Thursday, September 26, 2024

නොස්ටල්ජික් කතා 6 - ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම

 නොස්ටල්ජික් කතා 6

ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම






ත්තටම අපි පොඩි කාලේ හොල්මන් කතා, භූත කතා අහන්න හරිම ආසයි. හොල්මන් හරි භූතයො හරි කොහේ හරි ඇති කියලා නේ අපි හිතුවේ. මොකද ඒවා කියන අය ඇත්තටම දැක්ක වගේ අතේ පැළවෙන බොරු දෙසාබානවා නේ. ජන කතාවලත් බණ කතා වලත් ප්‍රේතයෝ, භූතයෝ, යක්ෂයෝ, පිසාචයෝ ඉන්නවනේ.

ඔහොම ඉන්න අතරේ අපේ ලොකු මුත්තණ්ඩි මැරුණා. උන්දලාගෙ ගේ තිබුණෙ අපේ වත්තට අල්ලපු වත්තක. නිතරම අපේ ගෙදර එනවා ඒ දවස් වල. ඇවිත් බුලත් විට එහෙම කකා අපේ මුත්තණ්ඩි එක්ක කතාව දාගෙන ඉන්නවා. ඒ දෙන්නා එක කුස උපන් අයියා මලෝ නේ.

මේ සිද්ධිය වෙද්දී උන්දෑ මැරිලා මාස ගණනක් ගිහින් වගේ තමයි මතක.

එක දවසක් හැන්දෑවේ අපි කට්ටිය ඒ කියන්නේ නංගිලා මල්ලිලා ඇරුණම පැට්ටා කියලා අපි හඳුන්වපු අල්ලපු ගෙදර අයියා කෙනෙකුත් හිටියා. එයාගේ හරි නම නීල්. ගෙදරට පැටි මහත්තයා. අපට පැට්ටා.

මට මතක විදියට අවුරුදු දවස් වගේ. ආත්තම්මා තෙල් ලිප තියලා කැවුම් කොකිස් එහෙමත් හදනව නේ. මේ තෙල් කෑම අපි කෑවොත් වතුර නොබී එළියට යන්න තහනම්. මොකද පෙරේතයෝ බැල්ම හෙලනවා. අපේ පහේ පොතේ ඔහොම කතාවක් තිබුණා. කතාවේ නම රොමාගේ වාසනාව. රොටියක් කකා රොමා සොහොනට ගිහින් ඉන්නකොට රොමාගෙ රොටිය සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටි යකෙක් උදුරා ගන්නවා. අන්තිමට යකා හිරෙන් පැනපු හිර කාරයෙක්.

ඉතින් අපේ ගෙදර හදන අර කැවිලි එළියට ගෙනියනවා නම් ආත්තම්මා ඒවා සමග යකඩ ඇණයක් තියලා තමයි අහුරන්නේ. යකඩ ඇණේට යක්කු බයයිලු.

මට වැල්වටාරම් නැතුව කතාව කියන්න බෑ වගේ නේද? ඔන්න අපි එදා ඉස්තෝප්පුවේ ඉඳගෙන තමයි සෙල්ලම් කළේ. එතන මිටි තාප්පයයෙන් ඔබ්බේ ගෙදරට එන පාර හොඳට පේනවා. ඒ වෙලාවේ හොඳටම කළුවර වැටිලා. සාලයේ පෙට්රොමැක්ස් ලාම්පුව පත්තු වුණාට පාරට එළිය එන්නේ නෑ නේ. ඉස්තෝප්පුවේ ටී පෝව උඩ තිබුණේ ග්ලෝබ් චිමිනිය දාපු ලාම්පුව විතරයි. ඒකේ එළිය එච්චර ප්‍රභල නෑ.

ඔන්න පැට්ටා එක පාරට පාර දිහා විමසුම් බැල්මක් හෙලනවා. එයාගේ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වගේ එළියට නෙරලා.  මූණත් සුදුමැලි වෙලා.  ඒත් එක්කම මහා භයානක හඬකින් කියනවා,

"අර අර සුදු නෝනා, හිච්චි නෝනා අර බලන්න. රාළහාමි නේද එන්නේ?"

රාළහාමි කියන්නේ අපේ අර මැරුණු ලොකු මුත්තණ්ඩි.

මාත් එතන හිටි අනික් අයත් බය බිරාන්ත වෙලා ඒ පැත්ත බැලුවා.

අම්මෝ! ඇත්ත නේන්නම් ලොකු මුත්තණ්ඩි හොඳට ට්වීඩ් රෙද්ද ඇඳලා කෝට් එක උඩින් දාලා බස්තමත් අතේ අරන් අපේ ගෙදර පැත්තට එනවා. ඇත්තටම ලොකු මුත්තණ්ඩිම තමයි. කිසිම වෙනසක් නෑ. පිටි පස්සට කොණ්ඩේ පීරලා ඒ විදියමයි. පස්සට බැඳපු කොණ්ඩ පුරුච්චිය පෙනුණේ නෑ. උන්දෑ අපේ දිහාවටනේ ආවේ.

හැබැයි පොඩි වෙලාවයි එහෙම පෙනුණේ. එක පාරට උන්දෑ නැතුව ගියා.

අපි බයවෙච්ච පාර කට්ටියම එකට බදාගෙන ගේ ඇතුළේ තමයි නැවතුණේ. හැබැයි ඒ වෙලාවේ ලොකු අයට මේ කතාව කිව්වේ නෑ. පස්සේ අම්මාට මේ කතාව කිව්වම අම්මා කිව්වේ ලොකු  මේ ඉඩකඩම් වලට ආසාව හින්දා පෙරේතයෙක් වෙලා ඇවිත් වෙන්න ඇති කියලයි. ඊට පස්සේ වුණත් ආයේ කළුවරේ සෙල්ලම් කරන එක නැවතුනෙත් නෑ. අපට හොල්මනක් තියා මොකා ආවත් ගාණක් නෑ වගේ. පෙරේතයෝ භූතයෝ කොහෙද අපිත් එක්ක එයාලගේ සෙල්ලම් දාන්නේ? ඒක පුදුම ළමා කාලයක් කියන්නේ ඒ නිසා.

ඇත්තටම හොල්මන් ගැන මගේ මුල්ම අත්දැකීම නම් ඒක. හුඟක් වෙලාවට ඒක පැට්ටා එහෙම දැකලා හෝ නැතුව හෝ අපේ මනස ඒ විදියට හැඩ ගැහුව නිසා අපටත් එහෙම පෙනුණා වෙන්න ඇති කියලයි අද මට හිතෙන්නේ. මොකද අඳුරේ වැනෙන කෙසෙල් කොළයක් වුණත් මිනිහෙක් වගේ හිතට පේනවා නේ. හොල් + මන = හෙලවෙන මනස.

 

Friday, September 6, 2024

නොස්ටැල්ජික් කතා 5 මුත්තණ්ඩි ගේ පූසන් වළදැමීම

 නොස්ටැල්ජික් කතා 5

 මුත්තණ්ඩි ගේ  පූසන් වළදැමීම

 


හ පූසී අපේ ගෙදරට ආවේ කොහේ ඉඳලා ද කියලවත්   කවදාද  කියලවත් අපට නම් මතකයක් නැහැ. හැබැයි මතක ගොඩක් අපට දීලා අනේක දුක් මෙන්ම සැප විඳලා අවුරුදු 15ක් අවසානයේ ඈ අපේ ඉස්සරහම අවසන් හුස්ම පොද වාතයට එකතු කළේ ටිකක් කල් ලෙඩ වෙලා ඉඳීමෙන් පස්සෙයි. අත්තම්මා කෑම බිමෙන් නම් සතුන්ට කිසි අඩුවක් කරන්නේ නෑ. ඒක ඇගේ කරුණාව වගේම අභිමානයේත් එකතුවෙන් වුණු දෙයක්.

"බල්ලගේ ඉරනම් කටු පේනවා. මිනිස්සු හිතයි අපි කන්න දෙන්නේ නෑ කියලා" ගෙදර බල්ලා පොඩ්ඩක් කෙට්ටු වුණහම ඈ කිව්වා.

කොහොම කන්න දුන්නත් පූසෝ ගෙදරම ඉන්නේ නැහැනේ. ඉතින් මහපුසී අහලපහල ගෙවල්වල සංචාරේ ගියා. අන්න එහෙම ගිය වෙලාවල්වල සමහර නපුරු මිනිස්සු ගල් වලින් ගහලා ද දන්නේ නැහැ ඇගේ එක ඇහැක් රතුවෙලා ඉදිමිලා එළියට පැනලා වගේ වුණා. අත්තම්මා ඇස් වෙදහාමිනේ නොවැ. අර බුද්ධදාස  රජ්ජුරුවෝ නයාටත් බෙහෙත් කළා වගේ ආත්තම්මා පුසගේ ඇහැටත් බෙහෙත් කරලා හොඳ කළා.

මහ පූසීට තිබුණේ  පොල් සම්බල් පාට, කළු පාට හා සුදු පාට කියන පාට තුනේ ලෝම ගොඩක්. එහෙම පාට තුන තියෙන හැම පුසන්ම ගැහැනු සතුන් නිසා ඈත් ගැහැනු සතෙක් වුණා. ඒ කාලේ පූසන් වන්ද්‍යාකරණය කියලා දෙයක් තිබුණේ නැහැනේ. ඉතින් මහ පුසිගේ බඩ වරින් වර ලොකු වුණා . ටික දවසකින් මඩුවේ හරි, ගෙයි කුස්සි කොටසේ  ගබඩා කාමරයේ හරි, ආත්තම්මාගේ කාමරයේ හරි ඒ බඩ නිදහස් කරලා පුළුන් බෝල ටිකක් අපට දකින්න සැලැස්සුවා. එයාලා ඇස් අරිනකම් වගේම ඇස් ඇරියට පස්සෙත් මහ පුසීගේ වැඩේ පුළුන් බෝල කටින් ඩැහැගෙන රට වටේ ඇවිදිනවා. ඒක පූස් අම්මලාගේ රාජකාරියක් නේ.

මේ මහ පුසිටයි පැටවුන්ටයි අපේ මුත්තණ්ඩි  නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ . අපි පූසෝ අතපත ගානවට වඩා ගන්නවට ආස වුණේ නැහැ. මේකට හේතුව හැටියට මුත්තණ්ඩි කියන්නේ

දරුවෝ බල්ලලු අල්ලන්න එපා. ඔය මවිල් පපුවට යනවා.

මේක හැර උන්දැ අකමැතිම තව එකක් තිබුණා . ඒ අපේ බුලත් කෑම. උන්දැ නම් බුලත්,පුවක්, හුණු, දුම්කොළ පදමට දාලා බුලත් විට කෑවා. හැබැයි ගෙදර බුලත් වැලෙන් හරි  කොළයක් හරි අපි කනවා දැක්කොත් දෝස්මුරේ දැම්මා.

ළමයිනේ බුලත් කෑවහම ඉංගිරිසි කතා කරන්න බැරි වෙනවා.

මාමලා එහෙම හොඳට ඉංග්‍රීසි කතා කළේ බුලත් නොකාපු නිසා වෙන්න ඇති. හැබැයි අපි නම් ඉතින් හොරෙන් හරි බුලත් නම් කෑවා. බුලත් විතරක් නෙමේ ගස්වල කඳන් දිගේ උඩට බඩ ගාන වැම්මල් කියන බුලත් වර්ගයේ කොළත් කෑවා. ඇත්තටම ඒවා කෑවහම කම්මුල් ඇතුළු පැත්ත තාවකාලිකව ගොරෝසු වුණා. ඉංගිරිසිත් යන්තම් කතා කර ගත්තා කියමුකෝ.

ඔන්න ඉතින් අපේ මහ පුසී සැරයක් පැටවූ තුන් දෙනෙක් දැම්මා. සුදු පාට දෙන්නයි, පොල් සම්බෝලයයි. සුදු පාට දෙන්නා කවුරු නමුත් අරන් ගියා. පොල් සම්බලයා ඉතුරු වුණා. අපි එයාට හරිම ආදරය වුණා. ඉමබා ,වඩා ගත්තා , ඇඳන්වල නිදි කෙරුවා.    මුත්තණ්ඩිට තරහ යන හැම දේම කළා.

එක දවසක් පොල් සම්බලයා නැති වුණා. ගෙදර වගේම වත්ත පුරායි, පාරවල් වලයි බැලුවා. පොල් සම්බලයා නෑ. අපිට හරිම දුකයි. ආත්තම්මාත් දුක් වුණා. හැන්දෑවේ හයට විතර අපි වත්ත පහළට ගියා තව ටිකක් බලන්න. පොල් ගහක් යටින් පුස් පැටියෙක් අඬනවා ඇහුණා. පොල් ගහ යට තිබුණු රොඩු බොඩු අහක් කරලා පොඩ්ඩක් හාරලා බැලින් නම් අනේ මැටි මුට්ටියක් ඇතුළේ පොල් සම්බලයා ගුලි වෙලා හිටියා. ඌට උණ ගැනිලා ඇඟ වගේ රත්වෙලා තිබුණා. අපි මුට්ටියත් එක්කම ඌව අරගෙන ගෙදර ගිහින් ආත්තම්මාට කිව්වා.

මෙහෙමත් මනුස්සයෙක් ! පණ පිටින් සත්තු වළලනව ද?  කරපු පව් මදිද? "ආත්තම්මා පරල වුණා. සාමාන්‍යයෙන් ආත්තම්මා ඔය වගේ දේවල් වලදී එහෙම තමයි. මුත්තණ්ඩි  ම්හු නැහැ. උන්දැ තමයි එකත් එකටම වැඩේ කරලා තිබුණේ. හැබැයි බාගෙට වළ දැම්මේ මැරෙන්නේ නැතිවෙන්න වෙන්න ඕන. රෑ වෙද්දී කාට හරි ගිහින් දෙන්න හිතුවා වෙන්නත් පුළුවන්. මොකද ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වෙච්චි, ඒ වගේම් ආත්තම්මා එක්ක ඉඳහිට සිල් සමාදන් වෙන්නත් ගිය සැදැහැති උපාසක මහත්තයෙකුත් නොවැ.

පොල් සම්බලයා අපි එක්ක ඉඳලා පස්සේ කවුරුහරි අරන් ගියා මගේ මතකේ හැටියට.