අපේ පාසල් කාලය
අපි ළදරු පාසල් ගියේ නෑ. හැබැයි කුමන හෝ විදියට ගෙදරදීම කියවීම ලිවීම පුළුවන් වුණා. කවුරු ඉගැන්වූවද කියා මතක නෑ. අම්මා, ආත්තම්මා හා මාමා වෙන්න ඇති. මං මුලින්ම ඇතුළත් වුණේ පහළ බාලංශයට. තාත්තා තමයි මං පාසලට ඇතුළත් කරන්න ගියේ.
මගේ මුල්ම ගුරුතුමිය සෙනෙවිරත්න මිය. බාලිකාවක් වුණත් අපේ පන්තියේ පිරිමි ළමයි දෙන්නෙක් හිටියා. ඒ විදුහල්පතිනිය කාරියවසම් මැතිණියගේ පුතා හා සෙනෙවිරත්න මියගේ පුතා. ඉහළ බාලාංශයේ දීත් එයාලා හිටියා. පස්සේ එයාලා මහින්දයට ගියා. ඒ දවස් වල අපේ පන්ති තිබුණේ වක්වැල්ල පාරේ ගල්කැටිය වලව්වේ. ඇතුළුවන ගේට්ටුව දෙපස කණුවල සිංහ රූප අඹා තිබූ බව මතකයි.
ඉහළ බාලංශයෙන් පසු දෙක ශ්රේණිය. ඒ පන්ති ප්රධාන පාසලේ තිබුණේ. ඉන් පසු පහ ශ්රේණිය දක්වා ඉගෙන ගත්තා. 4හා 5පන්ති පැවැත්වුණේ සවස් වරුවේ. අපි උදේ දහයට විතර ඇවිත් පන්ති පටන්ගන්නකම් ඇතිවෙන්න සෙල්ලම් කරනවා.
හයේ සිට විෂයය මහ ගොඩක් තිබුණා. විවිධ ප්රදේශවලින් පහේ ශිෂ්යත්වය සමත් වී ළමයි ආ නිසා සමාන්තර පන්ති ගණනක් තිබුණා. මං හිටියේ ලකුණු වැඩිම ළමයි ඉන්න පන්තියේ. ඉන්පසු අපට පළවැනියා වෙන්න අමාරු වුණා. මොකද දක්ෂ ළමයි ගොඩයි. අනික එක දෙක තෝරන්නේ සියළුම සමාන්තර පන්ති එකට අරගෙන. අපට තිබූ විෂයයන් සිංහල, ඉංග්රීසි, ආගම, ඉතිහාසය, භුගෝලය, චිත්ර, මැටි වැඩ, රෙදි විවීම, ගෘහ විද්යාව, සෞඛ්යය හා ශාරීරික අධ්යාපනය, ප්රජාචාරය, මැහුම්, සාමාන්ය විද්යාව, ගණිතය, කෘෂිකර්මය වගේ ඒවා . මෙයින් ලිඛ්තව විභාග තිබුණේ සිංහල, ඉංග්රීසි, සාමාන්ය විද්යාව, ආගම, ඉතිහාසය, භූගෝලය වගේ ඒවට විතරයි. කෘෂිකර්මය වගේ ඒවට වතු වැවීම විතරයි. ලකුණු දීමක් නෑ. අනික් සමහර ඒවට ප්රායෝගික ලකුණු විතරයි. ළමයි අතර සහයෝගය හොඳින් තිබුණා. දක්ෂයාට අපි ආදරය කළා. ඊර්ෂ්යා කළේ නෑ. දුප්පත් පෝසත් භේදය නම් තිබුණා. පෝසත් අයට යාන වාහන තීබුණා. උසස් රැකියා කරන දෙමව්පියන් හිටියා. නමුත් කවුරුවත් බුලි කළේ නෑ. ගෙවල්වල දේවල් හාරා ඇවිස්සුවේ නෑ. සහෝදරත්වය තිබුණා.
පාසලෙන්ම පවත්වන අටේ අවසාන වාර විභාගය තීරණාත්මක එකක්. ඒකේ ලකුණු අනුව නවවන ශ්රේණියේ දී විද්යාව හා ගණිතය ලකුණු අනුව විද්යා කලා වානිජ ධාරා වලට බෙදුවා. විෂෂයන් අටක් තිබුණා. ඒ විෂයයන් අට විද්යාව කළ මට ගණිතය, ජීව විද්යාව, භෞතික විද්යාව, රසායන විද්යාව, ඉංග්රීසි, සිංහල, බුද්ධාගම, හා චිත්ර වුණා. දහවන ශ්රේණිය අවසානයේ සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට වෙනවා.
උසස් පෙළ විද්යාව කරන්න නම් ගණිතය/ජීව විද්යාව /භෞතික විද්යාව /රසායන විද්යාව යන ඒවායින් දෙකකට සම්මාන සහිතව විභාගය සමත් වෙන්න ඕන. ගණිතය කරන්න නම් ගණිතය සමග තවත් විද්යා විෂයයට සම්මාන සහිතව සමත් වෙන්න ඕන.
ටියුෂන් කියන එක යන්තමින් මතුව ආවේ ඒ දවස්වල. සමහර සල්ලි තියෙන ළමයින්ගේ දෙමව්පියන් ගෙවල්වලට ගුරුවරු ගෙන්වා වැඩිපුර ඉගැන්වීම් කළා. ඒත් ඒවා රහසේ වගේ තමයි වුණේ. අපට ඒ අවස්ථා උදා වුණේ නෑ.