ලේලී - 12
කාලයටත් හදිසියක් දැනිලා තිබුණා. දවසින් දවස ගෙවී ගියේ පුදුම වේගයෙන්. මගේ අනාගත මාලිගාවේ පෑන්ට්රිය අලුත් වැඩියා කරන්න අදහස් ඕන කියලා නැන්දම්මා ආරාධනා කළාට පස්සේ ඉතින් නොගිහිනුත් බෑනේ. මෙදාපාර මං තනියම ගියා මගේ කාරෙකේ. සෙනසුරාදා දවසක. මං එහේ ගිය හැම දවසකම මං දැක්කම සැමීගේ හිසේ මල් පිපුණත් අපට කියලා ඒ ගේ ඇතුළේ තාමත් වෙලාවක් නම් ලැබුණෙ නෑ. හාදුවක් ගන්න වුණත් එක්කෝ අපි එළියට යන්න ඕන නැත්නම් එයා අපේ ගෙදර එන්න ඕන.
එයාගේ මාලිගාවේ දී එයා බයෙන් නේ ඉන්නේ. අනික නැන්දම්මා හැමතැනම. කුස්සියට ගියාම එතන. සාලෙට ගියාම එතන. මේක නම් ඇණයක් වෙලා තිබුණේ. දිගටම මේ ඇණේ තියෙයිද කියන පැණය නිතරම හිතට ආවා. ඒව කොහෙද මේ සුරංගී එක්ක. බලය අතට එන්න එපායැ ක්රියාත්මක වෙන්න.
හැබැයි එදා පෑන්ට්රිය බලන්න ගිය වෙලේ නැන්දම්මා ඉස්කෝලේ රැස්වීමකට හදිසියේම ගිහිල්ලා තිබුණා. සාලේ කොටස අලුත්වැඩියා කරමින් තිබුණ නිසා ඉඳගන්න තැනක් තිබුණෙ නෑ. හැබැයි එදා වැඩ කරන අය ඇවිත් තිබුණෙ නැති එක නම් හොඳයි. සැමී මාව පිළිගෙන කෙලින්ම මාත් එක්ක උඩ තට්ටුවට ගියා. මට ඉඳගන්න කියලා කමිපියුටරේ පොඩි වැඩක් කර කර හිටියේ කියලා එයා එයාගේ කාමරයට ගියේ මං දිහා හොර අමුතු බැල්මක් දාගෙන. එයා ඒ හොරගල් අහුලන්නේ මොකටද කියලා මට අමුතුවෙන් කියන්න ඕන වුණේ නෑ. ඉතින් මාත් එයාගේ පස්සෙම ගියා. හැබැයි පොඩි වෙලාවයි ඒ මනමාලකමට ඉඩ ලැබුණේ.
"පොඩි නෝනා තේ ලෑස්තියි" කියලා ලූලා නැති වලේ කනයා පණ්ඩිත වෙලා සුමනා දොර ළඟට ඇවිත් ඇණේ ගැහුවා.
ඉතින් අපි දෙන්නා ඈත් වෙලා පෑන්ට්රියට ගියා. ඒක දැක්කම මට එලෝ මෙලෝ නැති වුණා. හැමතැනම බඩු. හිස් ටින් බෝතල් ගොඩ ගහලා. හිස් කාඩ්බෝඩ් පෙට්ටි තව පැත්තක කඳු ගහලා.
"මේ මොකද සුමනා?"
"මොනවද පොඩි නෝනා?"
"මේ හිස් බෝතල් පෙට්ටි"
" ඔය ලොකු නෝනගේ දේවල් නේ නෝනා"
"අයියෝ ඕන එකතු කරන්නේ මොකටද?"
"අම්මෝ මං මොනවා හරි විසි කළොත් එහෙම මගේ ඔළුව කනවා. ලොකු නෝනගේ වස්තුව."
හුඟක් ගෑනුන්ට තියෙන වැඩකට නැති බඩු එකතු කිරීමේ පිස්සුව නැන්දම්මාට වැළදී ඇති බව මට තේරුණා. අපේ අම්මටත් ඔය ලෙඩේ තිබුණා. මගේ ප්රභල ප්රතිකාරයකින් ඒක හොඳ වුණත් නැන්දම්මාට මට දැන්ම ඒ ප්රතිකාරය දෙන්න බෑ නේ. මං ලෙඩේ සුව කරන්න ගහන වෙන විදියේ ගැටයක් කල්පනා කළා. ඒ එක්කම නැන්දම්මා එනවා ඇහුණා.. දඩි බිඩි ගාලා හෑන්ඩ් බැග් එක පුටුවකට දාලා
" සොරි දුවේ මට හදිසියෙම යන්න වුණානේ.හුඟක් වෙලාද දුවේ ඇවිත්? " නැන්දම්මා මාව බදාගෙන උම්මා දීගෙන ගියා.
" ඒකට කමක් නෑ ආන්ටී... අපි මේ ඇවිත් තේ බිව්ව විතරයි" මං ඇහෙන් සැමීට ඉඟි කළා.
" ඔව් අම්මා මේ සුරා ආව විතරයි" සැමීත් මගේ දිහා නොබලම කිව්වා. මට හිනායන්න ආවත් ඒක තද කරගත්තා. හොඳ කීකරු පුතා. මෙච්චර වෙලා පුත්රයා කරපුවා මගේ මූණෙ නැතුව ඇති පේන්න.
" ඉතින් දුවේ... වැඩ ඉවර ටික ලස්සනයි නේද? "
" ඔව් ආන්ටී... හරිම ලස්සනයි. පිළිවෙලයි දැන්" මං බොරු කිව්වා. මොන කාමර බැලිල්ලක් ද? ඒ ටික වෙලාවේ තිබ්බ දාංගලේට පුතාගේ කාමරේවත් මට හරියට පෙනුනයැ.
සැමී යටිතොල හපනවා මට හොරැහින් පෙනුණා. හොඳ පුතා ඩිංග....
"කොහොමද දුවේ පෑන්ට්රිය හදා ගන්නේ?" නැන්දම්මා එදාට අදාළ මාතෘකාවට ආවා.
"ආන්ටී මං මේ සුමනා එක්කත් කතා කර කර හිටියේ මේ වැඩිපුර තියෙන දේවල් අස් කරලා ලස්සනට හදමු නේද කියලා . "
" මොනවද වැඩිපුර තියෙන්නේ දුවේ? " මං පොඩි කාලේ කියවපු කතාවක කූඹි ගුල භාර ලොකු කූඹිච්චි වගේ පුදුමයට පත් මූණක් හදාගෙන නැන්දම්මා ඇහුවා. ඇයි කූඹි ගුලේ ගොඩ ගහපු කිසි දෙයක් වැඩියි කියලා කූඹිච්චිට හිතෙන්නේ නෑ නේ.
" ඔය හිස් පෙට්ටි බෝතල් වගේ ඒවා වැඩක් නෑනේ ආන්ටී?"
"ම් ම්...." නැන්දම්මා කල්පනා කළා.
" ඒවා කවදාවත් අපි පාවිච්චි කරන්නෙත් නැති වෙයි නේ"
"මං ඒවා එළියේ උයන ගෙට ගන්නම්." ඒ ලෝබකම නම් මේ සම්මජාතියේ අයින් වෙන එකක් නෙවේ කියලා මට හිතුණා.
"මේ බලන්න ආන්ටි හොඳ ස්ටෑන්ඩර්ඩ් ගෙවල්වල පෑන්ට්රී තියෙන හැටි." තුරුම්පුවක් ගහන්න හිතලා මං අරගෙන ආපු ඉන්ටීරිය ඩිසයින් පොත් එයාට පෙන්නුවා
"අනේ හරිම ලස්සනයි නේ. අපේ ගෙවල් එහෙම නෑනේ. "
" දැන් රිපෙයාර් එකෙන් පස්සෙ එහෙම වෙයි. "
" ඔව් එහෙම ලස්සන විදියකට හදමු. "
නැන්දම්මා දැපනේ වැටුණා. අපි පොත් පෙරලලා ඉන්ටනෙට් එකෙනුත් බලලා බිත්තිවලට පාට තේරුවා. පැන්ට්රි කබඩ් තේක්ක ලීයෙන් අලුතෙන්ම හදන්නයි ස්ටෝව් අවන් සෙට් එක ෆෑන් එක වගේ ඕන කරන ඔක්කොම දේවලුයි ඕඩර් කළා. අන්තිමට නෑනත් වීඩියෝ කෝල් එකක සෙට් වෙලා උපදෙස් දෙන්න ආවා.
අපේ ගෙදර නම් මෙහෙමයි අරමයි කිව්වට නැන්දම්මාවත් ඒ කතා එච්චර ගණන් ගත්තේ නෑ. එයාට දැන් ලේලි දූ ලොකුවෙලා කියලා හිතනවා ඇති.
"දුවේ මිදුලත් ටිකක් පිළිවෙල කරගන්න ඕන" ඒ අස්සේ නැන්දම්මා තව අදහසක් දැම්මේ ලේලීගේ හැම අංශයෙන්ම තියෙන දක්ෂකම දැකලා වෙන්න ඕන.
"ඔව්... ලෑන්ඩ්ස්කේප් කර ගත්තොත් හොඳයි නේද ආන්ටී" අල්ලන්න ඕන හැම තිතම ගැන හොඳ සෝදිසියෙන් හිටපු මම එතනත් දෙවෙනි නොවී උත්තර දුන්නා.
ඊළඟට යෙදුණේ රත්තරන් බඩු ගන්න රාජා ජුවලර්ස් එකට ඕඩර් දෙන එක. මායි අම්මයි තාත්තයි එතනට යද්දී සැමී එයාගේ අම්මා එක්ක ඇවිත් තිබුණා. මාමණ්ඩියට වැඩලු. එයා ආවේ නෑ.
අපි මුදු දෙක ප්ලැටිනම් වලින් හදන්න මුලදිම තීරණය කළා. අම්මලා නැන්දම්මලාට නම් ඕන වුණේ රත්තරන් පොරවා ගන්න.
"එළියක් නෑ නේ දුවේ ඔය බඩු" නැන්දම්මා අප්රසාදය පළ කළා.
"මං මෙයාට ඕනවටත් වඩා රත්තරන් බඩු හැදුවා. කෝ එකක්වත් දානවයැ "අම්මාට තමන්ගේ දෝණියැන්දා ගේ වටිනාකම ගැන පම්පෝරි නොගහා ඉන්න බැරි වුණා.
" අපි සුදු මැණිකෙ ආස ඒවා අරන් දෙමු අම්මා "
සැමී මාත් එක්ක එක පැත්තක හිට ගැනීම මට හයියක් වුණා.
කර මාලය මගේ ගවුමට ගැළපෙන විදියට පොඩි දියමන්ති අල්ලලා ප්ලැටිලම් වලින් හදන්න තීරණය කළා. එකම එක වළල්ලකුත් හදන්න ඕඩර් දුන්නා. අම්මලාගේ මූණු මුලදී ළිපේ දාපු සුදූලූණු බික් වගේ ඇඹරිලා ගිහින් තිබුණා. හැබැයි ජුවෙල්රි පින්තූර බැලුවට පස්සේ මූණුවලින් ඒ කළු වලාකුල් ඈතට පා වෙලා ගියා. සම්ප්රදාය මොන තරම් හිර ගෙයක් ද? පරම්පරාවෙන් පරම්පරාවට ඒ හිරගේම විහින්ම ලැගලා දුක් විඳින මේ ගෑනු ගැන දුකකුත් නොහිතුණා නෙවේ.
මගේ අනාගත මාලිගාවේ ඉස්සරහ මිදුල වගේම පිටුපස කොටසත් ලෑන්ඩ්ස්කේප් කරවලා හදලා දෙන්න සැමීත් එක්ක කටුබැද්දේ එකට ඉගෙන ගත්ත ඒ අංශයෙන් කමිපැනියක් කරන කෙනෙක් ඉදිරිපත් වුණ නිසා මට ඒකට කරදර වෙන්න ඕන වුණේ නෑ. කොහොමත් මට ඩේටා ඇනලයිස් කරලා තීසීස් එක ලියන වැඩ ගොඩ වුණා. ඒවට සැමීත් මට උදවු වුණා. ඒ අස්සේ ඉස්කොලේ වැඩත් නිසා ඔළුව උඩ මහා බරක් තිබුණේ.
©මාලිනීගනේවත්ත

No comments:
Post a Comment