Monday, February 14, 2022

වැලන්ටයින්

 










වැලන්ටයින්  


අපූරු ගසක් යයි සිතා 

පැළයක් දෝතින් ගෙන 

ගෙනත් සිටුවීමි වත්තේ එක පසෙක 

ගසද සරුවටම වැඩුනා දිනෙන් දින 

 

එළඹුණු නවම් මස මැද වන විට 

සුදු ලස්සන මල් කිණිති 

පිපී දිලුණා ඇගේ හිස මත 

වැලන්ටයින් ලු මේ ගසේ නම 


මව් ගස වටකර ඇගේ පාමුළ

යාර ගණනක වපසරිය වටකොට  

 ඉපැදුණා පොඩි පොඩි පැළ දරුවන් 

හතරවට හැම තැනකම 


"ඔය ගස උදුරා වනසා දමන්න 

නොරටින් ආ අප දේශයට 

ආක්‍රමණික සතුරෙකි අනික් ගස් වල "

හඬ නැගුවා පරිසරවේදීන් සැම 


තවත් කල් නොයවා එදිනම  වනසා ලීමි ගස

කැති පොරෝ ගෙන දරුවන්ද සමගින ...

ඈ හිස සැරසූ මල්  වැටී තිබුණා ඇය පාමුළ

මියගිය දරුවන්ගෙ මොළකැටි සිරුරු මත 


එදිනටම යෙදී තිබුණේලු ලෝකය සමරණ 

වැලන්ටයින් දින යයි නම් කළ 

ආදරවන්තයින්ගේ සැමරුම් දින 

මම දැන ගෙන හිටියේ නැහැ ඒ වග


ඡායා රූපය අන්තර්ජාලයෙනි.



2 comments:

  1. පරිසරවේදීන් විසින් ඔය ශාකයට "වැලන්ටයින්" අන්වර්ථ නාමය යොදා තිබෙන්නේ ඒ මගින් යම්කිසි ගුප්ත අර්ථයක් සමාජ ගත කිරීම සඳහා විය හැකියි. ඒ මගින් ඔය සම්මත කර ගෙන තිබෙන දිනයේදී නියම 'ළබැඳි ආදරය' වෙනුවට නොයෙකුත් අපචාර වලට යොමු වන තරුණ තරුණියන් සුළු පිරිසට හෝ කලකදී සිදුවිය හැකි අනර්ථය දැන්වීමට වගෙයි නේද? ඔබ විසින් සිටුවන ලද ඒ ශාකය ටික කලකින්ම මහා ව්‍යසනයක් බව දැනගත් විගසම එය එක්වරම විනාශ කිරීම හැර වෙන කිසිම ප්‍රතිකර්මයක් නොමැත. එමෙන්ම වැලන්ටයින් දින අනිසි ලෙස සැමරීමද මුලිනුපුටා දැමීමට කාළය එළඹී තිබේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ කොමෙන්ටුවට. ඔව්, එය ඉතා වේගයෙන් පැතිරෙන ශාකයක්. ඒත් එයටත් සුදුසු බිමක් මේ ලෝකයේ ඇති නේද ? වැලන්ටයින් දින ඔය විදියට අනර්ථකාරී වී ඇත්තේ අප වැනි රටවල දී නේද ? මේ අප සිටින රටවල එය සාමන්‍ය තෑගි හුවමාරු කරගන්න, එකට එකතුවී සතුටක් බුක්ති විඳින අනිකුත් උත්සව වගේම එකක් බවයි පේන්නේ. යම් යම් දේට අනවශ්‍ය වටිනාකම් දීම තුළ තරුණ පරපුර වල්මත් වී ඇති බවකි අපේ රටවල දකින්න ලැබෙන්නේ.

      Delete