Sunday, June 2, 2019

මාළු ලෑල්ලේ පාඩම



මාළු ලෑල්ලේ පාඩම 

අලුත්  පාඩම ව්‍යවහාරික ජීව විද්‍යාව
මාළු විශේෂ හඳුනා ගනිමු  අපි අද
බඩ වත දිගට අන්වායාමව
අඳුරු ඉරි තුන තියෙන්නෙ  බලයට

කහ පාට වරලිති කෙලවල්ලාගේ
වරලිති කලුයි බලයාගේ
ටෝපිඩෝ හැඩ ගත් ඇඟ කාගේ
වෙන කාගෙද ඉතින් ගොඩයාගේ

වරුතක රළු කොරල
වලිගෙ ළඟ ඒ අසල
මේ මාළුවා පැතලි
පරා පැටියෙක් විපුල

ටීච ඔහෙ කිව්වාට
තේරෙන්නෙ නෑ අපිට 
ඉඳ හිට දවසක මාළු කෑල්ලක් 
අපේ පිඟානෙත් තිබුණාට 

එහෙම නම් යන් යන්න 
කොහේ  යන්නද ටීච 
පේළියක් හැදිල දැන් 
නෝට්‌ පොතකුත් ගන්න 

යනවා ගේට්ටුවෙන් එලියට 
පාර දිගේ මාළු ලෑල්ලට 
මේ ඉන්නෙ මාළු දිගට හරහට 
'ළමයි මේ අද මාළු ගන්නද? '

මුදලාලි මේ දරුවන්ට 
මාළුන්ගේ හැටි බලා ගන්ට 
ආවෙ නම් නැහැ මාළු ගන්ට 
දෙන්න ඔතනින් පොඩි ඉඩක් මට 

'ආ ආ එන්න ළමයින් මෙහෙට'
ළමයි ටික සීරුවට වටේට 
අලුත් ගුරු පත්වීමක් ඒ මොහොතට 
සහායට දෙවෙනියත් එතැනට 

පාඩම යයි නොනැවතීම
පාට,කොරළ,වලිග හැම එකක් ගැන 
බෙල්ල දිගු කරන් එබීගෙන  
පසුපසින් දැන් මං අධීක්ෂක 

2 comments:

  1. මෙන්න නීරස පාඩමක් ඉතාමත් රසවත් ලෙසට උගන්වන ආකාරය ! ඔබට මගෙන් ස්තුතියක් මාලිනි !
    ගුරු තුමී අධික්ෂණය කරමින් සිටියදී, මාලු ලෑල්ලේ තාවකාලික 'ගුරුතුමා' තමන් හොඳින් දන්නා දෙය දරුවන්ට කියාදෙනවා. දැන් ඉතින් ගුරු මහත්මියට තියෙන්නේ ව්‍යවහාරික ජීව විද්‍යාවේ සිද්ධාන්ත සහ අවශ්‍යනම් මත්ස්‍ය අභ්‍යන්තර ව්‍යුහය වගේ දේවල් තව ටිකක් කියා දෙන එක විතරයි. මේ පාඩමේදී ඇස, කන, නාසය වැනි සියලුම ඉන්ද්‍රියය හොඳින් උත්තේජනය වෙනවා. සියලුම ඉන්ද්‍රියන්ට ගෝචර වන ආකාරයට ඉගැන්විය හැකිනම් එය ඉතා සාර්ථක පාඩමක් වන බවට හොඳ උදාහරණයක් !

    ReplyDelete
    Replies
    1. සර්, මේ මම ඒ කාලයේ ඇත්තටම මේ පාඩම කරපු විදිය. ඒ මිනිස්සු හරිම ආසාවෙන් දරුවන්ට කියා දුන්න. ස්තුතියි ඔබට එය අගය කිරීම ගැන . දැන් මේවා අතීත සුන්දර මතක පමණයි.

      Delete