Friday, May 30, 2025

දවල් හීන

 

දවල් හීන



හිටපු ගමන් දකිමි

පොඩි දරුවෙක්

තුරුළු කරගෙන
කිරි පොවන
දවල් හීනය
පස්සෙන් දුව දුව
වැටි වැටී නැගිටින
පොඩි දැරියකට
කෑම කවන
දවල් හීනය
හදිසියේ පොඩි එකෙක්
ඔක්කේ ගහන්
බස් එකකට නැග
දොස්තර ගෙදර දුවන
දවල් හීනය


පුංචි නිල ඇඳුමක්
අන්දවා ගෙන
සුළැගිල්ල අල්ලාගෙන
පොඩි එකෙක් පාසල්
එක්ක යන
දවල් හීනය
ඇහැරිලා
නිදිගැට කඩා
වටපිට බලන විට
ඉවර වෙලා ඒ
දවල් හීනය

Sunday, May 18, 2025

කෝපි මල් හිනා

කෝපි මල් හිනා













මල්ලී කිව්වා ඔබ මට

නංගී කිව්වා මා ඔබට

ඉතින් ඇවැස්ස නෑ කමට
ඒත් දවස් දෙකනේ
අප අතර වූ වෙනස
කෝපි මල් හිනා විසිරවූ
අල්ලපු ගෙදර වැට
පාළුවට ගිහින් ඊයේ සිට
තොරණෙ රැඳි මල්
වැටෙනවා එකින් එක බිමට!

Wednesday, May 14, 2025

යහළු යෙහෙළියන්

 යහළු යෙහෙළියන්


ද Sumedha Nawarathne ලියපු පෝස්ට් එකකට අනුව මේ අදහස ලියන්නේ.
ඈ මෙහෙම කියනවා
"නිකම් ඉන්න දරුවො සමලිංගිකත්වයට පත් කරන ගුරුවරුන්, ගුරුවරියන් හා විදුහල්පතිනියන් පිළිබඳ උපදේශන සැසිවලදී හෙලි වීම ඉතාමත් ශෝචනීය තත්ත්වයක්.
ගැහැනු දරුවො දෙන්නෙක් හොඳම යාළුවො විදියට ඉන්න පුළුවන්. කිසිම ලිංගික නැමියාවක් ඔවුන් අතර නැතුව.
බාලිකා පාසල්වල ගුරුවරියන් හා පරිපාලනය මේ තත්ත්වයන් පිළිබඳ ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කරන්න අවශ්ය වෙනවා."
ඔව් මේක ඇත්ත. මට මගේ පරණ පාසල් මතකයෙන් කරුණු කියන්න පුළුවන්. මං පාසල් ගිය කාලෙත් මං ඔයාට after කියන යාළුවෝ මට හිටියා. ඒ සම්බන්ධතා කියන්නේ පන්තියේ එක ළඟ ඉඳගෙන ඉන්න එක. කැන්ටිමට යනකොට එකට යන එක වගේ හරිම සුළු කාරණා. ඒ සම්බන්ධතාවල කිසිම ලිංගික නැමියාවක් නෑ. එහෙම ලිංගික සබඳතා තියෙනවා කියලා අපි දන්නෙත් නෑ. ඉතින් මේ after ලා තරහ වෙනවා මං වෙන යාළුවෙක් එක්ක වැඩිය කිට්ටු වුණොත්. තරහ වෙලා කාලයක් කතා නොකර ඉන්නවා. ආයේ යාළුවෝම එකතු වෙලා තරහ අය යාළු කරවනවා. හරිම සුන්දර අත්දැකීම් ඒවා. අපේ ගුරුවරු මේවා දැක්කද මන්දා. දකින්න දෙයක් නැතුවත් ඇති. ඔවුන් අපේ සබඳතා වලට උදැල්ල දැම්මේ නෑ. මේ දේවල් සාමාන්ය පෙළ පන්ති දක්වා විතරයි.
උසස් පෙළට එද්දී අපි හුඟක් අයට පෙම්වතුන් හිටියා. ඒවා පාසලට අහු වුණොත් නම් හෙන කේස්. එහෙම වෙන්නේ ඉතින් අනුවණ කමෙන් තමයි. එවිට අපි ටිකක් විතර පරිණත වෙලානේ. ඉතින් සූක්ෂම විදියට ඒවා රහසිගතව තමයි පවත්වාගෙන ගියේ. ඇත්තටම ඒවත් ලියුම්, ලේන්සු හුවමාරුවකට වඩා දුරදිග ගිය ඒවා නෙවේ.
ඒත් අපි හොඳම යෙහෙළියෝ එකට එක කාමරයේ පාඩම් කරනවා. එක ඇඳේ නිදාගන්නවා. කිසිම ලිංගික නැමියාවක් නෑ. ඒ සොඳුරු මිතුදම් අදටත් සුරැකිව තියෙනවා.
සුමේධා කියන ආකාරයට අද පාසල් පරිපාලනය මේ විදියට ළමයි අපහසුතාවට පත් කරනවා නම් ඒ ගැන හරිම කණගාටුයි.