තියට එනවා 'සුදු බබා ' බලල
යන්න. ඔයා හිනාවෙන්නේ ඇස්
වලින් කියල ඒ ගොල්ලෝ
කිව්වේ ඔයා හිනාවෙන කොට
ඇස් දෙක හීන් ඉරි
දෙකක් වගේ වෙන හින්ද
වෙන්න ඇති. ඔයාගේ ඇස්
වල සුදු ඉංගිරියාව ළා
නිල් පාටක්
ගත්තා. කළු බෝලය හරිම
තීව්රයි. තොල් දෙක ලස්සන
රෝස පාටයි. හම
හිම කුමාරිගේ වගේ. ඔයා හුඟක්
දවස්වල පාසල් එක්ක ගියේ මාමා. සමහර
කාලවල මාමගේ යාළුවෙකුගේ මෝටර් රථයෙන් යැව්වා.
පහළ
බාලාංශයෙන් ඉහළ බාලාංශයට ඊළඟට
දෙක පන්තියට, තුන පන්තියට ඔයා
සමත් වුණා. ලස්සන බෝල අකුරු ලිව්වා.
ඒ
කාලෙ පන්ති පොත්, නිල ඇඳුම් කිසි
දෙයක් රජයෙන් දුන්නේ නම් නැහැ. අවුරුද්ද අවසානේ දෙන පොත් ලැයිස්තුවට
පොත් ටික අරන් දෙනකම්
ඔයාට ඉස්පාසුවක් තිබුණෙ නැහැ. තාන්
සුවඳ හමන පොත් ටික
ලොකු මාමා තමයි හැමදාම
අරන් දුන්නේ. ඔයා ඒ පොත්
ටික ඔක්කොම දෙසැම්බර් නිවාඩුව ඉවර වෙන්න කලින්ම
කියවල ඉවර කළා. පොත් කියවන්න ඔයාට
තිබුණේ පුදුම ආශාවක්. ඒ දවස්වල දැන්
වගේ රුපවාහිනිය තිබුණේ නැහැනේ. ගෙදර රේඩියෝවක් තිබුණා.
ඔයා ඒකෙ යන ගීත
ලස්සනට ගායනා කළා. ඒකෙ
යන නාට්‍ය තනියම
රඟපෑවා.
දෙකේ
පන්තියේ ඉඳන් ඔයා තනියම
බස් එකේ ඉස්කෝලේ ගියා.
ඒ කාලෙ තිබුණේ ලංගම
බස් විතරයි. ටික
දෙනෙකුට තමයි තමන්ට කියල
පුද්ගලික වාහන තිබුණේ. පොඩි මාමට හැමදාමත්
වාහනයක් තිබුණා. ඒත්
එයා වෛද්යවරයෙක් විදියට
වැඩ කළේ දුරබැහැර පැත්තක. ඉතින්
ඒ වාහනයේ අපි ගමන් ගියේ
කලාතුරකින් තමයි. අපිට
විශේෂ ගමනක් යන්න තියෙනකොට කුලී
මෝටර් රථයක් යොදා ගත්තා. ඒ
කාලේ කුලියට හයර් යන මෝටර්
රථ වගේම ටැක්සි සේවයකුත්
නගරවල තිබුණා. ත්රී රෝද රථ
ආවේ මේ මෑතක නේ.
පාරවල්
වල අද වගේ මහා
කලබලයක් තිබුණේ නැහැ. බස්
එකේ කොන්දොස්තර මාමගේ ඉඳල මග තොටේ
නොදන්නා නාඳුනන අය වුණත් කාගේ
දරුවෙක් වුණත් ආරක්ෂා කරගන්න ඕන කියන යහපත්
සිතුවිල්ලේ හිටියා. බයක් තිබුණ නම්
තිබුණේ කරවල වාඩි වලටය
කියල පිරිමි ළමයි අරන් යනව
කියන එක තමයි. එහෙම
නැතුව අතන මෙතැන අපයෝජන,
දුෂණ ගැන අහන්න නොලැබුණු
තරම්. එවැනි
දේවල් කිහිපයක් හුදකලාව වෙන්නත් ඇති. ඒත්
අද වගේ කැමරා උස්සගෙන
දුවල අඬන වැලපෙන දර්ශන
එක්ක ඒ සිදුවීම් අත්ශයෝක්තියෙන්
පෙන්නලා ඒ තොරතුරු විකුණගෙන
කාල ජීවත්වෙන නරක පුරුද්දක් තිබුණේ
නැහැ. ප්‍රසිද්ධ අපරාදයක් වුණ වෙලාවල් වල
කවි කොලය කියල එකක්
නම් විකිණිලා ගියා. හාර
ලක්ශේ මං කොල්ලේ, ඇඩ්ලින්
විතාරණ මිනී මැරුම මට
මතක ඒවා දෙකක්. 1959දී බණ්ඩාරනායක අගමැති
තුමාගේ ඝාතනය රටම කැලඹීමට පත්කරා. ඒවා
ඔයාලට මතක නැහැ. 1960
දී සිරිමා බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප්රථම අගමැතිනිය
බවට පත්වුණා. මේ කාලයේ රටේ
තිබුණේ යහපත් වාතාවරනයක් . නීතියේ
ආධිපත්‍ය රැකිලා තිබුණා.
රජයේ රැකියා වලට ගැනීමේදී දේශපාලනය
බලපෑම් කළේ නැහැ. හුඟක් පුද්ගලික අංශයේ දේවල් ජනසතු වුණා. තෙල් ආනයනයේදී සිදුවූ
වෙනස කැපී පෙනෙන එකක්.
අධ්යාපනය සම්පුර්ණයෙන්ම රජයට ගත්තා. මං
මේ දේවල් කියන්නේ ඔයා අපි එක්ක
හිටිය ඒ නිදහස් වකවානුව
ගැන මේ කතාව කියවන
අයට යම් අවබෝධයක් ඇති
වෙන්න. අද
තියෙන්නේ හාත්පසින් වෙනස් වාතාවරණයක් නිසා. ජීවන
වියදමත් බොහොම අඩුයි. බස් ගාස්තුව සත
පහ, දහය වගේ ගණන්.
දැන්
ඉන්න තරුණ අයට මෙහෙම
තත්වයක් ගැන හිතා ගන්නවත්
බැහැ. ඔයාට
බස් එකේ බාගෙ ටිකට්
එකට යන ශත තුන
වියදම් කරලා මොනවා හරි
කඩ චෝරු කකා යාළුවොත්
එක්ක ගොඩ පාරවල්වලින් පයින්ම
ගෙදර එන වෙලාවල් තිබුණා. අපිට
ඒවාට තරවටු කරන්න ඕන කමක් තිබුණේ
නැහැ. මහමග
කියන්න තරම් අතුරු ආන්තරාවක්
ගැන බයක් තිබුණෙ නැහැ.
ඒ දවස් වල පොත්
දාගෙන යන්න අද වගේ
කරේ එල්ලන් යන බෑග් තිබුණෙ
නැහැ. පොඩි
සූට් කේස් එකක තමයි
ළමයි හැමෝම වගේ පොත් අරන්
ගියේ. ඔයාල
බස් හෝල්ට් එකේ බස් එක
එනකම් ඒ සුට්කේස් එක
උඩ කකුල් දෙපැත්තට දාල වාඩිවෙලා ඉන්නවා. ඒවා
ලේසියෙන් කැඩෙන්නේ නැහැ. අන්තිමට හම ගියාට පස්සේ
තමයි විසිකරලා දාන්නේ. ඒ කාලේ විවේකයට
කන්න පාසලෙන් බනිස් දෙනවා. ඒවායේ
හරියට ගුල්ලෝ හිටියලු. පාන්
පිටිවල ඉන්න ගුල්ලෝ අහක්
කරන්නේ නැහැනේ පිටි අනද්දී. ඉතින්
ඔයාලා ඒ බනිස් වල
ගුල්ලෝ කෑලි ගලවල එක
එක්කෙනා ගහ ගන්නවලු.
ගෙදරින් බටර්, ජෑම් පාන් අරගෙන
යන ඒවා විවේකෙට කලින්
සුට්කේස් එකට හොරෙන් අත
දාගෙන සුට්කේස් පියනෙන් මූණ වහගෙන මැඩම්ට
නොපෙනෙන්න කනවලු. මැඩම්
දැක්කොත් පොඩි තරවටුවක් මිසක්
ලොකු දඬුවම් නම් ඒ ඉස්කෝලේ
කවදාවත් දුන්නේ නැහැ.
ආච්චි (ඇත්තම කිව්වොත් ඒ කාලෙ අපේ පැත්තේ ආච්චි කියන වචනය මිත්තණිය හඳුන්වන්න යෙදුවේ නැහැ. ආත්තම්මා කියල තමයි ඔයාල කියව්වේ.) හැම පසළොස්වකට වගේම සිල් සමාදන් වෙන්න පන්සල් යනවා. ඔයත් පුරුදු වුණා ඒ එක්කම යන්න. ඒ කාලෙ පන්සල් යන්න අමුතුවෙන් ළමා සාරි මහන්න ඕන වුණේ නැහැ. පාසල් නිල ඇඳුම උඩින් දාගන්න මම ඔයාට පුංචි උතුරු සළුවක් හදල දුන්න. සිල් සමාදන් වෙලා උදේ දානෙට ආපහු ගෙදර එනවා. ඒ කාලෙ පන්සලේ උපාසක දාන දීමක් නැහැ. මම ඔය දෙන්න එනකොට හීල් දානෙ ලෑස්ති කරලා තියෙනවා. ඔයාට හිටපු ගමන් 'උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛා පදං ' අමතක වෙලා පුටු උඩ ඉඳ ගන්නවා. ආච්චි මතක් කරහම ආයෙ පැදුරට එනවා. තව ටිකකින් සිල් අමතක වෙලා නංගි, මල්ලි එක්ක සෙල්ලම් කරනවා. කොහොම හරි අමාරුවෙන් හවස හතර විතර වෙනකම් ඉඳල ඔයා සිල් පවාරණය කරනවා. ආච්චි නම් හැමදාම පහුවදා උදේ තමයි පවාරණය වෙන්නේ. එක දවසක් ආච්චිට පෝය දවසේ ඇහැරෙන්න පමා වෙලා සිල් ගන්න යන්නෙ නැතුව ඉන්නයි හැදල තියෙන්නේ. ඔයා එකහෙළාම යන්නම ඕන කියල අඬල. ඉතින් ඔයාවත් අන්දවා ගෙන ආච්චි පන්සල් ගිහින්. මම ඒ කාලෙ තාත්තගේ වත්තෙ ගෙදර ගිහින් හිටියේ. එහෙම කාල තිබුණා. එතකොට ඔයා ආච්චි, සීය හා මාමල එක්ක තමයි හිටියේ. සමහර දවස්වලට මම නංගි හා මල්ලී එක්ක කුලී මෝටර් රියට නගින කොට ඔයා අඬනවා. ඒ වුණාට ටොෆි, චොකොලට් මොනවා හරි දීල ආච්චි ඔයා නළව ගන්නවා.