Sunday, December 14, 2025

ලේලී - 12


  ලේලී - 12














කාලයටත් හදිසියක් දැනිලා තිබුණා. දවසින් දවස ගෙවී ගියේ පුදුම වේගයෙන්. මගේ අනාගත මාලිගාවේ පෑන්ට්රිය අලුත් වැඩියා කරන්න අදහස් ඕන කියලා නැන්දම්මා ආරාධනා කළාට පස්සේ ඉතින් නොගිහිනුත් බෑනේ. මෙදාපාර මං තනියම ගියා මගේ කාරෙකේ. සෙනසුරාදා දවසක. මං එහේ ගිය හැම දවසකම මං දැක්කම සැමීගේ හිසේ මල් පිපුණත් අපට කියලා ඒ ගේ ඇතුළේ තාමත් වෙලාවක් නම් ලැබුණෙ නෑ. හාදුවක් ගන්න වුණත් එක්කෝ අපි එළියට යන්න ඕන නැත්නම් එයා අපේ ගෙදර එන්න ඕන.
එයාගේ මාලිගාවේ දී එයා බයෙන් නේ ඉන්නේ. අනික නැන්දම්මා හැමතැනම. කුස්සියට ගියාම එතන. සාලෙට ගියාම එතන. මේක නම් ඇණයක් වෙලා තිබුණේ. දිගටම මේ ඇණේ තියෙයිද කියන පැණය නිතරම හිතට ආවා. ඒව කොහෙද මේ සුරංගී එක්ක. බලය අතට එන්න එපායැ ක්රියාත්මක වෙන්න.
හැබැයි එදා පෑන්ට්රිය බලන්න ගිය වෙලේ නැන්දම්මා ඉස්කෝලේ රැස්වීමකට හදිසියේම ගිහිල්ලා තිබුණා. සාලේ කොටස අලුත්වැඩියා කරමින් තිබුණ නිසා ඉඳගන්න තැනක් තිබුණෙ නෑ. හැබැයි එදා වැඩ කරන අය ඇවිත් තිබුණෙ නැති එක නම් හොඳයි. සැමී මාව පිළිගෙන කෙලින්ම මාත් එක්ක උඩ තට්ටුවට ගියා. මට ඉඳගන්න කියලා කමිපියුටරේ පොඩි වැඩක් කර කර හිටියේ කියලා එයා එයාගේ කාමරයට ගියේ මං දිහා හොර අමුතු බැල්මක් දාගෙන. එයා ඒ හොරගල් අහුලන්නේ මොකටද කියලා මට අමුතුවෙන් කියන්න ඕන වුණේ නෑ. ඉතින් මාත් එයාගේ පස්සෙම ගියා. හැබැයි පොඩි වෙලාවයි ඒ මනමාලකමට ඉඩ ලැබුණේ.
"පොඩි නෝනා තේ ලෑස්තියි" කියලා ලූලා නැති වලේ කනයා පණ්ඩිත වෙලා සුමනා දොර ළඟට ඇවිත් ඇණේ ගැහුවා.
ඉතින් අපි දෙන්නා ඈත් වෙලා පෑන්ට්රියට ගියා. ඒක දැක්කම මට එලෝ මෙලෝ නැති වුණා. හැමතැනම බඩු. හිස් ටින් බෝතල් ගොඩ ගහලා. හිස් කාඩ්බෝඩ් පෙට්ටි තව පැත්තක කඳු ගහලා.
"මේ මොකද සුමනා?"
"මොනවද පොඩි නෝනා?"
"මේ හිස් බෝතල් පෙට්ටි"
" ඔය ලොකු නෝනගේ දේවල් නේ නෝනා"
"අයියෝ ඕන එකතු කරන්නේ මොකටද?"
"අම්මෝ මං මොනවා හරි විසි කළොත් එහෙම මගේ ඔළුව කනවා. ලොකු නෝනගේ වස්තුව."
හුඟක් ගෑනුන්ට තියෙන වැඩකට නැති බඩු එකතු කිරීමේ පිස්සුව නැන්දම්මාට වැළදී ඇති බව මට තේරුණා. අපේ අම්මටත් ඔය ලෙඩේ තිබුණා. මගේ ප්රභල ප්රතිකාරයකින් ඒක හොඳ වුණත් නැන්දම්මාට මට දැන්ම ඒ ප්රතිකාරය දෙන්න බෑ නේ. මං ලෙඩේ සුව කරන්න ගහන වෙන විදියේ ගැටයක් කල්පනා කළා. ඒ එක්කම නැන්දම්මා එනවා ඇහුණා.. දඩි බිඩි ගාලා හෑන්ඩ් බැග් එක පුටුවකට දාලා
" සොරි දුවේ මට හදිසියෙම යන්න වුණානේ.හුඟක් වෙලාද දුවේ ඇවිත්? " නැන්දම්මා මාව බදාගෙන උම්මා දීගෙන ගියා.
" ඒකට කමක් නෑ ආන්ටී... අපි මේ ඇවිත් තේ බිව්ව විතරයි" මං ඇහෙන් සැමීට ඉඟි කළා.
" ඔව් අම්මා මේ සුරා ආව විතරයි" සැමීත් මගේ දිහා නොබලම කිව්වා. මට හිනායන්න ආවත් ඒක තද කරගත්තා. හොඳ කීකරු පුතා. මෙච්චර වෙලා පුත්රයා කරපුවා මගේ මූණෙ නැතුව ඇති පේන්න.
" ඉතින් දුවේ... වැඩ ඉවර ටික ලස්සනයි නේද? "
" ඔව් ආන්ටී... හරිම ලස්සනයි. පිළිවෙලයි දැන්" මං බොරු කිව්වා. මොන කාමර බැලිල්ලක් ද? ඒ ටික වෙලාවේ තිබ්බ දාංගලේට පුතාගේ කාමරේවත් මට හරියට පෙනුනයැ.
සැමී යටිතොල හපනවා මට හොරැහින් පෙනුණා. හොඳ පුතා ඩිංග....
"කොහොමද දුවේ පෑන්ට්රිය හදා ගන්නේ?" නැන්දම්මා එදාට අදාළ මාතෘකාවට ආවා.
"ආන්ටී මං මේ සුමනා එක්කත් කතා කර කර හිටියේ මේ වැඩිපුර තියෙන දේවල් අස් කරලා ලස්සනට හදමු නේද කියලා . "
" මොනවද වැඩිපුර තියෙන්නේ දුවේ? " මං පොඩි කාලේ කියවපු කතාවක කූඹි ගුල භාර ලොකු කූඹිච්චි වගේ පුදුමයට පත් මූණක් හදාගෙන නැන්දම්මා ඇහුවා. ඇයි කූඹි ගුලේ ගොඩ ගහපු කිසි දෙයක් වැඩියි කියලා කූඹිච්චිට හිතෙන්නේ නෑ නේ.
" ඔය හිස් පෙට්ටි බෝතල් වගේ ඒවා වැඩක් නෑනේ ආන්ටී?"
"ම් ම්...." නැන්දම්මා කල්පනා කළා.
" ඒවා කවදාවත් අපි පාවිච්චි කරන්නෙත් නැති වෙයි නේ"
"මං ඒවා එළියේ උයන ගෙට ගන්නම්." ඒ ලෝබකම නම් මේ සම්මජාතියේ අයින් වෙන එකක් නෙවේ කියලා මට හිතුණා.
"මේ බලන්න ආන්ටි හොඳ ස්ටෑන්ඩර්ඩ් ගෙවල්වල පෑන්ට්රී තියෙන හැටි." තුරුම්පුවක් ගහන්න හිතලා මං අරගෙන ආපු ඉන්ටීරිය ඩිසයින් පොත් එයාට පෙන්නුවා
"අනේ හරිම ලස්සනයි නේ. අපේ ගෙවල් එහෙම නෑනේ. "
" දැන් රිපෙයාර් එකෙන් පස්සෙ එහෙම වෙයි. "
" ඔව් එහෙම ලස්සන විදියකට හදමු. "
නැන්දම්මා දැපනේ වැටුණා. අපි පොත් පෙරලලා ඉන්ටනෙට් එකෙනුත් බලලා බිත්තිවලට පාට තේරුවා. පැන්ට්රි කබඩ් තේක්ක ලීයෙන් අලුතෙන්ම හදන්නයි ස්ටෝව් අවන් සෙට් එක ෆෑන් එක වගේ ඕන කරන ඔක්කොම දේවලුයි ඕඩර් කළා. අන්තිමට නෑනත් වීඩියෝ කෝල් එකක සෙට් වෙලා උපදෙස් දෙන්න ආවා.
අපේ ගෙදර නම් මෙහෙමයි අරමයි කිව්වට නැන්දම්මාවත් ඒ කතා එච්චර ගණන් ගත්තේ නෑ. එයාට දැන් ලේලි දූ ලොකුවෙලා කියලා හිතනවා ඇති.
"දුවේ මිදුලත් ටිකක් පිළිවෙල කරගන්න ඕන" ඒ අස්සේ නැන්දම්මා තව අදහසක් දැම්මේ ලේලීගේ හැම අංශයෙන්ම තියෙන දක්ෂකම දැකලා වෙන්න ඕන.
"ඔව්... ලෑන්ඩ්ස්කේප් කර ගත්තොත් හොඳයි නේද ආන්ටී" අල්ලන්න ඕන හැම තිතම ගැන හොඳ සෝදිසියෙන් හිටපු මම එතනත් දෙවෙනි නොවී උත්තර දුන්නා.
ඊළඟට යෙදුණේ රත්තරන් බඩු ගන්න රාජා ජුවලර්ස් එකට ඕඩර් දෙන එක. මායි අම්මයි තාත්තයි එතනට යද්දී සැමී එයාගේ අම්මා එක්ක ඇවිත් තිබුණා. මාමණ්ඩියට වැඩලු. එයා ආවේ නෑ.
අපි මුදු දෙක ප්ලැටිනම් වලින් හදන්න මුලදිම තීරණය කළා. අම්මලා නැන්දම්මලාට නම් ඕන වුණේ රත්තරන් පොරවා ගන්න.
"එළියක් නෑ නේ දුවේ ඔය බඩු" නැන්දම්මා අප්රසාදය පළ කළා.
"මං මෙයාට ඕනවටත් වඩා රත්තරන් බඩු හැදුවා. කෝ එකක්වත් දානවයැ "අම්මාට තමන්ගේ දෝණියැන්දා ගේ වටිනාකම ගැන පම්පෝරි නොගහා ඉන්න බැරි වුණා.
" අපි සුදු මැණිකෙ ආස ඒවා අරන් දෙමු අම්මා "
සැමී මාත් එක්ක එක පැත්තක හිට ගැනීම මට හයියක් වුණා.
කර මාලය මගේ ගවුමට ගැළපෙන විදියට පොඩි දියමන්ති අල්ලලා ප්ලැටිලම් වලින් හදන්න තීරණය කළා. එකම එක වළල්ලකුත් හදන්න ඕඩර් දුන්නා. අම්මලාගේ මූණු මුලදී ළිපේ දාපු සුදූලූණු බික් වගේ ඇඹරිලා ගිහින් තිබුණා. හැබැයි ජුවෙල්රි පින්තූර බැලුවට පස්සේ මූණුවලින් ඒ කළු වලාකුල් ඈතට පා වෙලා ගියා. සම්ප්රදාය මොන තරම් හිර ගෙයක් ද? පරම්පරාවෙන් පරම්පරාවට ඒ හිරගේම විහින්ම ලැගලා දුක් විඳින මේ ගෑනු ගැන දුකකුත් නොහිතුණා නෙවේ.
මගේ අනාගත මාලිගාවේ ඉස්සරහ මිදුල වගේම පිටුපස කොටසත් ලෑන්ඩ්ස්කේප් කරවලා හදලා දෙන්න සැමීත් එක්ක කටුබැද්දේ එකට ඉගෙන ගත්ත ඒ අංශයෙන් කමිපැනියක් කරන කෙනෙක් ඉදිරිපත් වුණ නිසා මට ඒකට කරදර වෙන්න ඕන වුණේ නෑ. කොහොමත් මට ඩේටා ඇනලයිස් කරලා තීසීස් එක ලියන වැඩ ගොඩ වුණා. ඒවට සැමීත් මට උදවු වුණා. ඒ අස්සේ ඉස්කොලේ වැඩත් නිසා ඔළුව උඩ මහා බරක් තිබුණේ.
©මාලිනීගනේවත්ත

Sunday, December 7, 2025

ලේලි - 11

 ලේලි - 11














ගේ කාර් එක ලැබුණ සතුට තමයි ඒ සතියෙම තිබුණේ. අපේ අම්මටත් ඊට වඩා ලොකු දෙයක් නෑ වගේ එන එන කෙනාට කාර් එකේ විස්තර කියනවා මට ඇහුණා. සැමී එනකම් මං එයාටවත් කාරෙක අතට ලැබුණ බව කිව්වේ නෑ. හාබර් ග්රේ පාට බී BYD Atto 3 රාජයා ගරාජයේ වැඩ ඉඳුවලා සැමී ආවම හැංගිමුත්තමක් දැම්මා. එයා මාව සොයන්න ගරාජයට ගෙන්වා ගත්තා. මං කාරෙකේ ඉඳගෙන හැංගිලා හිටියා.
මිනිහගේ මූණ පුන් පෝදා හඳටත් වඩා පිරුණා. දෑවැද්ද ශතයක් වත් එපා කියපු රත්තරන් මිනිහනේ ඔය.
"සැමී මං රවුමක් අරන් යනවද?"
"ඇයි මැණිකේ ඩ්රයිව් කරන්න මතක නෑ ද?"
එයත් දැන් අම්මා වගේ ඉඳහිට මට මැණිකේ කියන්න පටන් අරන් තිබුණා. මං ඒකටත් ආස වුණා.
"මතකයි.. ඒත් ගොඩක් දවසකින් ඩ්රයිව් කළේ නෑ නේ. අනික මං ආසයි ඔයා එක්ක මුල් වටේ යන්න."
"වෙනදට තාත්තගේ කාර් එක ඩ්රයිව් කරනවනේ?"
"ඒක මේ ටිකේ මග හැරුණා. වැඩ වැඩී නේ.."
"ඔයාට ද?"
"තාත්තට වෙන වැඩ මට වෙන වැඩ හලෝ"
මං එයා ඇදලා අරන් රියැදුරු අසුනේ වඩා හිඳෙව්වා.
"ඒකනේ මං ඇහුවේ මැට්ටී" එයා මගේ නහය මිරිකුවා. මට හචිං පෙළක් ගියා. හොඳ වෙලාවට හෙම්බිරිස්සාව එහෙම තීබුණෙ නැත්තේ. සේරම හොටු බිංදු සැමීගේ මූණෙනෙ. එයාට ඒව ගානක් නෑ.
ඔන්න ඉතින් එදා සැමීත් එක්ක නුගේගොඩ පැත්තේ රවුමක් දාලා ආවා. එද්දී මං ඩ්රයිව් කළා.
පුදුම වදයක් නේ හයි ලෙවල් එකේ ඩ්රයිව් කරන එක. එහෙන් මෙහෙන් ත්රී වීල්, බයික් දාන එක... මිනිස්සු කඩදාසිය ලිපේ දාළා ඇවිත් ඒක පිච්චෙන්න කලින් ගෙදර යන්න වගේ කඩි මුඩියේ හැම තැනින්ම පාරවල් පනින එක..... වෑන් එකේම ඉස්කෝලෙ යන එක දාහෙන් සම්පතයි කියලා මට හිතුණා.
" තාත්තිල ඔයාල හැමදාම කොහොම මේ පාරවල්වල යනවද මං දන්නේ නෑ සැමී" මං දාහට අරන් සීයට වික්ක හඬකින් කියනකොට
"ඇයි සුරා එක දවසින්ම ඔයාට ඇති වුණාද?" සැමී ඇහුවා.
"හෙට මේකෙන් ඉස්කෝලේ යනවද නැද්ද කියලා මං මේ හිතන්නේ."
"ඩූ ඈස් යූ විෂ්" කියලා එයා කිව්වා. මං සැමීගේ ආස කරන එක දෙයක් තමයි ඒක. කිසි දේක බල කිරීමක් නෑ. දිගටම මෙහෙම වුණොත් ඉතින් හොඳයි.
ඊළඟ සති දෙක වැඩ කටයුතු ගොඩකට මං යට වුණා. මාස්ටර් එකේ රිසර්ච් එකේ වැඩට ෆීල්ඩ් එකේ හුඟක් වෙලා ගත කරන්න වුණා. ඒත් ඒක හොඳට කෙරුණු නිසා හිතට සතුටුයි. කාර් එක ලැබුණෙත් වෙලාවට.
"ඔයා ඔය වැඩවලට ඌබර් වල නොයා කාර් එකේ යන එක මගේ හිතට සහනයක් සුදු මැණිකේ" අම්මා එයාගේ හිතේ තිබූණා ලොකු බරක් බිම තිබ්බා වගේ කියපු වෙලාවේ ඇත්තටම මට දුක හිතුණා. සාමාන්ය සෙකන්ඩ් හෑන්ඩ් කාරෙකක් ගන්න පුළුවන් කම කලින්ම තිබුණත් තාත්තට ඕන වුණේ එකම දෝණියැන්දට බ්රෑන්ඩ් නිව් එකක් අරන් දෙන්න. ඒත් රටේ අර්බුද එක්ක ඒ හීනෙ එළිවෙන්න කල් ගියානේ
තාත්තටත් දැන් ඉතින් ලොකු සහනයක් ඇති. මං කියන කියන තැන්වලට පුළු පුළුවන් වෙලාවට ඇද ඇවිදලාම ඇතිවෙලා ඇතිනේ. ටියුෂන් පන්තිවල ගිහින් ඒ දවස් වල මං එනකම්ම කාර් එකට වෙලා තාත්තා හිටපු හැටි මතක් වෙද්දී දුක හිතුණා. මොකද මං පන්ති කියලා ලොකු ලොකු ඒවට ගිහින්ම නෑනේ. දන්නා අඳුණන ගුරුවරු ගාවට විතරනේ ගියේ.
"ඔහොම ඉන්න මං ළඟදිම ඔයාලගේ බරින් සම්පූර්ණයෙන්ම ඔයාලා නිදහස් කරනවා." මං මටම කියා ගත්තා. ඇත්තටම මට ස්වාධීනව මගේ වැඩ කරගන්න පුළුවන් නේ. කවුරුවත් මොනවටද?
ඇත්තටම මට කසාදයක් ඕනමද? ඒක මට හිතන්න තිබුණේ මඟුල් ලෑස්ති වෙන්න කලින්. ඒ දවස් වල සංඛ අරකි එක්ක යාළු වුණහම මං හිතුවේ ඔය කසාදය කියන කූඩාරමට මං කවදාවත් රිංගන්න යන්නේ නෑ කියලා.
ඒත් දැන් ඉතින් සැමීත් ජීවිතේ කොටසක් වුණානේ.
මේ මිනිහා ආත්ම ගණනේ මං පස්සේ ඇවිත් ද මන්දා. දැක්ක පළවෙනි දවසෙම හිත බැඳුණා කිව්වේ. මටත් දැන් එයා නැතුව බෑ. අනේ මන්දා මේ බැඳීම් කියන ඒවා වෙලාවකට හරිම බරයි. බැඳීම් වැඩිවෙනවා නේ ඉස්සරහට. ඒත් දරු මල්ලෝ හැදීමක් නම් දැන්ම බෑ කියලා මං සැමීට කියලා තිබුණා.
ඊළඟ සතිය ගත වුණේ සඳාගේ මඟුලේ වැඩට. මට පුළුවන් විදියට කාරෙකෙන් එයාට ඕන කරන වැඩ ටික කරලා දුන්නේ හිතේ සතුටින්.
මඟුල් දා කෙල්ල ලස්සනට හිටියා. මට මතක් වුණේ හිම කුමාරී. සඳා කොහොමත් හැඩ එකී. සෙනග පනහකට වඩා එකතු වුණෙත් නැති හොඳටම සිම්පල් මඟුලක් ඒක. හැබැයි ඕන කරන හැමදේම ඇතුළත් වෙලා තිබුණා
"ඊ ළඟ රජ මඟුල වෙනකම් තමයි අපි මේ බලා ඉන්නේ" සඳායි ඒකිගේ මිනිහයි මට විහිළු කළා.
මෙන්න දවසක් නැන්දම්මා මගේ ෆෝන් තිරයේ මතු වුණා එක පාරට.
"දුවේ ගෙදර වැඩ ටික නම් කෙරීගෙන යනවා. අක්කත් ඇවිත් කාමර ලස්සනයි කියලා කිව්වා. පෑන්ට්රි එකටත් මට ඔයාගේ අදහස් ටිකක් ඕන
නැන්දම්මා මගේ සූත්තරේට අහුවෙලා වගේ. දැන් හැම එකම මගෙන් අහනවා. හොඳයි හොඳයි ඔහොම යමු නැන්දම්මා.
මේ දවස් වල අපේ ස්ටාෆ් එකෙත් හැමෝගෙම හද බැඳි මාතෘකාව මගේ නැන්දම්මා.
"උඹේ ගැටේට නැන්දම්මා අහු වුණාද නැත්නම් නැන්දම්මා ගෑනු ගැටයක් ගහමින් ඉන්නවද කියලා මං මේ හිතුවේ" ශාලිකා අපේ කෙමිස්ට්රි ටීචත් මේ සැරේ නැන්දම්මා අලුත්ම එපිසෝඩ් එකට අදහස් දැම්මා.
"කියන්නත් බෑ" මීසිස් ගුණවර්ධන උපේක්ෂාවෙන් කිව්වේ "එහෙම වුණොත් අලුත් ජෝඩුවට වෙනම තැනක එපාර්ට්මන්ට් එකක වගේ ඉන්න පුළුවන් නේ? " කියන ටිකත් එක්ක.
" Surangi is not an easy girl; she would take on the problem regardless of whether it's good or bad."
අපේ සිංහල වචනයක්වත් කතා නොකරන ඉංග්රීසි ගුරුවරී සේරා ටිකක් හිතලා මතලා බර කරලා කිව්වේ මං ගැන පොසිටිව් අදහසක්. ඒ අදහසට මං කැමතී.
කෝල් එකේ හිටපු නැන්දම්මාට උත්තර දෙන්නත් පමා වුණා ඉස්කෝලෙ විනෝද සමය මතක් වෙලා.
" හරි ආන්ටී මං ටිකක් බලලා සැමී අතේ විස්තර එවන්නම් "
"පුළුවන් වෙලාවක ඇවිත් කරලා තියෙන ටික බලන්න. දවස් යනවා දැනෙන්නේ නෑ. නැකැත් ගේන එකත් ළං වෙනවා නේද? "
මේ අංගනාවට මඟුල ඇර වෙන දෙයක් නෑ මේ දවස් වල. ඒත් මටත් සැමීටත් නහයටත් උඩින් වැඩ. හොඳ වෙලාවට සංජය ඉවෙන්ට් එක භාරගත් නිසා අම්මලට නැන්දම්මලට මිසක් මඟුල් ගාය අපි දෙන්නට නම් තිබුණේ නෑ.
නුවර අමායා හිල්ස් වැඩේ හරි බව තාත්තා කිව්වා. දවස් ගතවෙන වේගය වැඩි වෙමින් තිබුණා. සැමී යි මායිත් රෝන්දේ යන එකත් ටිකක් වැඩි වුණා. හැබැයි ලිමිට් තියාගෙන තමයි මං හැමදේම කළේ. එයත් මගේ කැමැත්ත අනුව වැඩ කිරීම මට එයා ගැන පැහැදීම වැඩි කළා.
ගෑනු ළමයෙකුගෙ චරිතය වැදගත් කියන එක අම්මා පොඩි කාලේ ඉඳන් කියලා දුන්නලු. එයා එයාගේ අක්කටත් හුඟක් ආදරේ බව පෙනුණා. අක්කා මඟුල ගැන උපදෙස් දෙන එකත් ටිකක් වැඩි වුණා. මට ඔය උපදෙස් දෙන උන්දැලා වැඩිය අල්ලන්නේ නෑ. අම්මයි මායි අතර අතෝරක් නැති වලිත් ඕකට නේ. හැම එකටම අරහෙම කරන්න මෙහෙම කරන්න. අරයා මෙහෙමයි. මෙයා මෙහෙමයි. මට මොකටද ඒ වෙන අයගේ ඒවා. මං වන් ඇන්ඩ් ඔන්ලී සුරංගී රණසිංහ මිසක්. ළඟදී සුරංගී සපරමාදු වෙයි ඉතින්!