ලේලී - 13
අන්තිමට නැන්දම්මා හොඳ බබා වගේ ලේලී කියූ දේ අහලා පෑන්ට්රියේ අරහේ මෙහේ ගොඩ ගහලා තිබුණු ලට්ට ලොට්ට සමහර ඒවා අහකටම දාලා තිබුණා. සමහර ඒවා එළියේ උයන ගෙයි ගොඩ ගහපු බව සුමනා කිව්වා. ඔය උයන ගේ කියන එකට මං ඒ වෙද්දී ගිහින් තිබුණෙ නෑ. ඒකත් වෙලාවක අස් පස් කරලා පිළිවෙල කරලා දෙන්න ඕන. ලේලියෙක් ගේන්නේ නිකමටයැ. එහෙම සිරියා කතක් ගෙදරකට එනවා කියන්නේම ඒ ගෙදර සිරියාවෙන් උතුරන එක නේ.
අන්තිමට මං මගේ අනාගත මාලිගේට යද්දී ඇත්තටම මිදුලේ ඉඳලම ලස්සනට හැමදේම පිළිවෙලට තිබුණා. මිදුලේ පොකුණක් එහෙම අලුතින්ම හදලා තිබුණා. අලුතින් රූට් බෝල්ට් කරලා තරමක් ලොකු ගස් හිටවලා තිබුණා. ඕස්ට්රේලියන් තණකොළ වවලා තිබුණා. මේ ගෙදර මිදුලත් එසේ මෙසේ එකක් නෙවේ. මහා විශාල ඉඩක්. පලතුරු ගස් ඒ තිබුණ විදියටම ඉතුරු කරන්න කියලා මං සැමීට මුලදිම කියලා තිබුණේ. මේ ලේනි ඇවිත් ඒවට වගකියන බව එයා දැනගෙන හිටියා.
එදා මං හැමදේම ටිප් ටොප් එකට තියෙන බව කිව්වම නැන්දම්මා කතා කළේ හරිම සතුටින්.
"අපේ ස්ටාෆ් එකේ අය මට කියනවා ඔයාට අපූරු ලේලියෙක් නේ හම්බවෙලා තියෙන්නේ කියලා."
"ඉතින් ආන්ටි මං ගැන විස්තර එයාලටත් කිව්වද?"
"නැතුව.... ලස්සන ඒ වගේම හුරුබුහුටි ලේලියෙක් හැමෝටම ලැබෙන්නේ නෑ නේ!. මං කිව්වේ ඔයා මගේ දුවක් මිස ලේලී නෙවේ කියලා."
"ඉතින් අක්කා (සැමීගේ සහෝදරී) කැමති ද ඔයා මට දූ කියනවට. "
" අක්කත් ඔයාට කැමතී නේ... එයත් ඔයාට ආදරේ. "
කවදා වෙනකම් මේ බහු පාර්ශ්වික එකඟතාව තියේවිද? ඒක මං හැමදාම තියාගන්න ඕන දෙයක් බව මගේ අන්තර්ඥානය මට සංඥාව දුන්නා. අක්කටත් ඉඳහිට කතා කරන්න ඕන බව බොරුවට හරි එයාගේ උපදෙස් වටින බව අඟවන්න කියලා මගේ ඇතුළේ වැඩ කරන ස්ත්රී මායම්කාරී මට උපදෙස් දුන්නා.
" ආන්ටි ළඟදී රිටයර් වෙනවා නේද? "
" ඔව් වෙඩින් එකෙන් පස්සෙ ඒ දවස එන්නේ. මගෙ ඊළඟ බර්ත්ඩේ එකනේ? "
" අපි එක හොඳට ලස්සනට කරමු."මං තව ඇමක් බිලී කොක්කේ ඇමුණුවා. නැන්දම්මයි මෙතෙක් කල් මගේ ඇමවල් ගිලගෙන ගිලගෙන ගියේ කාවයියෙක් වගේ.
"උඩ මාස්ටර් බෙඩ් රූම් එක ඔන්න මං ඔය දෙන්නටම වෙන් කරලා තිබ්බා දුව" එන්න කලින්ම මගේ උරුමේ වෙන්කිරීම ගැන එදා නැන්දම්මා කිව්වා.
හැබැයි එයා උඩ තට්ටුවේ ම වෙන කාමරේකට එයාගේ අල්මාරිය, කණ්ණාඩි මේසය ඇතුළු බඩු එහෙම ඇදගෙන තිබුණා. ඒ සැමීගේ දැන් කාමරය ළඟම එකට. ඒ කියන්නේ අපට වෙන්කළ කාමරයට අල්ලපු කාමරයක් ඒක. මෙයා දිගටම මේකේ හිටියොත් අපට නිදහසක් නැති වේවිද?
" අම්මට උදේ සාරි පොටට කටුව ගහන්න ඉතින් මං ඕන නේ"
ඒ කාමර හුටපටය ගැන මං හිතන බව දැනගෙන මගේ සිත හදන්න ද කොහෙද සැමී කියපු කතාව. මේ අම්ම පුතාගේ සම්බන්දේ නම් එසේ මෙසේ එකක් නොවන බව තමයි මට හැඟුණේ.
"එන්න අපේ කාමරේ බලමු" සැමී මං පුදුම කරමින් නැන්දම්මා ඉස්සරහම මගේ අතින් අල්ලා ගත්තා.
මං දන්නවා ඉතින් කාමරේ බලන්නම නොවන වග. මාත් ඉබ්බා දියේ දැම්මා වගේ සැමී පසු පස ගියා. ඇත්තටම කාමරය හරිම ඩීසන්ට් විදියට තිබුණා. හැමදේම පිළිවෙලට ලස්සනට තිබුණා. මට කියලා කිසිම දෙයක් මේ ගෙදරට අරන් එන්න ඕන කමක් නෑ කියලා සැමී කිව්ව දේ ඇත්ත. මගේ දේවල් වලින් ඇඳුම් ටික විතරයි ගේන්න තිබුණේ.
"තව මාස දෙකකින් අපි දෙන්නා මේ ඇඳේ නේද දොයියන්නේ?" මං ටිකක් තොදොල් වුණා. සැමී එක්ක හුරතල් වෙන්න මටත් තිබුණේ පුදුම ගායක්.
"ඇයි මාස දෙකක්... එන්නකෝ අදම" කියලා සැමී මං ඇදලා ඇඳේ ඉන්දවා ගත්තා.
"ආස ඇති" මං බොරු සෝබනයක් දැම්මා.
"ආස නැතුවයැ මගේ මැණිකේ... ඒ දවස එනකම් නේ මං බලන් ඉන්නේ " කියලා එයා මාව ආදරයෙන් වැළඳ ගත්තා.
" හොඳට තියෙයි" කියමින් මාත් ඉතින් තව ටිකක් ඒ පපුවට තුරුළු වුණා.
හොඳ වෙලාවට නැන්දම්මා පැත්ත පලාතේ ආවේ නම් නෑ.
ඇත්තටම අපි ටිකක් ඉස්සරහට වැඩ ගැන නිදහසේ කතා කරමින් හිටියා. වෙනදා තිබ්බ මනමාල කුලප්පුව සැමීගෙන් දුරස්වෙලා ටිකක් ගැඹුරුවට කතාව ගියා.
" ඇත්තටම සැමී අපට උඩ නිදහසේ ඉන්න පුළුවන් නම් නේද හොඳ? "
"බලමු... අම්මා පහළ කාමරේට යයි ඔයා ආවම"
මං විස්තර නොකරම නැන්දම්මා තමයි ඇණය බව එයාටත් තේරුණු එක හොඳයි.
ඇත්තටම මේ මහ ජෝඩුව එක කාමරේකට කරන්න මොන තාලේ නැටුමක් නටන්න ඕනද කියලා මං කල්පනා කර කර හිටියේ.
පහළ මාස්ටර් බෙඩ්රූම් එක ඒ වෙද්දී හොඳට ලස්සනට හදලා තිබුණේ. ඒත් මේ අංගනාව හරියට කසාද බැඳලා නෑ වගේ වෙනමම ඉන්න තමයි හිත. මාමණ්ඩිය ගැන මට ඒ වෙද්දී හරි අවබෝධයක් නැතිකමත් ප්රශ්නයක්. මොකද උන්දෑ කොයි වෙලාවකවත් ගෙදර නෑ. වැඩ කියනවා. මොන වැඩද කියන එක තමයි අහන්න බැරි.
ඔය කතා මං සඳාට කිව්වම ඒකිත් ටිකක් අන්ද මන්ද වුණා.
"සමහර නැන්දම්මලා නම් ලේසි නෑ සුරංගී!මූනිච්චාවට ආදරේ පෙන්නුවට මහම ටොක්සික් ඇණ"
"මං ඒකටත් උප්පරවැට්ටියක් දාලා බලන්නම් සඳා"
"උඹද? උඹත් ඉතින් ලේසි පාසු බඩුවක් නෙවේ නේ. කොහොම හරි මාලිගාව උඹට ඕන පිළිවෙලට දැන්මම හදා ගත්තනේ සඳා?"
"ඔව් මං ලේලී කියන්නේ කවුද කියලා ඉස්සරහට තව පෙන්වන්නම් කෝ!"
" අපි නම් ඉතින් ඔය පාර්ශවය අතේ දුරින් තියන් ඉන්නවා. "
සඳාලා අලුත් ජෝඩුව වෙනම එයාලගේ එපාර්ට්මන්ට් එකේ මුලදිම පදිංචි වුණා නේ. ඉතින් එයාට නැන්දම්මා - ලේලී ඝට්ටන එන්න තියෙන ඉඩ අඩුයි.
" උඹේ නැන්දම්මා ප්රශ්නයක් නෑනේ? "මං ඇහුවා.
" නැත්තෙත් නෑ සුරංගී... කන බොන එකේ ඉඳලා කෝල් කර කර පුත්රයගෙන් අහනවා. දැන් අහන්න අරන් වෙනසක් නැද්ද කියලා?"
"මොන වෙනසක් ද?"
"ඇයි බං බැන්ද නම් දරුවෝ හදන්න එපැයි එයාලට අනුව?"
"මොනවා මේ මාස දෙක තුනට?"
"ඔව් අනේ මහා වාත. අපේ අම්මලා එහෙම අහන්නේ නෑ... මගේ හැටි දන්නවනේ එයාලා "
ඊළඟ මාසේ දහවෙනිදා නැකත් අරගෙන මගේ වෙන්න නෑදෑ පරපුර එන්න නියමිතව තිබුණා. අර මාමලා සිය පිය දියණිය ඇතුළුව දහ දෙනක් විතර පිරිසක් තමයි යෙදී තිබුණේ. කවදත් ගෙවල් පිරිසිදු කරන්න ගෙන්වන සිරිසේනට කියලා ඒ වැඩ කටයුතු කරවා ගත්තා. ඒත් සංග්රහය පැවැත්වීම ගැන දෙමවිපියෝ අතරේ වාද පිටියක් පැවැත්වෙන ලකුණු පහළ වුණා.
අම්මට ඕන වුණේ ගෙදරම දවල් කෑම ලෑස්ති කරන්න. එයාගේ ඉවුම් පිහුම් ශිල්පයේ කෙල පැමිණි බව පෙන්වන්න ඕන වෙලා කියලයි මට තේරුම් ගියේ. .
" ඔය දේවල් කරදරයි නේ තලතා"තාත්තා නම් විරුද්ධ වුණා.
" ඔය පොඩි දේටත් කඩවලින් කෑම ගෙන්වන එක හොඳ නෑ. අපටමයි ලැජ්ජාව." අම්මාගේ මතය ලේසියෙන් බිම තියන්න එයා ලෑස්ති වුණේ නෑ.
අන්තිමට ද්වන්ධව සටනින් තාත්තා පැරදිලා පැත්තකට වුණා. හැබැයි උයන ගෙදර කුසුම් හා එයාගේ දුව ගෙන්නගෙන ඒ වැඩ ටික කරන්න අම්මා එකඟ වුණා. අම්මලා තාම සම්ප්රදායෙන් පිට යන්න කැමති නෑ.
මං එයාලා එන්නට කලින් සතියේ නිෂාදි එක්ක ආපහු ෂොපින් ගියා. සැමීට එන්න කිව්වේ නෑ. මොකද මං නැකැත් ගේන දවසට අඳින ඇඳුම ගැන එයාට සප්රයිස් එකක් දෙන්න මට ඕන වුණා. මං බොහොම සරල විදියේ තැඹිලි පාටට හුරු ගවුමක් ගත්තා. වෙන කිසිම ජුවලරි දෙයක් නම් ගත්තේ නෑ. සැමී දුන්න මාලේ දාන්න හිතුවා.
අම්මා එයාලගේ නැකැත් ගෙනා කතා මහ රජ කතා වගේ තමයි මට ඒ දවස් වල විස්තර කළේ. ඒ ගෙනාපු මංජුසාව සාලයේ තාම තැන්පත්ව තියෙනවා. අපේ ආත්තම්මලාගේ කාලේ ඕක ලොකුවට රාමු කරලා බිත්තියේ එල්ලනවා. ඒකත් අපේ අම්මලාගේ මහ ගෙදර බිත්තියක තාම තියෙනවා. මනමාලිගේ මල්ලී ඔය නැකත් පත කියවන්න ඕනලු. මට ඉතින් මල්ලිලා කොහෙද?
ඒත් අම්මට සේරම තිතට ඕන නිසා එදාට අපේ පුංචි අම්මගේ පුතා පොඩ්ඩ හරිත ට එන්න කිව්වා. ඒකා පොඩි කාලේ මාත් එක්ක එකට සෙල්ලම් කළ කොලුවා. මඟුල් දවසේ වතුර බේසමට දාන මුද්ද ගන්නත් බලාගෙන හිටියේ.




